ඉන්දියාව භීෂණයේ දා මෙරට ආ ඇෆ්ගනිස්තානුවෝ

Afghanistan Tour of Sri Lanka 2024

637

ටෙස්ට් තරගයකට, එක්දින ජාත්‍යන්තර තරග 3කට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 3ක සහභාගී වන ඇෆ්ගනිස්තාන තරග සංචාරය පෙබරවාරි මස 2 වැනි දා සිට ආරම්භ වීමට නියමිතයි.

Tournament Mat Date Venue
ටෙස්ට් තරගාවලිය 1 පෙබරවාරි

02-06 දක්වා

SSC ක්‍රීඩාංගණය කොළඹ 07
එක්දින තරගාවලිය 1 පෙබරවාරි 09 ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, පල්ලෙකැලේ
2 පෙබරවාරි 11 ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, පල්ලෙකැලේ
3 පෙබරවාරි 14 ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, පල්ලෙකැලේ
විස්සයි විස්ස තරගාවලිය 1 පෙබරවාරි 17 රංගිරි ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, දඹුල්ල
2 පෙබරවාරි 19 රංගිරි ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, දඹුල්ල
3 පෙබරවාරි 21 රංගිරි ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, දඹුල්ල

එක්දින සහ විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ පුවත් මවන්නන් ලෙසින් ප්‍රචලිත ඇෆ්ගනිස්තානුවෝ මෙම තරගාවලිය හා එක් වෙන්නේ ඉන්දියාව සමඟ පැවැති විස්සයි විස්ස තරගාවලියේ දී පෑ සුපිරි දක්ෂතා ද කරපින්නාගෙනයි. එහි දී ඔවුන් විස්සයි ලෝක ඉතිහාසයට සුපිරි පන්දුවාර 2කින් අවසන් කළ එක ම තරගය දායාද කිරීමට සමත් වීම කැපී පෙණුනා.

ඒ අනුව ඔවුන් විස්සයි විස්ස සහ එක්දින පිටියේ සටන්කාමී කණ්ඩායමක් ලෙස වන වර්ගීකරණයේ තව දුරටත් රැදී සිටීමට සමත් ව සිටිනවා.

නමුත් ඔවුන්ගේ ටෙස්ට් තරග ඉතිහාසය නම් එතරම් ම සශ්‍රීක නැහැ. ඔවුන් මේ දක්වා ක්‍රීඩා කර ඇත්තේ ටෙස්ට් තරග 7කට පමණයි. එම තරග වර්ග කිරීමේ දී ඉන්දියාව සමඟ තරගයක්, අයර්ලන්තය සමඟ තරගයක්, බංග්ලාදේශය සමඟ තරග 2ක්, බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ තරගයක් සහ සිම්බාබ්වේ සමඟ තරග 2ක් ලෙසයි.

අවසන් වරට ඔවුන් ටෙස්ට් තරගයක් සඳහා එක් වී ඇත්තේ මීට මාස 6කට ඉහත දී, බංග්ලාදේශය සමඟයි. එම තරගයෙන් ද ඔවුන් ප්‍රතිවාදීන් ඉදිරියේ ලකුණු 546ක පරාජයකට මුහුණ දෙනවා. එය ටෙස්ට් තරග ඉතිහාසයේ ලකුණු පරාජයන් අතර තෙවැනි ස්ථානයට පත් තරගයයි.

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන දෙරට ටෙස්ට් තරග ඉතිහාසය ආරම්භ වෙන්නේ මෙම තරගයෙනුයි.

දෙරට ක්‍රීඩකයෝ මේ දක්වා එක්දින තරග 12කට සහභාගී වී ඇති අතර ඉන් තරග 7ක් මෙරට ක්‍රීඩකයෝ ජයග්‍රහණය කරන ලද අතර ඇෆ්ගනිස්තානුවෝ ජයග්‍රහණය කර ඇත්තේ තරග 4ක් පමණයි. ඉතිරි තරගයට ඉතිහාසයට එක් ව ඇත්තේ නොවිසඳුණ තරගයක් ලෙසයි.

දෙරට අතර අවසන් එක්දින ජාත්‍යන්තර තරගය මීට මාස 3කට ඉහත දී ලෝක කුසලාන තරගාවලියේ දී පැවැති අතර එම තරගයෙන් ඇෆ්ගනිස්තානුවෝ කඩුලු 7ක පහසු ජයග්‍රහණයක් ලබා ගන්නවා.

විස්සයි විස්ස තරග ඉතිහාසයේ මේ දක්වා දෙරට ක්‍රීඩකයෝ තරග 5කට මුහුණ දී ඇති අතර ඉන් තරග 3ක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරද්දී ඉතිරි තරග 2 ජයග්‍රහණය ඇෆ්ගනිස්තානය සතු වෙනවා.

ඔවුන් අවසන් වරට විස්සයි විස්ස තරගයක් හා එකතු වී ඇත්තේ පසුගිය වසරේ චීනයේ දී පැවැති ආසියානු  තරගාවලියේදීයි. එහි දී Mohammad Shahzad ගේ නායකත්වයෙන් යුත් ඇෆ්ගනිස්තානුවෝ ලකුණු 8කින් ජයග්‍රහණය කරනවා.

ඇෆ්ගනිස්තානුවන්ගේ ජාත්‍යන්තර තරග ලැයිස්තුව
  Mat Won Lost Draw Tied NR % W % L
ටෙස්ට් 7 3 4 0 0 0 42.85 57.14
එක්දින තරග 161 77 79 0 1 4 47.82 49.06
විස්සයි විස්ස තරග 124 76 45 0 2 1 61.29 36.29

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ අවධානයට ලක් විය යුතු ක්‍රීඩකයෝ

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ නියමු 29 හැවිරිදි වියේ පසුවෙන Hashmatullah Shahidi නම් වී ඇත්තේ ඉදිරි පෙළ පිතිකරුවෙක් ලෙසයි. වමතින් පිත්ත හසුරුවන ඔහු මේ දක්වා ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග ත්‍රිත්වයේ තරග 85කට ක්‍රීඩා කරමින් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 2508ක්. ඊට ද්විත්ව ශතකයක් සහ අර්ධ ශතක 20ක් ඇතුලත්.

කණ්ඩායමේ පළපුරුදු ක්‍රීඩකයන් අතුරින් Rahmat Shahට ද හිමි වෙන්නේ ප්‍රමුඛ ස්ථානයක්. 30 හැවිරිදි වියේ පසුවෙන ඔහු මේ දක්වා ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග ත්‍රිත්වයේ තරග 115ක දී ශතක 5ක් අර්ධ ශතක 29ක් සමඟින් ලකුණු 4016ක් ලබා සිටිනවා.

මෙම ලකුණු අතර එක්දින ලකුණු 3589ක් ඇති අතර එය ඇෆ්ගනිස්තාන තරග ඉතිහාසයේ පිතිකරුවෙක් ලබා ඇති වැඩිම ලකුණු ලෙසින් ද සැලකෙනවා.

ඔවුන්ගේ දක්ෂතා දක්වන පිතිකරුවන් අතරින් මේ දක්වා පැමිණි  ක්‍රීඩකයන් අතර Ibrahim Zadran සහ Nasir Jamal ද සිටිනවා.

කණ්ඩායම හා එක් ව සිටින දක්ෂතා දක්වන පන්දු යවන්නන් ලෙසින් Yamin Ahmadzai, Yamin Ahmadzai සහ Zahir Khan නම් කර තිබෙනවා.

සංචාරයේ නියුතු කණ්ඩායමේ කෝඩුකාර ක්‍රීඩකයෙක් ලෙසින් තවමත් 18 වැනි වියේ පසුවෙන ක්‍රීඩකයන් දෙදෙනෙක් වන කඩුලු රකින, දකුණත් පිතිකරුවෙක් ලෙසින් වර්ගීකරණය කෙරුණ Mohammad Ishaq සහ දකුණතින් මඳ වේග පන්දු යවන Naveed Zadran ද පළමු වරට නම් කර තිබෙනවා.

Mohammad Ishaq මේ දක්වා පළමු පෙළ තරග 10කට පමණක් සහභාගී වූ ක්‍රිඩකයෙක් වන අතර  Mohammad Ishaq මේ දක්වා ක්‍රීඩා කර ඇත්තේ පළමු පෙළ තරග 7කට පමණයි.

මෙරට පැමිණි ක්‍රීඩකයන් අතර එක්දින සහ විස්සයි විස්ස පිටියේ සුපිරි ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ට ම දොර හැරී නැති අතර ඔවුන් එළැඹෙන තරගාවලි 2 දී කණ්ඩායම හා එක් වීමට නියමිතයි.

මෙරට පැමිණි ඇෆ්ගනිස්තාන සංචිතය:

Hashmatullah Shahidi (නායක), Ibrahim Zadran, Abdul Malik, Noor Ali Zadran, Rahmat Shah (උප නායක), Bahir Shah, Nasir Jamal, Ikram Alikhil (කඩුලු රකින්නා), Mohammad Ishaq (කඩුලු රකින්නා), Qais Ahmad, Zia-ur-Rehman, Zahir Khan, Yamin Ahmadzai, Nijat Masood, Mohammad Saleem and Naveed Zadran

ඇෆ්ගනිස්තාන කණ්ඩායම මෙරට සංචාරයේ යෙදීමේ දී ක්‍රීඩකයන්ට අමතර ව පුහුණුකරුවන් කෙරෙහි ද වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. ඔවුන් මෙම සංචාරයට එක් විමට සතියක් පමණ තිබිය දී ඔවුන්ගේ පුහුණු කාර්ය මණ්ඩලයට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පන්දු රැකීමේ පුහුණුකරුවෙක් වූ ඔස්ට්‍රේලියානු ජාතික Shane McDermott එක්කර ගෙන තිබෙනවා.

මෙරට ක්‍රීඩාංගණ, තණතිලි මෙන් ම ක්‍රීඩකයන් පිළිබඳ ව ද මනා අත්දැකීමක් ඇති ඔහුගෙන සියලු කේලාම් ටික අසා දැන ගැනීම ඔවුන්ට ලැබෙන අමතර වරප්‍රසාදයක් වනු නියතයි. එබැවින් ඒ කේලාම් ටිකත් සමඟ ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ දක්ෂතා ද සමඟින් මනාව ගලපා ගනිමින් මෙම තරගාවලිය හා එක් වීම ඔවුන්ගේ ප්‍රමුඛ බලාපොරොත්තුව යැයි සිතිය හැකියි.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ පිටියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<