ඔලිම්පික් ශූරයාට වසර දෙකක තහනමක්

128
Nazarov

තහනම් උත්තේජක චෝදනාවන්ට වැරදිකරු වීම නිසාවෙන් මිටිය විසිකිරීම ඉසව්වේ වත්මන් ඔලිම්පික් ශූර Tajikistan ජාතික Dilshod Nazarov හට වසර දෙකක තරග තහනමක් පැනවීමට කටයුතු කළ බව මලල ක්‍රීඩා දූෂණ විරෝධී ඒකකය දැනුම් දී ඇත.

ඊයේ (18) දිනයේ දී මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් එම ඒකකය සඳහන් කර තිබුණේ 2011 වසරේ දී පැවති ලෝක ශූරතා මලල ක්‍රීඩා උළෙලේ දී Nazarovගෙන් ලබා ගත් මුත්‍රා සාම්පල් නැවත පරීක්ෂා කිරීමේ දී එහි තහනම් ද්‍රව්‍ය අඩංගු වූ බව සනාථ වූ බවයි. 

එම තරගාවලියේ දී ඔහු දසවැන්නා ලෙස තරගය නිමා කර ඇති අතර මෙලෙස තහනම් උත්තේජක භාවිතා කර ඇති බව තහවුරු වීම නිසා ඔහුට 2019 සැප්තැම්බර් 24 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වසර දෙකක තරග තහනමක් පැනවීමට මලල ක්‍රීඩා දූෂණ විරෝධී ඒකකය තීරණය කර ඇත.

තවත් මලල ක්‍රීඩා පුවත්: 

එමෙන්ම 2011 අගෝස්තු 29 වැනිදා සිට 2013 අගෝස්තු 29 වැනිදා දක්වා ඔහු විසින් ලබා ගත් සියලූම ජයග්‍රහණ අවලංගු කිරීමට ද ඔවුන් කටයුතු කර ඇත. ඒ අනුව ඔහු 2013 වසරේ දී ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ දී ලබා ගත් පදක්කම ඔහුට අහිමි වී යනු ඇත.

මිටිය විසි කිරීම ඉසව්වේ ඉහළ දස්කම් දැක්වීමට සමත්ව ඇති Nazarov අවස්ථා ගණනක දී එම ඉසව්වේ ආසියානු ශූරයා වීමට ද සමත්ව ඇති අතර 2015 ලෝක මලල ක්‍රීඩා ශූරතාවයේ දී ඔහු රිදී පදක්කම දිනා ගැනීමට සමත් වුනා.

එමෙන්ම අවසන් වරට පැවති 2016 රියෝ ඔලිම්පික් උළෙලේ මිටිය විසි කිරීම ඉසව්වේ දී මීටර් 78.68ක දස්කමක් දක්වමින් එම ඉසව්වේ ඔලිම්පික් ශූරයා වීමට ද ඔහු සමත් වුනා.

මෙම තහනම නිසාවෙන් Dilshod Nazarov හට මෙම වසරේ පැවැත්වීමට නියමිතව ඇති ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සහභාගි වීමේ අවස්ථාව අහිමිව යනු ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<