Galle ජයග්‍රහණයෙන් මිනෝද්ගේ ශතකයේ රැස් බාල වේ

National Super League Limited Over Tournament

237
National Super League Limited Over Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන National Super League එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (29) අවසන් වූ තරගවල දී Dambulla කණ්ඩායමේ මිනෝද් භානුක ශතකයක් වාර්තා කිරීමට සමත් වූවා.

නමුත් ඔහුගේ ශතකය අභිබවා ප්‍රතිවාදී Galle කණ්ඩායමේ දක්ෂතා ඉස්මතු වීම හේතුවෙන් ඔහුගේ ශතකයෙන් ප්‍රයෝජනයක් ගැනීමට දඹුලු ක්‍රීඩකයන්ට හැකි වූයේ නැහැ. එම තරගයෙන් කඩුල්ලක ජයග්‍රහණයක් ලබා ගැනීමට ගාලු ක්‍රීඩකයෝ සමත් වූ අතර පැවැති අනෙක් තරගයෙන් කොළඹ ක්‍රීඩකයන්ට එරෙහිව කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගැනීමට මහනුවර ක්‍රීඩකයෝ සමත් වූවා.

මේ අතර අද පැවැති තරගවල දී Colombo කණ්ඩායම නියෝජනය කළ විශාද් රන්දික, Kandy කණ්ඩායම නියෝජනය කළ නිරෝෂන් දික්වැල්ල, කමිල් මිෂාර සහ සහන් ආරච්චිගේ, Galle කණ්ඩායම වෙනුවෙන් ෂෙහාන් ප්‍රනාන්දු, දුනිත් වෙල්ලාලගේ සහ ලහිරු සමරකෝන් අර්ධ ශතක ඉනිම් වාර්තා කිරීම කැපී පෙණුනා.

5 වැනි තරගය, පල්ලෙකැලේ, පෙබරවාරි 29, 2024, National Super League Limited Over Tournament

o කාසියේ වාසිය – Dambulla

o ක්‍රීඩාංගණය – ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, පල්ලෙකැලේ

කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි දඹුලු ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 241ක් ලබා ගත්තා. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ නායක මිනෝද් භානුක. ඔහු පන්දු 116කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 102ක් ලබා ගත්තා.

ඔහුගේ මෙම ඉනිම 8 වැනි කඩුල්ල දක්වා ම රැගෙන යෑම විශේෂත්වයක් වූ අතර අනෙක් පිතිකරුවන් අතුරින් වැඩි දායකත්වයක් දැක් වූයේ පන්දු 55ක දී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 38ක් ලබා ගත් ලක්ෂාන් සඳකැන්.

කඩුලු දවා ගැනීමේ දී ආරම්භක වේග පන්දු යැවූ මිලාන් රත්නායක ලකුණු 36කට කඩුලු 3ක් දවා ගත්තා. ඊට අමතර ව නිමේෂ් විමුක්ති සහ දුනිත් වෙල්ලාලගේ කඩුලු 2ක් බැගින් දවා ගත් අතර ලහිරු සමරකෝන්, ධනංජය ලක්ෂාන් සහ අසංක මනෝජ් අතර ද කඩුල්ල බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට ගාලු ක්‍රීඩකයෝ ප්‍රතිවාදී ඉලක්කය 48 වැනි පන්දුවාරයේ පළමු පන්දුවේ දී කඩුල්ලක් පමණක් ඉතිරි ව තිබිය දී සපුරා ගැනීමට සමත් වූවා.

එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු ෂෙහාන් ප්‍රනාන්දු පන්දු 74කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 67ක් ලබා ගත් අතර නායක දුනිත් වෙල්ලාලගේ පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 52ක් ලබා ගත්තා.

දුනිත් වෙල්ලාලගේ සහ ලහිරු සමරකෝන් 7 වැනි කඩුල්ල සඳහා ලකුණු 85ක සබඳතාවක් එක් වූ අතර එය ඉනිමේ හොඳම ලකුණු සබඳතාව ද වූවා. තරගය අවසන් වන විට ලහිරු සමරකෝන් පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 53ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී ලක්ෂාන් සඳකැන් ලකුණු 60කට කඩුලු 3ක් දවා ගත් අතර විශ්ව ප්‍රනාන්දු කඩුලු 2ක් දවා ගත්තා. ඊට අමතර ව සොනාල් දිනූෂ, ලසිත් කෲස්පුල්ලේ සහ අයන සිරිවර්ධන කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • Dambulla– සියලුම දෙනා දැවී 241 (48.3)මිනෝද් භානුක 102, දුශාන් හේමන්ත 21, ලක්ෂාන් සඳරුවන් 38, මිලාන් රත්නායක 3/36, නිමේෂ් විමුක්ති 2/24, දුනිත් වෙල්ලාලගේ 2/49
  • Galle– කඩුලු 9ක් දැවී 242 (47.1)ෂෙහාන් ප්‍රනාන්දු 67, ධනංජය ලක්ෂාන් 34, දුනිත් වෙල්ලාලගේ 52, ලහිරු සමරකෝන් නොදැවී 53, විශ්ව ප්‍රනාන්දු 2/40, ලක්ෂාන් සඳකැන් 3/60

Galle කණ්ඩායමට කඩුල්ලක ජයක්.

6 වැනි තරගය, දඹුල්ල, පෙබරවාරි 29, 2024, National Super League Limited Over Tournament

o ක්‍රීඩාංගණය – රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, දඹුල්ල

o කාසියේ වාසිය – Kandy

කාසියේ වාසිය දිනා ගත් මහනුවර ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි කොළඹ ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 215ක් ලබා ගත්තා.

එම ඉනිම වෙනුවෙන් විශාද් රන්දික පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 59ක් ලබා ගත්තා. ඔහුට අමතර ව දුශාන් විමුක්ති ද පන්දු 71කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 48ක් ලබා ගත්තා.

දුශාන් විමුක්ති සහ ආරම්භක පිතිකරු චමිඳු වික්‍රමසිංහ 2 වැනි කඩුල්ලට පන්දු 68ක දී ලකුණු 50ක සබඳතාවක් එක් කළා. එහි දී චමිඳු වික්‍රමසිංහ පන්දු 57කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 40ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී ලහිරු කුමාර ලකුණු 27කට කඩුලු 3ක් දවා ගත් අතර වනුජ සහන් කඩුලු 2ක් දවා ගත්තා. ඊට අමතර ව සහන් ආරච්චිගේ, චාමික කරුණාරත්න, චාමික ගුණසේකර, පුලින තරංග සහ මිතුන් ජයවික්‍රම කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 221ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය ඔවුන් සතු කර ගත්තා. එම ඉලක්කය පසු කරද්දී ඔවුන්ට තවත් පන්දු 48ක් සහ කඩුලු 6ක් ඉතිරි ව තිබූ අතර ඊට අර්ධ ශතක 3ක් ද එක් වී තිබුණා.

ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල පන්දු 23ක දී හතරේ පහර 12ක් සමඟින් ලකුණු 50ක් ලබා ගැනීම ඉනිමේ කැපී පෙණෙන සිදු වීමක් වූවා. පළමු කඩුල්ලට ඔහු දැවී යන විට ලකුණු පුවරුව 60 රැදී තිබුණ අතර අනෙක් අන්තයෙන් නොදැවී රැදී සිටි ලහිරු උදාර රැස් කරගෙන සිටියේ ලකුණු 9ක් පමණයි.

ඊට අමතර ව කමිල් මිෂාර පන්දු 104කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 63ක් ලබා ගත් අතර තරගය අවසන් වන විට සහන් ආරච්චිගේ පන්දු 74කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 58ක් ද සහ චාමික කරුණාරත්න පන්දු 13ක දී හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 20ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී ප්‍රභාත් ජයසූරිය ලකුණු 26කට කඩුලු 2ක් දවා ගත් අතර තරිඳු රත්නායක සහ කසුන් රාජිත කඩුල්ල බැගින් බෙදා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • Colombo – සියලුම දෙනා දැවී 215 (46.4)ක්‍රිශාන් සංජුල 25, චමිඳු වික්‍රමසිංහ 40, දුශාන් විමුක්ති 48, විශාද් රන්දික නොදැවී 59, ලහිරු කුමාර 3/27, වනුජ සහන් 2/39
  • Kandy– කඩුලු 4ක් දැවී 221 (42.0)නිරෝෂන් දික්වැල්ල 50, කමිල් මිෂාර 63, සහන් ආරච්චිගේ නොදැවී 58, චාමික කරුණාරත්න නොදැවී 20, ප්‍රභාත් ජයසූරිය 2/26

Kandy කණ්ඩායමට කඩුලු 6ක ජයක්.

මේ වන විට මෙම තරගාවලියේ තරග 2 බැගින් සෑම කණ්ඩායමක් ම සහභාගී වී ඇති අතර ඒ සෑම කණ්ඩායමක් ම තරගයක් බැගින් ජයග්‍රහණය කර තිබිම විශේෂත්වයක්. කෙසේ වෙතත් මේ වෙද්දී සුසැදි ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානය දළ ලකුණු ලබා ගැනීමේ වේගය මත Kandy කණ්ඩායම ද සහ 2 වැනි ස්ථානය Colombo කණ්ඩායම විසින් ද වෙන්කර ගෙන සිටිනවා.

තරගාවලියේ මීළඟ තරග මාර්තු මස 3 වැනිදා පැවැත්වීමට නියමිතයි. ඒ අනුව පැවැත්වෙන යාපනය සහ ගාල්ල කණ්ඩායම් අතර තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ද සහ මහනුවර සහ දඹුල්ල කණ්ඩායම් අතර පැවැත්වෙන තරගය හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේ දී ද ක්‍රියාත්මක වේ.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<