ජනිත් සහ ලහිරුගෙන් ද්විත්ව ශතක සබඳතාවක්

National Super League Limited Over Tournament

671
National Super League Limited Over Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන National Super League එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (26) නිමා වූ සිවු වැනි තරගයේ දී යාපනය කණ්ඩායමේ ජනිත් ලියනගේ සහ ලහිරු මධුශංක මහනුවර කණ්ඩායමට එරෙහි ව ද්විත්ව ශතක සබඳතාවක් එක් කිරීමට සමත් වූවා.

එම ලකුණු සංඛ්‍යාව අතර තම List A පිටියේ ඉහළ ම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට ද ජනිත් ලියනගේ සමත් වීම කැපී පෙණුනා. ඔහු අද දවසේ වාර්තා වූ එක ම ශතකයේ හිමිකරු ද වූවා. ජනිත් අද වාර්තා කළේ මෙවර මෙම තරගාවලියේ දෙවැනි ශතකයයි.

මේ අතර 27 හැවිරිදි වියේ පසුවෙන හසංක රත්නායක, අද Colombo කණ්ඩායම හා සමඟින් තම List A පිටියේ මංගල තරගයට සහභාගී වූ අතර එහි දී Dambulla කණ්ඩායමට එරෙහිව අර්ධ ශතකයක් සහ පන්දු යැවීමේ දී ලකුණු 39කට කඩුලු 3ක් දවා ගනිමින් දක්ෂතා දැක් වීම කැපී පෙණුනා.

List A පිටියේ තම 154 වැනි තරගයට සහභාගී වූ නිරෝෂන් දික්වැල්ල ලකුණු 5000 කඩඉම ද සහ 74 වැනි තරගයට එක් වූ ලහිරු උදාර ලකුණු 2000 කඩඉම ද පසු කිරීමට සමත් වීම ද අද දවසේ තවත් කැපී පෙණෙන සිදුවීමක් බවට පත් වුනා.

දිනයේ පැවැති තරගවල දී කොළඹ කණ්ඩායමේ අවිශ්ක ප්‍රනාන්දු, දඹුල්ල කණ්ඩායමේ පවන් රත්නායක සහ රනේෂ් සිල්වා, මහනුවර කණ්ඩායමේ නිරෝෂන් දික්වැල්ල, ලහිරු උදාර, කමිල් මිෂාර සහ සහන් ආරච්චිගේ යාපනය කණ්ඩායමේ ලහිරු මධුශංක අර්ධ ශතක වාර්තා කළා.

3 වැනි තරගය, පල්ලෙකැලේ, පෙබරවාරි 26, 2024, National Super League Limited Over Tournament

o කාසියේ වාසිය – Dambulla

o ක්‍රීඩාංගණය – ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, පල්ලෙකැලේ

කාසියේ වාසිය දිනා ගත් දඹුලු නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටිය පිවිසි කොළඹ ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 261ක් ලබා ගත්තා. එම ඉනිම වෙනුවෙන් නායක අවිශ්ක ප්‍රනාන්දු සහ කෝඩුකාර හසංක රත්නායක අර්ධ ශතක වාර්තා කිරීමට කැපී පෙණුනා.

අවිශ්ක ප්‍රනාන්දු පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 53ක් ලබා ගනිද්දී හසංක රත්නායක පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 55ක් ලබා ගත්තා.

ඊට අමතර ව විශාද් රන්දික පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 45ක් ලබා ගත්තා. ඔහු හසංක රත්නායක සමඟ එක් වෙමින් 7 වැනි කඩුල්ල සඳහා ලකුණු 75ක සබඳතාවක් ලබා ගත් අතර එය ඉනිමේ හොඳම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වුනා.

කඩුලු දවා ගැනීමේ දී චමිඳු විජේසිංහ ලකුණු 63කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර සොනාල් දිනූෂ කඩුලු 2ක් ද සහ ධනංජය ද සිල්වා, දුශාන් හේමන්ත, අසිත ප්‍රනාන්දු සහ විශ්ව ප්‍රනාන්දු කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දඹුලු ක්‍රීඩකයෝ තවත් පන්දු 8ක් ඉතිරිව තිබිය දී කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 263ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය තමන් සතු කර ගත්තා.

එම ඉනිම වෙනුවෙන් පවන් රත්නායක පන්දු 100කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 90ක් ලබා ගත් අතර එය තරගයේ පිතිකරුවෙක් රැස් කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව ද වූවා.

ඊට අමතර ව රනේෂ් සිල්වා පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 50ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා අතර සිවු වැනි කඩුල්ලට වූ සබඳතාව ලකුණු 105ක්.

කඩුලු දවා ගැනීමේ දී හසංක රත්නායක ලකුණු 39කට කඩුලු 3ක් දවා ගත්තා. ඊට අමතර ව දිනුර කළුපහන කඩුලු 2ක් ද, නුවනිඳු ප්‍රනාන්දු සහ කසුන් රාජිත කඩුල්ල බැගින් ද බෙදා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • Colombo– කඩුලු 9ක් දැවී 261 (50.0)අවිශ්ක ප්‍රනාන්දු 53, ෂෙවෝන් ඩැනියෙල් 28, ක්‍රිශාන් සංජුල 35, විශාද් රන්දික 45, හසංක රත්නායක 55, චමිඳු විජේසිංහ 3/63, සොනාල් දිනූෂ 2/35
  • Dambulla– කඩුලු 7ක් දැවී 263 (48.4)මිනෝද් භානුක 35, ලසිත් කෲස්පුල්ලේ 23, පවන් රත්නායක 90, රනේෂ් සිල්වා 50, දුශාන් හේමන්ත නොදැවී 21, හසංක රත්නායක 3/39, දිනුර කළුපහන 2/23

Dambulla කණ්ඩායමට කඩුලු 3ක ජයක්.

4 වැනි තරගය, දඹුල්ල, පෙබරවාරි 26, 2024, National Super League Limited Over Tournament

o ක්‍රීඩාංගණය – රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, දඹුල්ල

o කාසියේ වාසිය – Jaffna

කාසියේ වාසිය දිනා ගත් යාපනය ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා ප්‍රතිවාදී මහනුවර ක්‍රීඩකයන්ට ආරාධනා කළ අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 7ක් දැවී ලකුණු 359ක් ලබා ගත්තා.

එම ඉනිම වෙනුවෙන් අර්ධ ශතක 4ක් එක් වීම විශේෂත්වයක් වුනා. එහි දී නිරෝෂන් දික්වැල්ල, ලහිරු උදාර, කමිල් මිෂාර සහ සහන් ආරච්චිගේ අර්ධ ශතක වාර්තා කළා.

මහනුවර කණ්ඩායමේ නායක නිරෝෂන් දික්වැල්ල පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 53ක් ලබා ගනිද්දී ලහිරු උදාර පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 93ක් ලබා ගත්තා.

ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට පන්දු 102ක දී එක් කළ ලකුණු සංඛ්‍යාව 143ක්.

ඉන් අනතුරු ව කමිල් මිෂාර පන්දු 79කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 76ක් ද සහ සහන් ආරච්චිගේ පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 73ක් ද ලබා ගත්තා.

ඔවුන් දෙදෙනා එක් ව සිවු වැනි කඩුල්ලට පන්දු 122ක දී ලකුණු 132ක සබඳතාවක් ගොඩ නැගුවා.

කඩුලු දවා ගැනීමේ දී ජෙෆ්රි වැන්ඩර්සේ සහ චමත් ගෝමස් කඩුලු 2 බැගින් ද, ජනිත් ලියනගේ සහ ලහිරු මධුශංක කඩුල්ල බැගින් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි යාපනය ක්‍රීඩකයෝ ඉනිම අවසන් වීමට තවත් පන්දු 7ක් ඉතිරි ව තිබිය දී කඩුලු 9ක් දැවී ලකුණු 360ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය තමන් සතු කර ගත්තා.

එම ඉනිම වෙනුවෙන් නායක, ජනිත් ලියනගේ පන්දු 106කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 130ක් ලබා ගත්තා. ඔහු ලහිරු මධුශංක හා එක් වෙමින් 5 වැනි කඩුල්ලට ලකුණු 210ක සබඳතාවක් එක් කිරීමට ද සමත් වූවා.

ලහිරු මධුශංක පන්දු 79කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 87ක් ලබා ගත්තා. එය ලහිරු මධුශංකගේ List A තරග 99ක හොඳම ඉනිමයි.

කඩුලු දවා ගැනීමේ දී චාමික ගුණසේකර ලකුණු 75කට කඩුලු 3ක් දවා ගත් අතර අශේන් ඩැනියෙල් සහ ලහිරු කුමාර කඩුලු 2 බැගින් ද, චාමික කරුණාරත්න කඩුල්ලක් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • Kandy – කඩුලු 9ක් දැවී 360 (48.5) නිරෝෂන් දික්වැල්ල 53, ලහිරු උදාර 93, කමිල් මිෂාර 76, සහන් ආරච්චිගේ 73, අහන් වික්‍රමසිංහ නොදැවී 23, චමත් ගෝමස් 2/54, ජෙෆ්රි වැන්ඩර්සේ 2/48
  • Jaffna- කඩුලු 9ක් දැවී 360 (48.5) හසිත බෝයගොඩ 47, රොන් චන්ද්‍රගුප්ත 25, ජනිත් ලියනගේ 130, ලහිරු මධුශංක 87, චාමික ගුණසේකර 3/75, ලහිරු කුමාර 2/73, අශේන් ඩැනියෙල් 2/43

Jaffna කණ්ඩායමට කඩුල්ලක ජයක්.

තරගාවලියේ මීළඟ තරග පෙබරවාරි 29 වැනිදා පැවැත්වීමට නියමිතයි. ඒ අනුව පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ද සහ කොළඹ සහ මහනුවර කණ්ඩායම් අතර පැවැත්වෙන තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේ දී ක්‍රියාත්මක වේ.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<