දිමුත්ගෙන් ප්‍රතිවාදීන් සසළ කරන ඉනිමක්

SLC National Super League 4 Day Tournament 2024

5644
National Super League 4 Day Tournament 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ 3 වැනි දිනයේ (27) කැපී පෙණෙන ක්‍රීඩකයා බවට වීමට Team Colombo කණ්ඩායමේ දිමුත් කරුණාරත්න සමත් වූවා. ඔහු ප්‍රතිවාදී Team Dambulla කණ්ඩායමට එරෙහිව ශතකයක් ලබා ගත්තා.

මේ අතර ඔහු හා එක් වූ කුසල් මෙන්ඩිස් මෙන් ම Team Jaffna කණ්ඩායමේ නිපුන් කරුණානායක ද අද අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වූවා.

Team Dambulla සහ Team Colombo

o ක්‍රීඩාංගණය – ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, පල්ලෙකැලේ

o කාසියේ වාසිය – Team Dambulla

ප්‍රතිවාදීන් ලබා ගත් ලකුණු 530ක ඉලක්කයක් කරා යන Team Colombo කණ්ඩායම පෙර දිනයේ කඩුල්ලක් දැවී ලකුණු 98ක් ලබා සිටි අතර අද ඔවුන් තරගය තෙවැනි දිනයට නතර කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 388ක් ලබා සිටියා. ඒ අනුව ඔවුන් පළමු ඉනිමේ ප්‍රතිවාදීන් ලබා ගත් ලකුණු අභිබවා යෑමට තවත් ලකුණු 142ක් පිටු පසිනුයි සිටින්නේ.

අද දවසේ කැපී පෙණෙන Team Colombo ක්‍රීඩකයා වූයේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න. පෙර දිනයේ නොදැවී ලකුණු 42ක් ලබා සිටි දිමුත් කරුණාරත්න අද පන්දු 261කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සමඟින් ලකුණු 161ක් ලබා ගත්තා.

එමෙන් ම පෙර දිනයේ නොදැවී ලකුණු 29ක් ලබා සිටි කුසල් මෙන්ඩිස් ද ඔහුට අනගි සහයක් ලබා දෙමින් පන්දු 115කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟින් ලකුණු 80ක් ලබා ගත්තා.

ඔවුන් දෙදෙනා අතර 2 වැනි කඩුල්ලට පන්දු 226ක දී ලකුණු 148ක සබඳතාවක් එක් කළා. ඊට අමතර ව දිමුත් කරුණාරත්න සහ නුවනිඳු ප්‍රනාන්දු අතර තෙවැනි කඩුල්ල සඳහා ද පන්දු 153ක දී ලකුණු 73ක සබඳතාවක් එක් කිරීමට ද දිමුත් කරුණාරත්න සමත් වූවා.

නුවනිඳු ප්‍රනාන්දු පන්දු 76කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 39ක් ලබා ගත්තා. එමෙන් ම පැතුම් කුමාර ද පන්දු 39ක දී හතරේ පහර 7ක් සමඟින් ලකුණු 39ක් ලබා ගැනීමට සමත් වූවා. ඔහු හා සමඟ ද එක් වූ දිමුත් කරුණාරත්න 5 වැනි කඩුල්ලට පන්දු 71ක දී ලකුණු 67ක සබඳතාවක් එක් කළා.

දිනය අවසන් වන විට ලක්ෂිත මනසිංහ (14) සහ ප්‍රභාත් ජයසූරිය (11) නොදැවී පිටියේ රැදී සිටියා.

කඩුලු දවා ගැනීමේ දී විශ්ව ප්‍රනාන්දු ලකුණු 69කට කඩුලු 2ක් දවා ගත් අතර අසිත ප්‍රනාන්දු, අකිල ධනංජය, සොනාල් දිනූෂ සහ ලක්ෂාන් සඳකැන් කඩුල්ල බැගින් බෙදා ගත්තා.

  • තරගයේ කෙටි ලකුණු පුවරුව

Team Dambulla – පළමු ඉනිම සියලුම දෙනා දැවී 530 (153.0) ලියෝ ෆ්‍රැන්සිස්කෝ 87, කමිඳු මෙන්ඩිස් 115, ඇන්ජලෝ මැතිව්ස් 146, පවන් රත්නායක 130, ඉසිත විජේසුන්දර 3/69, ලක්ෂිත මනසිංහ 3/129, ප්‍රභාත් ජයසූරිය 2/103

Team Colombo – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 388 (106.0) දිමුත් කරුණාරත්න 161, ශෙවෝන් ඩැනියෙල් 23, කුසල් මෙන්ඩිස් 80, නුවනිඳු ප්‍රනාන්දු 39, පැතුම් කුමාර 39, විශ්ව ප්‍රනාන්දු 2/69

Team Kandy සහ Team Jaffna

o ක්‍රීඩාංගණය – මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, හම්බන්තොට

o කාසියේ වාසිය – Team Kandy

තරගයේ දෙවැනි දිනය නිමා වෙන විට ලකුණු 159ක් අතැතිව තම දෙවැනි ඉනිමට පිවිසි Team Jaffna ක්‍රීඩකයෝ පෙර දිනයේ දී කිසිවෙක් නොදැවී ලකුණු 6ක් ලබා සිටි අතර අද ඔවුන්ට තම දෙවැනි ඉනිම වෙනුවෙන් ලබා ගත හැකි වූයේ තවත් ලකුණු 228ක් පමණයි. ඒ අනුව ලකුණු පුවරුව 234ක් බවට පත් වෙද්දී ඔවුන්ට තම ඉනිමෙන් සමු ගැනීමට සිදු වූයේ ප්‍රතිවාදීන්ට ජයග්‍රහණයට ලකුණු 394ක ඉලක්කයක් ලබා දෙමිනුයි.

පෙර දින පිටියේ නොදැවී රැදී සිටි Team Jaffna කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් අතුරින් හසිත බෝයගොඩ පන්දු 102කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 42ක් ලබා ගත්තා.

දෙවැනි ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ නිපුන් කරුණානායක. ඔහු පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 60ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 113ක දී ලබා ගන්නා ලද ලකුණු 82 එම ඉනිමේ හොඳම ලකුණු සබඳතාව බවට ද පත් වූවා.

නායක ධනංජය ද සිල්වා (37) සහ රවිඳු ප්‍රනාන්දු (22) ද 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 58ක දී ලකුණු 43ක සබඳතාවක් එක් කිරීම කැපී පෙණුනා.

කඩුලු දවා ගැනීමේ දී චාමික ගුණසේකර ලකුණු 43කට කඩුලු 3ක් දවා ගත් අතර සිතුම් දිසානායක, චාමික කරුණාරත්න සහ ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 2 බැගින් බෙදා ගත්තා.

එම ඉනිම අවසානයේ තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි Team Kandy ක්‍රීඩකයෝ තරගයේ තෙවැනි දිනය අවසන් වෙද්දී කඩුලු 2ක් දැවී ලකුණු 47ක් ලබා සිටියා. ඒ අනුව ඔවුන්ට ජයග්‍රහණය වෙනුවෙන් තවත් කඩුලු 8ක් සහ දිනයක් ඉතිරිව තිබිය දී ලකුණු 347ක් අවශ්‍යයි.

Team Kandy ඉනිමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා ම මේ වන විට තම ඉනිම් අවසන් කරමින් ක්‍රීඩාගාරයට වී සිටින අතර මේ වෙද්දී කමිල් මිෂාර (11) සහ ලසිත් ලක්ෂාන් (4) නොදැවී පිටියේ රැදී සිටිනවා.

  • තරගයේ කෙටි ලකුණු පුවරුව

Team Jaffna – පළමු ඉනිම සියලුම දෙනා දැවී 346 (104.2) නිශාන් මදුශ්ක 38, ජනිත් ලියනගේ 63, ධනංජය ද සිල්වා 113, ලහිරු මධුශංක 67, චාමික ගුණසේකර 2/42, චාමික කරුණාරත්න 3/51, ලසිත් ඇඹුල්දෙණිය 2/103, අශේන් ඩැනියෙල් 2/66

Team Kandy – පළමු ඉනිම සියලුම දෙනා දැවී 187 (67.1) ලහිරු උදාර 23, සහන් ආරච්චිගේ 22, අහන් වික්‍රමසිංහ 51, චාමික කරුණාරත්න 25, චාමික ගුණසේකර 29, ප්‍රමෝද් මධුශාන් 2/25, ශෂික දුල්ශාන් 2/46, ජෙෆ්රි වැන්ඩර්සේ 4/51

Team Jaffna – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 234 (68.0) හසිත බෝයගොඩ 42, නිපුන් කරුණානායක 60, ධනංජය ද සිල්වා 37, රවිඳු ප්‍රනාන්දු 22, ලසිත් ඇඹුල්දෙණිය 2/88, සිතුම් දිසානායක 2/21, චාමික ගුණසේකර 3/43, චාමික කරුණාරත්න 2/31

Team Kandy – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 47 (17.0) ලහිරු උදාර 25, ප්‍රමෝද් මධුශාන් 1/15

මෙම තරග හෙට (28) සිව් වැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<