සුපිරි තරු කිහිපයක් නිවී යන බවට ඉඟි ලබා දුන් ඉන්දීය සංචිතය

India vs Sri Lanka 2023

5309

ශ්‍රී ලංකාව සමඟ එක්දින සහ විස්සයි විස්ස තරගාවලි සඳහා සහභාගී වන ඉන්දීය සංචිතවලින් ප්‍රබල ඉන්දීය ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ම ඉවත් කර තිබීමත් සමඟ ඔවුන්ගේ ඉදිරි ක්‍රිකට් අනාගතය පිළිබඳ යම් අවදානමක් මතු වී තිබෙනවා.

ඉන්දීය කණ්ඩායමේ නිත්‍ය මට්ටමේ සාමාජිකයින් ව සිටි Bhuvneshwar Kumar සහ Rishabh Pant යන ක්‍රීඩකයින් දෙදෙනා ම මෙම විස්සයි විස්ස සහ එක්දින සංචිතවලින් ඉවත් කර ඇති අතර, එය 2023 වසර අග දී පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් ඔවුන්ට ඉන්දීය කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාවක් නොලැබෙන බවට ලද සංඥාවක් ලෙස බොහෝ දෙනෙක් විශ්වාස කරනවා.

ශ්‍රී ලංකාව සමඟ තරගාවලියෙන් ඉවත් කිරීමෙන් පසුව ජාතික ක්‍රිකට් ඇකඩමිය සමඟ එක්වී සිය පුහුණු වීම් නොකඩවා පවත්වා ගෙන යාමට Rishab Pant හට කණ්ඩායම් කළමනාකාරිත්වය දැනුම් දී ඇති බව දැන ගන්නට ලැබුනත්, Pant එක්දින සංචිතයේ තව දුරටත් මූලික තේරීමක් නොවනු ඇති බව Cricbuzz වෙබ් අඩවිය සඳහන් කරනවා.

ඉදිරි තරගවල දී ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා විලාශය සහ ආබාධ වැනි කරුණු නිසා නොකඩවා පුහුණුවීම් වලට ඔහුව යොමු කළත්, මීට පෙර බංග්ලාදේශයට එරෙහි තරගාවලියේ තරග තුනේ ම කඩුලු රැකීමේ නිරත වුන Kl Rahul සහ එම තරගාවලියේ තුන්වැනි තරගයේ දී  ද්විත්ව ශතකයක් පවා වාර්තා කිරීමට සමත් වූ Ishan Kishan යන ඉන්දීය කඩුලු රකින්නන් ලෙස පළමුව සලකා බලනු ඇති බව අනුමාන කළ හැකියි.

මේ අතර පසුගිය කාලයේ ඉන්දීය විස්සයි විස්ස සංචිතවල නිත්‍ය වේගපන්දු යවන්නෙකුව සිටි Bhuvneshwar Kumar ද තවදුරටත් ඉන්දීය අනාගත සැලසුම්වල අංගයක් නොවන බව ද නව සංචිත තේරීමේ දී පෙනී යන කරුණක්.

මීළඟ විස්සයි විස්ස ලෝක කුසලානය 2024 වර්ෂයේ දී පැවැත්වීමට නියමිත අතර, ඒ වෙනුවෙන් Arshdeep Singh, Umran Malik, Shivam Mavi, Mukesh Kumar සහ Harshal Patel වැනි නවක නම් සමඟ ඉන්දියාව සැලසුම් සාදනු ඇති බවට අනුමාන කළ හැකියි.

එමෙන්ම ඔවුන්ගේ ප්‍රධානතම තෝරා ගැනීම් අතර මෑත කාලයේ සිටි නමුත් දැනට ආබාධ තත්ව වල පසු වන Prasidh Krishna සහ Kuldeep Sen යන වේග පන්දු යවන්නන් දෙදෙනාටත් ඉදිරියේ දී වැඩි වශයෙන් අවස්ථා හිමි වනු ඇත.

මේ අතර දශකයකට අධික කාලයක් තිස්සේ ඉන්දීය එක්දින කණ්ඩායමේ ආරම්භක පිතිකරු භූමිකාවේ වඩාත් ම සාධනීය කාර්යභාරයක් ඉටු කළ Shikar Dhawan හට ද නැවත ඉන්දීය සංචිතයේ ඉඩක් හිමි නොවීමට විශාල ඉඩක් පවතිනවා.

මීට පෙර ද ඔහුව කණ්ඩායමෙන් ඉවත් වීමට ආසන්න අවස්ථාවක (2021දී) සිටි නමුත් Virat Kohli ගේ දැඩි උත්සාහය නිසා නැවත ඔහුට කණ්ඩායම සමඟ එක් වීමට අවස්ථාව හිමි වුනා.

එමෙන්ම එංගලන්තයට එරෙහිව නැවත සාර්ථක ඉනිම් කිහිපයක් දියත් කරමින් එම අවස්ථාවට සාධාරණයක් ඉටු කිරීමට ද Dhawan සමත් වුනත්, දැන් ඔහු වෙනුවට ඉන්දීය කළමනාකාරිත්වය නවක ක්‍රීඩකයින්ට අවස්ථාව ලබා දීමට සූදානම් බව පෙනී යනවා.

ඒ නිසා බොහෝ විට Shikar Dhawan නැවත ඉන්දීය නිල ජර්සියක් හැඳ ක්‍රිකට් ක්‍රීඩා කරනවා දකින්නට ඔබට ඉඩ නො ලැබී යාමටත් ඉඩ තිබෙනවා.

ඉන්දු – ලංකා ක්‍රිකට් ගැටුමේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<