නිපුන් ගේ ශතකය අපතේ යයි

212
NSL Limited Over Tournament 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන National Super League එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය අද (23) ආරම්භ වූ අතර ආරම්භක දිනයේ දී ම ශතකලාභියෙක් විමට Jaffna කණ්ඩායමේ නිපුන් කරුණානායක සමත් වූවා.

නමුත් ඔහුගේ මෙම ශතකයේ ඵල ලබා ගැනීමට ඔහුට නොහැකි වූ අතර ප්‍රතිවාදී Colombo ක්‍රීඩකයෝ එම තරගයේ ජයග්‍රහණය ලබා ගත්තා.

1 වැනි තරගය, පල්ලෙකැලේ, පෙබරවාරි 23, 2024, National Super League Limited Over Tournament

o කාසියේ වාසිය – Galle

o ක්‍රීඩාංගණය – ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, පල්ලෙකැලේ

කාසියේ වාසිය දිනා ගත් Galle කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරමින් පිටියට පිවිසෙමින් ලබා ගත්තේ ලකුණු 146ක් පමණයි. එම ලෙහෙසි ඉලක්කය 24 වැනි පන්දුවාරයේ දී සපුරා ගැනීමට ප්‍රතිවාදී Kandy ක්‍රීඩකයෝ සමත් වූවා.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Galle ඉනිමේ පළමු පන්දුවාර 11 තුළ කඩුලු 5ක් දැවී යෑම ඔවුන්ගේ ඉනිමේ කඩා වැටීමේ ආරම්භය ලෙසින් හැඳින්විය හැකියි. සංගීත් කුරේ (6), ඔෂඳ ප්‍රනාන්දු (0), ඉරෝෂ් සමරසූරිය (5), පසිඳු සූරියබණ්ඩාර (1) සහ ලක්ෂිත මනසිංහ (6) ඒ අතර වෙද්දී දිනේෂ් චන්දිමාල ද ආබාධිත තත්ත්වයක් මත ලකුණු 3ක් ලබා සිටිය දී පිටියෙන් ඉවත් වූවා. ඒ වෙද්දී ගාලු ඉනිම කියැවුණේ ලකුණු 31ක් ලෙසයි.

මේ වෙද්දී ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ ශෙහාන් ප්‍රනාන්දු නොදැවී එක් අන්තයක් ආරක්ෂා කරගෙන ගාලු ඉනිමේ ලකුණු පුවරුව කෙමෙන් කෙමෙන් ඉහළට ගෙන ඒමට උත්සාහ කළා.

නමුත් ඉන් අනතුරු ව නායක දුනිත් වෙල්ලාලගේ ද ලකුණු 6කට දැවී ගියා අතර ශාලිත් ප්‍රනාන්දු (10), ලහිරු සමරකෝන් (18), මිලාන් රත්නායක (10) සහ අසංක මනෝජ් (1) අඩු ලකුණුවලට සීමා වීමෙන් ගාලු ඉනිමට මෙම විපත සිදු වුණා.

ඔවුන්ගේ ඉනිම අවසන් වෙද්දී ශෙහාන් ප්‍රනාන්දු පන්දු 97කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 66ක් ලබා සිටියා.

කඩුලු ලබා ගැනීමේ දී ලහිරු කුමාර ලකුණු 31කට කඩුලු 3ක් දවා ගත් අතර චාමික ගුණසේකර කඩුලු 2ක් දවා ගත්තා. ඊට අමතර ව චමෝද් සඳරු, වනුජ සහන්, චාමික කරුණාරත්න සහ අශේන් ඩැනියෙල් කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Kandy ක්‍රීඩකයෝ කඩුලු 2ක් පමණක් දැවී ඔවුන්ගේ ඉලක්කය පසු කළා. එහි දී කමිල් මිෂාර පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් නොදැවී ලකුණු 66ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූවා.

ඊට අමතර ව තරගය අවසන් වෙන විට අනෙක් අන්තයෙන් චමෝද් සඳරු නොදැවී පිටියේ රැදී සිටියේ ලකුණු 33ක් ලබා ගනිමිනුයි. ඔහු ඒ වෙනුවෙන් පන්දු 44කට මුහුණ දී සිටි අතර හතරේ පහර 3ක් සහ හයේ පහරක් ඇතුලත් වුණා.

ආරම්භක පිතිකරු ලෙසින් පිටියට එක් වූ නිරෝෂන් දික්වැල්ල පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 30ක් ලබා ගත්තා. ලහිරු කුමාරට මෙම තරගයේ දී ලබා ගත හැකි වූයේ ලකුණු 4ක් පමණයි.

දැවී ගිය කඩුලු 2 ලහිරු සමරකෝන් සහ අසංක මනෝජ් සතු වුණා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Galle – සියලුම දෙනා දැවී 146 (44.4) ශෙහාන් ප්‍රනාන්දු 66, ලහිරු සමරකෝන් 18, චාමික ගුණසේකර 2/17, ලහිරු කුමාර 3/31

Kandy – කඩුලු 2ක් දැවී 147 (23.2) නිරෝෂන් දික්වැල්ල 30, කමිල් මිෂාර නොදැවී 66, චමෝද් සඳරු නොදැවී 33

Kandy කණ්ඩායමට කඩුලු 8ක ජයක්.

2 වැනි තරගය, දඹුල්ල, පෙබරවාරි 23, 2024, National Super League Limited Over Tournament

o ක්‍රීඩාංගණය – රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, දඹුල්ල

o කාසියේ වාසිය – Colombo

කාසියේ වාසිය දිනා ගත් Colombo කණ්ඩායමේ නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Jaffna කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 310ක් ලබා ගත් අතර එම ඉලක්කය කඩුලු 7ක් පමණක් දැවී සපුරා ගැනීමට Colombo ක්‍රීඩකයෝ සමත් වූවා.

තරගයේ වඩාත් කැපී පෙණෙන ක්‍රීඩකයා වූයේ පරාජිත කණ්ඩායමේ නිපුන් කරුණානායක. ඔහු පන්දු 119කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 108ක් ලබා ගත්තා. එය ඔහුගේ තරග 104ක් වන පළමු පෙළ තරග දිවියේ හොඳම ඉනිම මෙන් ම 10 වැනි ශතකයයි.

ඊට අමතර ව ඔහු තෙවැනි කඩුල්ල සඳහා හසිත බෝයගොඩ හා එක් ව ලකුණු 97ක සබඳතාවක් ද ගොඩ නැගුවා. හසිත බෝයගොඩ ලබා ගත් ලකුණු සංඛ්‍යාව 86ක්. ඔහුගේ ඉනිමට හතරේ පහර 10ක් සහ හයේ පහරක් ඇතුලත් වුණා.

කඩුලු දවා ගැනීමේ දී කසුන් රාජිත ලකුණු 62කට කඩුලු 2ක් දවා ගත් අතර චමිඳු වික්‍රමසිංහ, තරිඳු රත්නායක, විජයකාන්ත් වියස්කාන්ත් සහ දිනුර කළුපහන කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිමේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 22ක වෙද්දී දැවී ගිය ද තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 87ක සබඳතාවක් එක් කිරීමට ක්‍රිශාන් සංජුල සහ නුවනිඳු ප්‍රනාන්දු සමත් වූවා.

ක්‍රිශාන් සංජුල පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 47ක් ලබා ගත් අතර නුවනිඳු ප්‍රනාන්දු ඊට පසු කඩුල්ලට දැවී යද්දී පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 61ක් ලබා සිටියා.

ඉන් අනතුරු ව එම ඉනිම වෙනුවෙන් නැවත ලකුණු 73ක සබඳතාවක් එක් කිරීමට අශේන් බණ්ඩාර සහ විශාද් රන්දික සමත් වූවා. විශාද් රන්දික පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 54ක් ලබා ගත්තා.

තරගය අවසන් වන විට අශේන් බණ්ඩාර පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් නොදැවී ලකුණු 80ක් ලබා සිටි අතර තරිඳු රත්නායක පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 37ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී ශිරාන් ප්‍රනාන්දු සහ ප්‍රමෝද් මධුශාන් කඩුලු 2 බැගින් දවා ගනිද්දී රවිඳු ප්‍රනාන්දු සහ ජෙෆ්රි වැන්ඩර්සේ කඩුල්ල බැගින් බෙදා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Jaffna – කඩුලු 6ක් දැවී 310 (50.0) හසිත බෝයගොඩ 86, නිපුන් කරුණානායක 108, රවිඳු ප්‍රනාන්දු 26, කසුන් රාජිත 2/62

Colombo – කඩුලු 7ක් දැවී 312 (47.3) ක්‍රිශාන් සංජුල 47, නුවනිඳු ප්‍රනාන්දු 61, අශේන් බණ්ඩාර නොදැවී 80, විශාද් රන්දික 54, තරිඳු රත්නායක නොදැවී 37, ප්‍රමෝද් මධුශාන් 2/57, ශිරාන් ප්‍රනාන්දු 2/47

Colombo කණ්ඩායමට කඩුලු 3ක ජයක්.

තරගාවලියේ මිළඟ තරග මේ මස 26 වැනිදා පැවැත්වීමට නියමිතයි. ඒ අනුව Colombo සහ Dambulla කණ්ඩායම් අතර තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ද සහ Kandy සහ Jaffna රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත් වෙනවා.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ පිටියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<