පැතුම් ලා දිනය තම නමට ලියා ගනී

SLC National Super League 4 Day Tournament 2024

285
NSL 4 Day 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ අද (02) පැවැති තරගවල දී Team Kandy කණ්ඩායමේ පැතුම් නිස්සංක සහ Team Colombo කණ්ඩායමේ පැතුම් කුමාර ශතක ලබා ගැනීමට සමත් වූවා.  

මේ අතර Team Galle කණ්ඩායමේ ධනංජය ලක්ෂාන් සහ Team Colombo ලක්ෂිත මනසිංහ ද අර්ධ ශතක ලබා ගනිමින් කැපී පෙණෙන ඉනිම් ක්‍රීඩා කළා.  

Team Galle සහ Team Dambulla 

  • ක්‍රීඩාංගණයමහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, හම්බන්තොට 
  • කාසියේ වාසිය – Team Galle 

පෙර දිනයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් Team Galle ක්‍රීඩකයෝ දවස අවසන් වන විට කඩුලු 3ක් දැවී ලකුණු 346ක් ලබා සිටි අතර අද ඔවුන් කඩුලු 7කට ලකුණු 519ක් ලබා ගනිමින් තම ඉනිම අත් හිට වූවා.  

පෙර දිනයේ දී නොදැවී ලකුණු 75ක් ලබා සිටි ලක්ෂාන් එදිරිසිංහ අද පළමු කඩුල්ල ලෙස දැවී යද්දි ලබා සිටියේ ලකුණු 78ක් පමණයි. ඔහුගේ දැවී යෑමත් සමඟ පසිඳු සූරියබණ්ඩාර සහ ලක්ෂාන් එදිරිසිංහ එක් ව එතෙක් ගොඩනගමින් සිටි සිවු වැනි කඩුල්ලේ සබඳතාව බිඳී ගියා.  

ඒ වෙද්දී ඔවුන් දෙදෙනා එක් ව පන්දු 155කට මුහුණ දෙමින් ලකුණු 123ක් ලබා සිටියා.  

අනතුරු ව එතෙක් සාර්ථක ඉනිමක් ගොඩ නගමින් සිටි පසිඳු සූරියබණ්ඩාර ගේ ඉනිම ද අවසන් වූවා. පසිඳු පන්දු 207කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 148ක්. 

ඉන් අනතුරුව ගාලු කණ්ඩායම වෙනුවෙන් ධනංජය ලක්ෂාන් පන්දු 118කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 69ක් ද සහ මොහොමඩ් ෂමාස් පන්දු 80කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 46ක් ලබා ගත්තා.  

ඉනිම අත්හිටුවන විට නිමේෂ් විමුක්ති නොදැවී ලකුණු 26ක් සහ නිශාන් පීරිස් ලකුණු නොලබා පිටියේ රැඳී සිටියා.  

කඩුලු දවා ගැනීමේ දී චමිඳු විජේසිංහ ලකුණු 70කට කඩුලු 3ක් දවා ගත් අතර ලක්ෂාන් සඳකැන්, මොහොමඩ් ෂිරාස්, සොනාල් දිනූෂ සහ අකිල ධනංජය කඩුල්ලක් බැගින් දවා ගත්තා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Team Dambulla ක්‍රීඩකයෝ දෙවැනි දිනයට තරගය නතර කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 117ක් ලබා සිටියා. පළමු කඩුල්ල ලකුණු 5 දී දැවී ගිය පසු දෙවැනි ඉනිමට ලකුණු 75ක සබඳතාවක් එක් කිරීමට රනේෂ් සිල්වා සහ සනෝජ් දර්ශික සමත් වූවා. ඔවුන් දෙදෙනා ඒ සඳහා පන්දු 172ක් වැය කළ අතර පන්දු 83ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 33ක් ලබා සිටි රනේෂ් සිල්වා දැවී යෑමෙන් එම කඩුල්ලේ සබඳතාව නිමා වූවා.  

තරගය දෙවැනි දිනයට නතර කරන විට සනෝජ් දර්ශික පන්දු 121කට මුහුණ දී හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 45ක් සහ මිනෝද් භානුක පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 32ක් ලබා සිටියා.  

කඩුලු ලබා ගැනීමේ දී ටිලංග උදේශන සහ නිශාන් පීරිස් කඩුල්ල බැගින් බෙදා ගත්තා.  

  • තරගයේ කෙටි ලකුණු පුවරුව

Team Galle – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 519 (120) ඔෂද ප්‍රනාන්දු 127, පසිඳු සූරියබණ්ඩාර 148, ලක්ෂාන් එදිරිසිංහ 78, මොහොමඩ් ෂමාස් 46, ධනංජය ලක්ෂාන් 69, නිමේෂ් විමුක්ති නොදැවී 26, චමිඳු විජේසිංහ 3/70 

Team Dambulla – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 117 (41.0) රනේෂ් සිල්වා 33, සනෝජ් දර්ශික නොදැවී 45, මිනෝද් භානුක නොදැවී 32 

Team Kandy සහ Team Colombo 

  • ක්‍රීඩාංගණයආර්. ප්‍රේමදාස ජත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, කොළඹ 
  • කාසියේ වාසිය – Team Colombo 

පෙර දිනයේ කඩුලු 6ක් දැවී ලකුණු 296ක් ලබා සිටි Team Colombo ක්‍රීඩකයෝ අද තම ඉනිම අවසන් කරන්නේ සියලුම දෙනා දැවී ලකුණු 377ක් ලබා ගනිමිනුයි.  

එම ඉනිම වෙනුවෙන් පෙර දිනයේ දී නොදැවී ලකුණු 67ක් ලබා සිටි පැතුම් කුමාර අද තම ඉනිම ශතකයක් කරා රැගෙන ගියා. ඔහු 8 වැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 156කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් ලකුණු 101ක් ලබා ගත්තා.  

ඊට අමතර ව ලක්ෂිත මනසිංහ පන්දු 148කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 79ක් ලබා ගත්තා. 

පැතුම් කුමාර සහ ලක්ෂිත මනසිංහ 7 වැනි කඩුල්ලට පන්දු 269කට මුහුණ දෙමින් ලකුණු 170ක සබඳතාවක් එක් කළා.  

කඩුලු දවා ගැනීමේ දී වනුජ සහන් ලකුණු 88කට කඩුලු 3ක් දවා ගනිමින් හොඳම පන්දු යැවිම වාර්තා කළ අතර ඊට අමතර ව නිම්සර අතරගල්ල, සිතුම් දිසානායක සහ අශේන් ඩැනියෙල් කඩුලු 2ක් බැගින් බෙදා ගත්තා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Team Kandy ක්‍රීඩකයෝ තරගය දෙවැනි දිනයට නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 241ක් ලබා සිටියා. ඉන් ලකුණු 141ක් ම ලබා සිටියේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක.  

ඔහු පන්දු 168කට මුහුණ දෙමින් හතරේ පහර 21ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 141ක් ලබා සිටියා.  

ඊට අමතර ව අනෙක් ආරම්භක පිතිකරු කසුන් විදුර පන්දු 81ක දී හතරේ පහර 3ක් සහ සමඟින් ලකුණු 33ක් ලබා ගත්තා. පැතුම් සහ කසුන් පළමු කඩුල්ලට පන්දු 154කට මුහුණ දෙමින් ලකුණු 116ක සබඳතාවක් එක් කළා.  

තරගය දෙවැනි දිනයට නතර කරන විට පැතුම් සමඟින් වනුජ සහන් (12) නොදැවී පිටියේ රැඳී සිටියා.  

කඩුලු දවා ගැනීමේ දී නිසල තාරක ලකුණු 55කට කඩුලු 2ක් දවා ගත් අතර ඉසිත විජේසුන්දර, චමිඳු වික්‍රමසිංහ සහ ලක්ෂිත මනසිංහ කඩුල්ල බැගින් බෙදා ගත්තා.  

  • තරගයේ කෙටි ලකුණු පුවරුව

Team Colombo – පළමු ඉනිම සියලුම දෙනා දැවී 377 (103.4) ක්‍රිශාන් සංජුල 31, නිපුන් ධනංජය 56, නුවනිඳු ප්‍රනාන්දු 46, හිමාෂ ලියනගේ 20, පැතුම් කුමාර 101, ලක්ෂිත මනසිංහ 79, සිතුම් දිසානායක 2/78, නිම්සර අතරගල්ල 2/72, වනුජ සහන් 3/88, අශේන් ඩැනියෙල් 2/81 

Team Kandy – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 241 (56.0) පැතුම් නිස්සංක නොදැවී 141, කසුන් විදුර 33, අහන් වික්‍රමසිංහ 21, නිසල තාරක 2/55  

මෙම තරග හෙට (3) තෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි 

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ . 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<