ඇෆ්ගනිස්තානය සමඟ ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

Afghanistan Tour of Sri Lanka 2024

135

ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා සංචිතය අද (31) ප්‍රකාශයට පත් කළා.

ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත මෙම ටෙස්ට් සංචිතයේ නායකත්වය ධනංජය ද සිල්වා හට හිමි වී ඇති අතර, උප නායකත්වය කුසල් මෙන්ඩිස් හට හිමි වී තිබෙනවා.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ 18 වැනි නායකයා ලෙස ධනංජය මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමට සූදානම් ව සිටින අතරේ, ලහිරු උදාර, චාමික ගුණසේකර සහ මිලාන් රත්නායක ටෙස්ට් වරම් නොලද ක්‍රීඩකයින් ලෙස සංචිතයට ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.

එමෙන්ම හිටපු නායක දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේශ් චන්දිමාල් වැනි අත්දැකීම් බහුල ක්‍රීඩකයින් සුපුරුදු පරිදි කණ්ඩායම ශක්තිමත් කිරීමට සූදානමින් සිටිනවා.

මෙතෙක් ඉතිහාසයේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය වන මෙම තරගය එළඹෙන පෙබරවාරි මස 02 සිට 06 වැනි දා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ඇෆ්ගනිස්තානය සමඟ ටෙස්ට් තරගයට නම් කල ශ්‍රී ලංකා සංචිතය –

ධනංජය ද සිල්වා (නායක), කුසල් මෙන්ඩිස් (උපනායක), දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, දිනේශ් චන්දිමාල්, සදීර සමරවික්‍රම, නිශාන් මදුශ්ක, කමිඳු මෙන්ඩිස්, ලහිරු උදාර, ප්‍රභාත් ජයසූරිය, රමේෂ් මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු, චාමික ගුණසේකර සහ මිලාන් රත්නායක

ඇෆ්ගනිස්තාන – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<