ඉන්දියාවට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2023

1574

එළඹෙන ඉන්දීය තරග සංචාරය සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස සංචිතය අද (28) නිල වශයෙන් මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබුවා.

ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් යුත් මේ විස්සයි විස්ස සහ එක්දින සංචිතයේ නායකත්වය දසුන් ශානක වෙත ලබා දී තිබෙන අතර එක්දින උපනායකත්වය කුසල් මෙන්ඩිස්ට සහ විස්සයි විස්ස උපනායකත්වය වනිඳු හසරංග වෙත ලබා දී තිබෙනවා. වනිඳු හසරංග හට ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායකත්වය ලැබුණු පළමු අවස්ථාව මෙයයි.

ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු, වේගපන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මදුශාන්, ඩිල්ශාන් මදුශංක යන ක්‍රීඩකයින් තිදෙනාම ආබාධවලින් අනතුරුව නැවතත් ශ්‍රී ලංකා සංචිතයේ සිය ස්ථානය දිනාගෙන තිබෙනවා.

තුන්වැනි වරට පැවැත්වුණු LPL තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වුනු අවිශ්ක ප්‍රනාන්දු මස 10ක පමණ විරාමයකින් අනතුරුව නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසීම කැපී පෙනෙනවා. ඔහු 2022 LPL තරගාවලියේ දී 37.66ක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් සහ 124.63ක ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගෙන තරග 10ක දී ලකුණු 339ක් ලබා ගත්තා.

එසේම නිමා වූ ඇෆ්ගනිස්තාන එක්දින තරගාවලියේ දී සිය ස්ථානය අහිමිව ගිය තුන් ඉරියව් දස්කම් දක්වන චාමික කරුණාරත්න නැවතත් ශ්‍රී ලංකා සංචිතයට පැමිණ තිබෙනවා. ඔහු පසුගිය දා නිමාව දුටු LPL තරගාවලියේ දී Kandy Falcons නියෝජනය කරමින් තරග 10ක දී කඩුලු 7ක් දවා ගත්තේ පසුපෙළ පිතිකරුවෙක් ලෙස දැක්වූ දස්කම්වලට අමතරවයි.

එසේම මේ දක්වා ජාත්‍යන්තර වරම් දිනාගෙන නොමැති නුවනිඳු ප්‍රනාන්දු පළමු වරට ශ්‍රී ලංකා එක්දින සංචිතයකට කැඳවා තිබෙන අතර, මීට පෙර ඔහු ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය සඳහා කැඳවා තිබෙනවා.

එසේම Galle Gladiators නියෝජනය කරමින් මෙවර LPL තරගාවලියේ දී වේගපන්දුවෙන් දස්කම් දැක්වූ නුවන් තුෂාර ද මේ සංචිතයේ සාමාජිකයෙක්. ඔහු 2022 LPL තරගාවලියේ දී දෙවැනි වැඩිම කඩුලු ලාභියා වෙමින් තරගාවලිය අවසන් කළේ තරග 9ක දී කඩුලු 14ක් දවාගෙනයි.

LPL තරගාවලියේ වීරයා වුනු සහ නිමා වූ අන්තර් සමාජ තෙදින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි වැඩිම ලකුණු ලාභියා වුනු සදීර සමරවික්‍රම ද මේ සංචිතයේ සිටිනවා. ඔහු Jaffna Kings වෙනුවෙන් 2022 LPL තරගාවලියේ දී තරග 9ක දී ලකුණු 294ක් ලබා ගත්තේ 58.80ක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් සහ 131.25ක ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගෙනයි.

සමරවික්‍රමගේ මේ නැවත ආගමනය නිසාවෙන් සංචිතයේ ඉඩ අහිමි වූ දිනේෂ් චන්දිමාල් නිමා වූ ඇෆ්ගනිස්තාන එක්දින තරගාවලියේ තරග 3ක දී ලබා ගත්තේ ලකුණු 47ක් වුවත්, LPL තරගාවලියේ දී අනුශූරතාවය දිනා ගත් Colombo Stars නියෝජනය කරමින් ඉනිම්11ක දී ලකුණු 287ක් (ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය – 31.88, ප්‍රහාරාත්මක වේගය – 126.99) ලබා ගත්තා.

ඉන්දීය සංචාරයට එක්වන ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස සංචිතය,

දසුන් ශානක (නායක), කුසල් මෙන්ඩිස් (එක්දින උප නායක – කඩුලු රකින්නා), වනිඳු හසරංග (විස්සයි විස්ස උප නායක), පැතුම් නිස්සංක, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, භානුක රාජපක්ෂ (විස්සයි විස්ස පමණයි), අශේන් බණ්ඩාර, අවිශ්ක ප්‍රනාන්දු, නුවනිඳු ප්‍රනාන්දු (එක්දින පමණයි), සදීර සමරවික්‍රම – කඩුලු රකින්නා, චාමික කරුණාරත්න, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩසේ (එක්දින පමණයි), කසුන් රාජිත, ඩිල්ශාන් මදුශංක, ප්‍රමෝද් මදුශාන්, ලහිරු කුමාර, නුවන් තුෂාර (විස්සයි විස්ස පමණයි)

2023 වසර ආරම්භයේ දී ම පැවැත්වෙන මේ තරගාවලියට එක්දින තරග 3ක් සහ විස්සයි විස්ස තරග 3ක් ඇතුළත්.

තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගය ජනවාරි 3 වැනිදා Mumbai හිදී ක්‍රියාත්මක වීමට නියමිතයි. ඉන් අනතුරුව දෙවැනි විස්සයි විස්ස තරගය ජනවාරි 5 සහ තෙවැනි විස්සයි විස්ස තරගය ජනවාරි 7 වැනිදා පැවැත්වෙනු ඇත. එම තරග දෙක පිළිවෙළින් Pune හිදී සහ Rajkot හිදී පැවැත්වෙනු ඇත.

විස්සයි විස්ස තරගාවලියට පසුව දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගය ජනවාරි 10 වැනිදා Guwahati හිදී ආරම්භ වනු ඇත. එහි දෙවැනි සහ අවසන් එක්දින තරගය ජනවාරි 12 සහ 15 දිනවල පිළිවෙළින් Kolkata සහ Trivandrum හිදී පැවැත්වීමට නියමිතයි. කෙසේ වෙතත් මේ එක්දින තරගාවලිය ICC එක්දින සුපර් ලීගයට අදාළ වන්නේ නැහැ.

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ පැවැත්වෙන අතර ශ්‍රී ලංකාවට එම ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට හැකියාව ලැබුනහොත් ඊට පෙර එම තණතීරු මත ලබා ගන්න මේ එක්දින තරග අත්දැකීම එළඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට ඉතාමත් වැදගත්.

ශ්‍රී ලංකාව අවසන් වරට 2017 වසරේ දී ඉන්දියාව තුල එක්දින තරගාවලියක් ක්‍රීඩා කළ අතර එම තරගාවලිය 2-1ක් ලෙස ශ්‍රී ලංකාව පරාජයට පත් වුනා. එසේම 2022 වසර ආරම්භයේ දී ශ්‍රී ලංකාව ඉන්දියාවේ දී විස්සයි විස්ස තරගාවලියක් ක්‍රීඩා කළ අතර එම තරගාවලිය 3-0ක් ලෙස ජය ගත්තේ ඉන්දියාවයි.

තරග කාලසටහන,

  • පළමු විස්සයි විස්ස තරගය – ජනවාරි 3 – Mumbai
  • දෙවැනි විස්සයි විස්ස තරගය – ජනවාරි 5 – Pune
  • තෙවැනි විස්සයි විස්ස තරගය – ජනවාරි 7 – Rajkot
  • පළමු එක්දින තරගය – ජනවාරි 10 – Guwahati
  • දෙවැනි එක්දින තරගය – ජනවාරි 12 – Kolkata
  • තෙවැනි එක්දින තරගය – ජනවාරි 15 – Trivandrum

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<