Dambulla සහ Kandy පෙරමුණ ගනී

National Super League Limited Over Tournament

102
National Super League Limited Over Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන National Super League එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග අද (06) අවසන් වෙද්දී Dambulla සහ Kandy කණ්ඩායම් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

අද පැවැති Dambulla සහ Jaffna අතර තරගයෙන් දඹුලු ක්‍රීඩකයෝ ජයග්‍රහණය ලබා ගන්නා ලද ඔවුන් මෙම තරගාවලියේ දී තරග 3ක ජයග්‍රහණ හිමි කර ගනිමින් මෙම අවස්ථාව උදා කර ගත්තා.

අද පැවැති අනෙක් තරගයේ දී Colombo කණ්ඩායම පරාජය කරමින් Galle ක්‍රීඩකයෝ ජයග්‍රහණය කළ ද ඔවුන්ට එය අවසන් මහා තරගය දක්වා පැමිණිමට තරම් ප්‍රමාණවත් ජයග්‍රහණයක් වූයේ නැහැ.

ඒ වෙද්දී Kandy කණ්ඩායම ප්‍රසාද ලකුණු 4ක් ලබා සිටි අතර ඔවුන්ගේ දළ ලකුණු ලබා ගැනීමේ වේගය ලකුණු 0.791ක් ලෙසින් පැවැතියා. ඊට ප්‍රසාද ලකුණු පුවරුවේ 2 වැනි ස්ථානය හිමි වූවා.

මේ අතර අද පැවැති තරගවල දී  ගාලු කණ්ඩායමේ ශෙහාන් ප්‍රනාන්දු සහ ධනංජය ලක්ෂාන් ද, යාපනය කණ්ඩායමේ නිපුන් කරුණානායක ද සහ දඹුල්ල කණ්ඩායමේ පවන් රත්නායක අර්ධ ශතක ලබා ගනිමින් දක්ෂතා දැක් වූවා.

පන්දු යැවීමේ දී කොළඹ කණ්ඩායමේ ප්‍රභාත් ජයසූරිය කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.

9 වැනි තරගය, කොළඹ, 03 මාර්තු 2024, National Super League Limited Over Tournament

o කාසියේ වාසිය – Colombo

o ක්‍රීඩාංගණය – ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, කොළඹ

කාසියේ වාසිය දිනා ගත් කොළඹ ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ගාල්ල ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 188ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් කොළඹ ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 174ක් පමණයි.

ගාලු ඉනිම අර්ධ ශතක 2කින් සමන්විත වූවා. ඒ ආරම්භක පිතිකරු ශෙහාන් ප්‍රනාන්දු සහ ධනංජය ලක්ෂාන් එක් කළ අර්ධ ශතකයි.

ශෙහාන් ප්‍රනාන්දු පන්දු 95කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් ලකුණු 71ක් ලබා ගත් අතර ධනංජය ලක්ෂාන් පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 60ක් ලබා ගත්තා.

ඔවුන් දෙදෙනා එක් ව 4 වැනි කඩුල්ලට පන්දු 125ක දී ලකුණු 114ක සබඳතාවක් එක් කළා. ඔවුන්ගේ එම සබඳතාවේ නිමාවත් සමඟින් ඉතිරි කඩුලු 6 ලකුණු 20ක් තුළ දවා ගැනීමට කොළඹ පන්දු යවන්නෝ සමත් වීම කැපී පෙණුනා.

එහි දී ප්‍රභාත් ජයසූරිය ලකුණු 18කට කඩුලු 5ක් දවා ගත් අතර තරිඳු රත්නායක ලකුණු 52කට කඩුලු 3ක් දවා ගත්තා. ඊට අමතර ව කසුන් රාජිත සහ නිශාන් පීරිස් අතර කඩුල්ල බැගින් බෙදී ගියා.

කොළඹ ක්‍රීඩකයන්ගේ ආරම්භය තරමක් සවිමත් වූව ද මැද පෙළින් සහ පසු පෙළින් නොලැබුණ සහයෝගය මත ඔවුන්ගේ ඉනිම තවත් පන්දු 8ක් ඉතිරිව තිබිය දී නිමා වූවා. එම ඉනිමේ කැපී පෙණෙන පිතිකරුවන් බවට පත් වූයේ නුවනිඳු ප්‍රනාන්දු, ශෙවෝන් ඩැනියෙල් සහ නිසල තාරකයි.

ශෙවෝන් ඩැනියෙල් පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 32ක් ලබා ගත් අතර නුවනිඳු ප්‍රනාන්දු පන්දු 17ක දී හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 34ක් ලබා ගත්තා.

පසු පෙළින් පිටියට පිවිසි නිසල තාරක තරගය අවසන් වන විට පන්දු 21කට මුහුණ දී හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 32ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී දුනිත් වෙල්ලාලගේ සහ කවිශ්ක අංජුල කඩුලු 3 බැගින් දවා ගනිද්දී නිමේෂ් විමුක්ති කඩුලු 2ක් ද සහ උදිත් මධුශාන් කඩුල්ලක් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • Galle – සියලුම දෙනා දැවී 188 (38.3)ශෙහාන් ප්‍රනාන්දු 71, ධනංජය ලක්ෂාන් 60, තරිඳු රත්නායක 3/52, ප්‍රභාත් ජයසූරිය 5/18
  • Colombo – සියලුම දෙනා දැවී 174 (18.4)ශෙවෝන් ඩැනියෙල් 32, නුවනිඳු ප්‍රනාන්දු 34, නිසල තාරක නොදැවී 32, දුනිත් වෙල්ලාලගේ 3/40, නිමේෂ් විමුක්ති 2/33, කවිශ්ක අංජුල 3/44

Galle කණ්ඩායමට ලකුණු 14ක ජයක්.

10 වැනි තරගය, දඹුල්ල, මාර්තු 03, 2024, National Super League Limited Over Tournament

o ක්‍රීඩාංගණය – මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, සූරියවැව

o කාසියේ වාසිය – Dambulla

කාසියේ වාසිය දිනූ දඹුලු නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි යාපනය ක්‍රීඩකයෝ කඩුලු 8ක් පමණක් දැවී ලකුණු 218ක් ලබා ගත්තා. එම ඉනිම පන්දු 104කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 83ක් ලබා ගැනීමට නිපුන් කරුණානායක සමත් වූවා.

ඊට අමතර ව එම ඉනිමේ වැඩිම ලකුණුලාභීන් වූයේ නායක නිශාන් මධුශ්ක සහ සංතුශ් ගුණතිලකයි. ඔවුන් දෙදෙනා ලකුණු 28 බැගින් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී මොහොමඩ් ශිරාෂ් සහ දුශාන් හේමන්ත කඩුලු 2 බැගින් දවා ගනිද්දී විශ්ව ප්‍රනාන්දු කඩුල්ලක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දඹුලු ක්‍රීඩකයෝ තරගයේ තවත් පන්දු 17ක් ඉතිරි ව තිබිය දී ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගත්තා. ඒ වෙද්දී ඔවුන්ගෙන් අහිමි ව තිබුණේ කඩුලු 8ක් පමණයි.

එම ඉනිමේ කැපී පෙණෙන ක්‍රීඩකයා බවට පත් වූවේ පවන් රත්නායක. ඔහු ආබාධිත බවට පත් ව වරක් පිටියෙන් ඉවත් ව ගිය අතර නැවත පැමිණි තරගය ජයග්‍රහණය තෙක් පිටියේ රැදී සිටියා. ඒ වෙද්දී ඔහු පන්දු 57කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 56ක් ලබා ගත්තා.

ඊට අමතර ව සොනාල් දිනූෂ පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 44ක් ද සහ දුශාන් හේමන්ත පන්දු 68කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 38ක් ද ලබා ගත්තා.

මේ අතර ආරම්භක පිතිකරු ලසිත් කෲස්පුල්ලේ විසින් පන්දු 24කට මුහුණ දී හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් එක් කළ ලකුණු 30ක් එම ඉනිමට ඇතුලත්.

කඩුලු දවා ගැනීමේ දී දිලුම් සුදීර සහ ඒශාන් මාලිංග කඩුලු 2 බැගින් දවා ගත් අතර සඳුන් වීරක්කොඩි, සංතුශ් ගුණතිලක, සහන් නානායක්කාර සහ රවිඳු ප්‍රනාන්දු කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • Jaffna – කඩුලු 8ක් දැවී 218 (50.0) නිශාන් මධුශ්ක 28, නිපුන් කරුණානායක 83, සංතුශ් ගුණතිලක 28, රවිඳු ප්‍රනාන්දු 22, මොහොමඩ් ශිරාෂ් 2/21, දුශාන් හේමන්ත 2/41
  • Dambulla- කඩුලු 8ක් දැවී 219 (47.1) ලසිත් කෲස්පුල්ලේ 30, පවන් රත්නායක නොදැවී 56, සොනාල් දිනූෂ 44, දුශාන් හේමන්ත 38, එශාන් මාලිංග 2/51, දිලුම් සුදීර 2/33

Dambulla කණ්ඩායමට කඩුලු 2ක ජයක්.

එම තරග ද්විත්වයත් සමඟින් මෙම තරගාවලියේ පළමු වටයේ තරග අවසන් වන අතර ඒ අනුව සුසැදි ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථාන ද්වත්වය Dambulla සහ Kandy කණ්ඩායම් හිමිකර ගන්නා.

ඒ අනුව ඔවුන් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නා ලද අතර එම තරගය මේ මස 09 වැනිදා දිවා/රාත්‍රී තරගයක් ලෙසින් කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<