Red Bull Campus Cricket තරගාවලියේ අවසන් තරග ඕමානයේ දී

Red Bull Campus Cricket Tournament 2021

254

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල කණ්ඩායම් සහභාගී වන 2021 Red Bull Campus Cricket තරගාවලිය මේ දිනවල පැවැත්වෙනවා. 

2012 වසරේ ආරම්භ වූ මෙම තරගාවලිය මේ වසරේ දී පැවැත්වෙන්නේ 10 වැනි වරටයි. තරගාවලිය පිළිබඳව හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයෙකු සහ Red Bull Campus Cricket තරගාවලියේ අධ්‍යක්ෂක බ්‍රෙන්ඩන් කුරුප්පු මහතා ThePapare.com සමඟින් අදහස් දක්වා සිටියා.

එහි දී ඔහු පවසා සිටියේ මෙම තරගාවලියේ ප්‍රධාන අරමුණ විශ්වවිද්‍යාල ක්‍රීඩකයන් සඳහා ජාත්‍යන්තර මට්ටමේ වේදිකාවක් නිර්මාණය කිරීම බවයි.

මේ තරගාවලිය මුලින්ම ආරම්භ වුනේ 2012 අවුරුද්දේ දී. මේක ජාත්‍යන්තර මට්ටමේ පළවෙනි විශ්වවිද්‍යාල ක්‍රිකට් තරගාවලිය. පසුගිය අවුරුද්දේ හැරුණු විට අනෙක් හැම අවුරුද්දකම Red bull Campus Cricket තරගාවලිය පවත්වන්න අපිට පුළුවන් වුනා. පසුගිය වසරේ මේ කොරෝනා වයිරසයත් එක්ක අපිට තරගාවලිය පවත්වන්න නොහැකි වුනා. මේ තරගාවලියේ ප්‍රධාන අරමුණ වෙන්නේ මේ ක්‍රීඩකයන් වෙනම මට්ටමකට ගෙන එන එක. එමඟින් මේ ක්‍රීඩකයන්ට ලෝක මට්ටමේ වේදිකාවක් නිර්මාණය කරන එක තමයි අපේ බලාපොරොත්තුව. ඒකෙන් ක්‍රීඩකයන්ට පුළුවන් වෙනවා තරු පහේ හෝටලයක ඉඳලා, සුඛෝපභෝගී බස් රථවලින් ගිහින් පළමු පෙළ හෝ ජාත්‍යන්තර ක්‍රීඩාංගණවල ක්‍රීඩා කරලා විශ්වවිද්‍යාලය ක්‍රීඩකයෙක්ට නොලැබෙන ආකාරයේ ජාත්‍යන්තර වේදිකාවක් නිර්මාණය කිරීම තමයි මේ තරගාවලියේ මූලික අරමුණ වෙන්නේ. 

Redbull Campus Cricket තරගාවලියේ ජාත්‍යන්තර තරග මෙම වසර අවසානයේ දී පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳව අදහස් දක්වමින් කුරුප්පු මහතා පවසා සිටියේ එහි අවසන් පූර්ව වටයේ තරග සහ අවසන් තරගය ඕමානයේ දී පැවැත්වීමට නියමිත බවයි. 

මේ වසරේ Red bull Campus Cricket තරගාවලියේ අවසන් තරගය ඕමානයේ දී පවත්වන්න සැලසුම් කරලා තියනවා. අවසන් තරගය මේ වසර අවසානයේ දී පවත්වන්න නියමිතයි. අපි බලාපොරොත්තු වෙනවා ඒ වෙද්දී මේ වසංගත තත්ත්වය අඩු වෙලා අපිට කිසිම ගැටලුවක් නැතිව අවසන් තරගය ඕමානයේ දී පවත්වන්න පුළුවන් වේවි කියලා. 

තවත් ක්‍රිකට් පුවත්:

පසුගිය වසරවලට සාපේක්ෂව මෙම වසරේ තරගාවලිය සඳහා විශාල මාධ්‍ය ආවරණයක් ලැබී ඇති අතර කණ්ඩායම් අතර දැඩි තරගකාරීත්වයක් ද දක්නට ලැබෙනවා.

මේ අවුරුද්දේ තරගාවලිය පෙර වසරවලට වඩා ඉහල මට්ටමක තියනවා. විශේෂයෙන් අපි දැක්කා හොඳ තරගකාරීත්වයක් තියනවා කණ්ඩායම් අතර. හැම කණ්ඩායමක්ම විශිෂ්ට දස්කම් දක්වන්න සමත් වුනා. පසුගිය වසරේ ශූරතාවය දිනා ගත් කණ්ඩායම සහ අනුශූරතාවය දිනා ගත් කණ්ඩායම මේ වසරේ තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තේ නැහැ. අපිට මේ වසරේ අලුත් ශූරයන් සහ අනුශූරයන් දැකගන්න පුළුවන් වේවි. අපිට ඒකෙන් ඔප්පු වෙනවා කණ්ඩායම් මේ තරගාවලිය සඳහා හොඳ සූදානමකින් ඉන්නවා කියලා. 

මෙම වසරේ තරගාවලිය ප්‍රේක්ෂකයන්ට විවෘත නොවන නමුත් ThePapare.com අප සියලු තරග සජීවීව ඔබ වෙත ගෙන ඒමට සූදානමින් සිටිනවා.

මේ පවතින තත්ත්වය එක්ක අපිට ප්‍රේක්ෂකයන්ට තරගාවලිය නරඹන්න අවස්ථාව දෙන්න හැකියාවක් නැහැ. නමුත් ThePapare.com අවසන් පූර්ව වටයේ තරග සහ අවසන් තරග සියල්ල සජීවව විකාශය කරන්න සූදානමින් ඉන්නවා. අපි ආරාධනා කරනවා සියලුම ප්‍රේක්ෂකයන්ට සහ ක්‍රීඩාලෝලීන්ට අන්තර්ජාලය ඔස්සේ මේ තරග නරඹලා ඔබගේ කණ්ඩායම්වලට සහය දක්වන්න කියලා. මේ තරගාවලිය ජයග්‍රහණය කරන කණ්ඩායම ලෝක විශ්වවිද්‍යාල ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගන්නවා, කුරුප්පු මහතා තවදුරටත් අදහස් දක්වමින් පවසා සිටියා.

Red bull Campus Cricket තරගාවලියේ අවසන් පූර්ව තරග දෙක අද (13) කොළඹ BRC පිටියේ දී පැවැත්වුනා. එහි දී CCC සහ SLIM අතර පැවති පළමු තරගයේ ජයග්‍රහණය වාර්තා කිරීමට CCC කණ්ඩායම සමත් වූ අතර Imperial College of Business Studies සහ ESOFT අතර පැවති  දෙවන තරගය ජයග්‍රහණය කිරීමට Imperial College of Business Studies කණ්ඩායම සමත් වුනා. 

තරගාවලියේ සියලු තරග සජීවව විකාශය කිරීමට ThePapare.com සූදානම්. තරගාවලියේ සියලු තොරතුරු, ඡායාරූප එසැණින් දැනගන්න ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<