රොන් සහ නිපුන් ද්විත්ව ශතක සබඳතාවයක

SLC National Super League 4 Day Tournament 2024

58

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියරේ පළමු දිනය අද (14) ක්‍රීඩාංගණ 2ක දී නිමා වෙන්නේ රොන් චන්ද්‍රගුප්ත සහ නිපුන් කරුණානායක ශතක ඉනිම් වාර්තා කර තිබියදීයි.

29 හැවිරිදි වියේ පසුවෙන රොන් චන්ද්‍රගුප්ත අද වාර්තා කරන්නේ තම පළමු පෙළ 9 වැනි ශතකය වන අතර 33 වැනි වියේ පසුවෙන නිපුන් කරුණානායක ද තම පළමු පෙළ තරග 105කට මුහුණ දෙමින් තම පළමු පෙළ තරග දිවියේ 11 වැනි ශතකය වාර්තා කිරීමට සම් වෙනවා.

මේ අතර දී මහනුවර කණ්ඩායමේ පවන්ත වීරසිංහ සහ වනුජ සහන්, යාපනය කණ්ඩායමේ නිශාන් මධුශ්ක අර්ධ ශතක ඉනිම් වාර්තා කිරීමට සමත් වෙනවා.

11 වැනි තරගය, හම්බන්තොට, මාර්තු 14-17, 2024, National Super League4 Day Tournament

o ක්‍රීඩාංගණය – මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, සූරියවැව

o කාසියේ වාසිය – Kandy

Kandy කණ්ඩායම – නිරෝෂන් දික්වැල්ල (නායක – කඩුලු රකින්නා), පවන්ත වීරසිංහ, ලහිරු උදාර, සිතාර ගිම්හාන්, කමිල් මිෂාර, අහන් වික්‍රමසිංහ, වනුජ සහන්, අශේන් ඩැනියෙල් 20, නිපුන් රන්සික, ලසිත් ඇඹුල්දෙණිය, නිම්සර අතරගල්ල.

 

Galleරමේෂ් මෙන්ඩිස් (නායක), සංගීත් කුරේ, ඔෂඳ ප්‍රනාන්දු, පසිඳු සූරියබණ්ඩාර, ධනංජය ලක්ෂාන්, දිනේෂ් චන්දිමාල්, විශාද් රන්දික, නිමේෂ් විමුක්ති, නිශාන් පීරිස්, මිලාන් රත්නායක, උද්ති මධුශාන්.

කාසියේ වාසිය දිනා ගත් මහනුවර ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත් අතර ඒ අනුව පිටියට පිවිස සියලුම දෙනා දැවී ලකුණු 210ක් ලබා ගත්තා. එම ඉනිම වෙනුවෙන් පවන්ත වීරසිංහ සහ වනුජ සහන් අර්ධ ශතක ඉනිම් එක් කිරීමට සමත් වුනා.

ආරම්භක පිතිකර පවන්ත වීරසිංහ පන්දු 119කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 56ක් ලබා ගත්තා. වනුජ සහන් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 56ක්. ඒ වෙනුවෙන් ඔහු පන්දු 64ක් පමණක් වැය කළ අතර ඊට හතරේ පහර 8ක් ඇතුලත් කළා.

කඩුලු දවා ගැනීමේ දී නිමේෂ් විමුක්ති සහ ධනංජය ලක්ෂාන් කඩුලු 3 බැගින් දවා ගත් අතර නිශාන් පීරිස්, රමේෂ් මෙන්ඩිස්, මිලාන් රත්නායක සහ උදිත් මධුශාන් කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ප්‍රතිවාදී ගාලූ ක්‍රීඩකයෝ තරග පළමු දිනයට නතර කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 53ක් ලබා සිටියා.

එම ඉනිම වෙනුවෙන් නොදැවී ක්‍රීඩා කරන ධනංජය ලක්ෂාන් පන්දු 37ක දී හතරේ පහරක් සමඟින් ලකුණු 20ක් ලබා සිටිනවා. අනෙක් අන්තයෙන් ක්‍රීඩා කරන දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 5ක් ලබා සිටිනවා.

කඩුලු දවා ගැනීමේ දී නිම්සර අතරගල්ල ලකුණු 25කට කඩුලු 2ක් දවා ගත් අතර අනෙක් කඩුල්ල ලසිත් ඇඹුල්දෙණිය සතු වූවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Kandy – පළමු ඉනිම සියලුම දෙනා දැවී 210 (63.5) පවන්ත වීරසිංහ 56, ලහිරු උදාර 19, කමිල් මිෂාර 21, වනුජ සහන් 56, අශේන් ඩැනියෙල් 20, ධනංජය ලක්ෂාන් 3/26, නිමේෂ් විමුක්ති 3/21

 

Galle – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 53 (16.0) ධනංජය ලක්ෂාන් නොදැවී 20, නිම්සර අතරගල්ල 2/25

මෙම තරගය හෙට (15) දෙවැනි දිනයට ක්‍රියාත්මක වේ.

12 වැනි තරගය, කොළඹ, මාර්තු 14-17, 2024, National Super League4 Day Tournament

o ක්‍රීඩාංගණය – ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, කොළඹ.

o කාසියේ වාසිය – Jaffna

Jaffna කණ්ඩායම – නිශාන් මධුශ්ක (නායක – කඩුලු රකින්නා), හසිත බෝයගොඩ, රොන් චන්ද්‍රගුප්ත, නිපුන් කරුණානායක, සංතුශ් ගුණතිලක, සඳුන් වීරක්කොඩි, ලහිරු මධුශංක, රවිඳු ප්‍රනාන්දු, ශෂික දුල්ශාන්, ජෙෆ්රි වැන්ඩර්සේ, චමත් ගෝමස්.

Colombo කණ්ඩායම – අශේන් බණ්ඩාර (නායක), දිමුත් කරුණාරත්න, නිපුන් ධනංජය, නුවනිඳු ප්‍රනාන්දු, දසුන් ශානක, පැතුම් කුමාර (කඩුලු රකින්නා), චාමිකර එදිරිසිංහ, නලින් ප්‍රියදර්ශන, කලන පෙරේරා, නිසල තාරක, හේෂාන් ධනුශ්ක.

කාසියේ වාසිය දිනා ගත් යාපනය නායකයා කාසියේ වාසිය දිනා ගත් සැනකින් තම කණ්ඩායමට පළමුවෙන් පන්දුවට පහර දීමට අවස්ථාව යොදා ගත්තා.

ඒ අනුව පිටියට පිවිසි නිශාන් මධුශ්ක සහ හසිත බෝයගොඩ ගේ පළමු ඉනිමේ ලකුණු සබඳතාව ලකුණු 53කට සීමා වුණා. කඩුල්ල අහිමි කර ගත් හසිත බෝයගොඩ් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 5ක්.

ඊට පසුව පිටියට පිවිසියේ රොන් චන්ද්‍රගුප්ත. ඔහු සහ නිශාන් මධුශ්ක 2 වැනි කඩුල්ලට ලකුණු 84ක සබඳතාවක් ගොඩ නගනවා. එවර කඩුල්ල අහිමි කර ගන්නේ නිශාන් මධුශ්ක. ඔහු පන්දු 101කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 53ක් ලබා ගන්නවා.

අනතුරුව තරගයේ තෙවැනි කඩුල්ල දිනය අවසන් වෙද්දී නොදැවී ආරක්ෂා කර ගැනීමට රොන් චන්ද්‍රගුප්ත සහ නිපුන් කරුණානායක සමත් වූවා. ඔවුන් දෙදෙනා තෙවැනි කඩුල්ලට නොදැවී ලකුණු 208ක සබඳතාවක් ගොඩ නගනවා.

ඒ වෙද්දී රොන් චන්ද්‍රගුප්ත පන්දු 245කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟින් නොදැවී ලකුණු 118ක් ද සහ නිපුන් කරුණානායක පන්දු 117කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 118ක් ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී නිසල තාරක ලකුණු 58කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් වෙනවා. ප්‍රතිවාදී යාපන ක්‍රීඩකයෝ පාලන ය කිරීමට කොළඹ ඉනිමේ පන්දු යවන්නෝ 8 දෙනෙක් ම භාවිතා කර තිබෙනවා.

එසේ වූවත් යාපනය ක්‍රීඩකයෝ කඩුලු 2ක් දැවී ලකුණු 305ක් ලබා ස්ථාවර තත්ත්වයක සිටිනවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Jaffna – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 305 (89) නිශාන් මධුශ්ක 53, රොන් චන්ද්‍රගුප්ත නොදැවී 118, නිපුන් කරුණානායක නොදැවී 118, නිසල තාරක 2/58

මෙම තරගය හෙට (15) දෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

මෙම තරගාවලියේ මෙන් ම දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<