Major Clubs එක්දින ශූරතාව SSC ක්‍රීඩකයන්ට

Major Clubs Limited Over Tournament 2023/24

295
Major Clubs Limited Over Tournament 2023/24

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ Major Clubs සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ Sebastianites සහ SSC කණ්ඩායම් අතර අද (16) පැවැති අවසන් මහා තරගයේ දී ලකුණු 71ක ජයග්‍රහණයක් ලබා ගැනීමට SSC ක්‍රීඩකයෝ සමත් වූවා.

කොළඹ 7, SSC ක්‍රීඩා පිටියේ දී පැවැති අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්  SSC ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 201ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් Sebastianites ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 130ක් පමණයි. එය ඔවුන් මෙම තරගවාරයේ වාර්තා කරන ලද අඩු ම ලකුණු සංඛ්‍යාව වූ අතර ඔවුන්ට මෙම ඉරණමට මුහුණ දීමට සිදු වූයේ තවත් පන්දු 48ක් ඉතිරි ව තිබියදීයි.

SSC කණ්ඩායම:

අවිශ්ක ප්‍රනාන්දු (නායක), ධනුෂ්ක ගුණතිලක, ශෙවෝන් ඩැනියෙල්, ක්‍රිශාන් සංජුල (කඩුලු රකින්නා), නුවනිඳු ප්‍රනාන්දු, රනුද සෝමරත්න, කවිඳු නදීශාන්, චමිඳු වික්‍රමසිංහ, නිසල තාරක, ප්‍රභාත් ජයසූරිය, ගිශාන් බාලසූරිය.

Sebastianites C & AC  කණ්ඩායම:

ප්‍රමෝද් මධුවන්ත (නායක), තුලින ඩිල්ශාන්, නවිඳු විතානගේ, ඉසිවර දිසානායක, දුශාන් විමුක්ති, තෙවිඳු සේනාරත්න, චාමිකර එදිරිසිංහ, සචිත ජයතිලක, තරිඳු රත්නායක, ඉසිත විජේසුන්දර, චරිත් රාජපක්ෂ

කාසියේ වාසිය දිනාගත් SSC නායක අවිශ්ක ප්‍රනාන්දු පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගනිමින් පිටියට පිවිසිය ද ඔහුගේ ඉනිම පළමු පන්දුවාරයේ දී ම අවසන් කිරීමට ප්‍රතිවාදී Sebastianites ක්‍රීඩකයෝ සමත් වූවා.

ඒ වෙද්දී ඔහු ලබා සිටියේ පන්දු 5ක් තුළ හතරේ පහරක් සමඟින් ලකුණු 6ක් පමණයි. එතැන් සිට SSC ඉනිම තරමක් පරිස්සම්කාරී වූනා. ඔවුන් පළමු පන්දුවාර 10 තුළ රැස් කළේ ලකුණු 46ක් පමණයි. ඒ වෙද්දී ආරම්භක පිතිකරු ධනුශ්ක ගුණතිලක ද තම ඉනිම පන්දු 29කට මුහුණ දෙමින් අවසන් කළේ හතරේ පහර 4ක් සමඟින් ලකුණු 23ක් ලබා ගනිමිනුයි.

ඉන් අනතුරුව ද SSC ඉනිමේ ලකුණු ලබා ගැනීමේ වේගය හිතූ ලෙස ඉහළ දමා ගැනීමට ප්‍රතිවාදී පන්දු යවන්නෝ ඉඩ ලබා දුන්නේ නැහැ. එසේ වූවත් තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 85ක් තුළ ලකුණු 46ක සබඳතාවක් එක් කිරීමට ශෙවොන් ඩැනියෙල් සහ ක්‍රිශාන් සංජුල සමත් වූවා.

ශෙවෝන් ඩැනියෙල් පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 35කට දැවී ගිය අතර ඒ සමඟ ම නුවනිඳු ප්‍රනාන්දු (1) ද ඉතා ඉක්මනින් තම ඉනිම අවසන් කළා.

ක්‍රිශාන් සංජුල එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් ප්‍රතිවාදීන් මෙල්ල කිරීමට කිරීමට උත්සාහ කළ ද අනෙක් අන්තයෙන් ඔහුට හිතූ ලෙසින් සහයෝගයක් ලබා ගැනීමට හැකි වුණේ නැහැ.

ඒ අනුව රනුද සෝමරත්න (10) සහ කවිඳු නදීශාන් (1) ද අඩු ලකුණුවලට දැවී ගියා. අනතුරුව පිටියට එක් වූ චමිඳු වික්‍රමසිංහ සමඟින් 7 වැනි කඩුල්ලට ලකුණු 68ක සබඳතාවක් එක් කිරීමට ක්‍රිශාන් සංජුල සමත් වූවා. පන්දු 77කින් සමන්විත වූ එම සබඳතාව බිඳී ගියේ ක්‍රිශාන් සංජුල ගේ දැවී යෑමත් සමඟින්. ඔහු පන්දු 125කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 84ක් ලබා ගත්තා.

ඉන් අනතුරුව නිසල තාරක (3) ද අඩු ලකුණු ප්‍රමාණයකට දැවී ගිය අතර SSC ඉනිම අවසන් වන විට චමිඳු වික්‍රමසිංහ පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 36ක් ද සහ ප්‍රභාත් ජයසූරිය පන්දුවකට මුහුණ දෙමින් ලකුණක් ලබා ගනිමින් ද නොදැවී පිටියේ රැදී සිටියා.

කඩුලු දවා ගැනීමේ දී දුශාන් විමුක්ති, ඉසිත විජේසුන්දර සහ චාමිකර එදිරිසිංහ කඩුලු 2 බැගින් බෙදා ගනිද්දී ප්‍රමෝද් මධුවන්ත සහ තරිඳු රත්නායක කඩුල්ල බැගින් දවා ගත්තා.

ලකුණු 202ක ඉලක්කයක් සඳහා පිටියට පිවිසි Sebastianites කණ්ඩායමේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 12ක් තුළ දවා ගැනීමට ප්‍රතිවාදී පන්දු යවන්නෝ සමත් වූවා. එහි දී ආසාර්ථක වූයේ නවිඳු විතානගේ (0), තුලින ඩිල්ශාන් (1) සහ දුශාන් විමුක්ති (2).

ඔවුන් එලෙස අඩු ලකුණුවලට ප්‍රතිවාදී පන්දු යවන්නන්ට ගොදුරු වෙද්දී ඉදිරි පෙළ පිතිකරුවන් 5 දෙනෙක් ලකුණු 70ක් තුළ දවා ගැනීමට SSC පන්දු යවන්නෝ සමත් වූවා. ඉන් නොනැවතුණ ඔවුන් එතැන් සිට ලකුණු 9ක් ලබා ගනිද්දී ලකුණු පුවරුවට තවත් කඩුලු 2ක් ඇතුලත් කළා.

ඒ ආකාරයෙන් ආසාර්ථක වූ Sebastianites පිතිකරු ලැයිස්තුවේ සාර්ථක ම පිතිකරු වූයේ චාමිකර එදිරිසිංහ. ඔහු පන්දු 76කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 37ක් ලබා ගත්තා. ඊට අමතර ව නායක ප්‍රමෝද් මධුවන්ත පන්දු 36කට මුහුණ දෙමින් ලකුණු 21ක් ද ලබා ගත්තා.

Sebastianites ඉනිම අසාර්ථක කිරීමේ දී ප්‍රභාත් ජයසූරිය පෙරමුන ගත්තා. ඔහු ලකුණු 25කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව අද තම පළමු List A තරගයට සහභාගී වූ ගිශාන් බාලසූරිය සහ නුවනිඳු ප්‍රනාන්දු ද එක් ව කඩුලු 2 බැගින් දවා ගනිද්දී නිසල තාරක සහ ධනුශ්ක ගුණතිලක ද කඩුල්ල බැගින් බෙදා ගත්තා.

අවසන් මහා තරගය, SSC, කොළඹ 07, ජනවාරි 16, 2024, Major Clubs Limited Over Tournament

SSC – කඩුලු 8ක් දැවී 201 (50.0) ධනුෂ්ක ගුණතිලක 23, ශෙවෝන් ඩැනියෙල් 35, ක්‍රිශාන් සංජුල 84, චමිඳු වික්‍රමසිංහ නොදැවී 36, ඉසිත විජේසුන්දර 2/39, දුශාන් විමුක්ති 2/39, චාමිකර එදිරිසිංහ 2/40

Sebastianites C & AC  – සියලුම දෙනා දැවී 130 (42.0) ඉසිවර දිසානායක 19, ප්‍රමෝද් මධුවන්ත 21, චාමිකර එදිරිසිංහ 37, ප්‍රභාත් ජයසූරිය 3/25, ගිශාන් බාලසූරිය 2/21, නුවනිඳු ප්‍රනාන්දු 2/31

SSC කණ්ඩායමට ලකුණු 71ක ජයක්.

  • අවසන් මහා තරගයේ වීරයා: ක්‍රිශාන් සංජුල (SSC)
  • තරගාවලියේ දක්ෂතම පිතිකරු: ඉරෝෂ් සමරසූරිය (Galle CC)
  • තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා: මර්වින් අභිනාෂ් (BRC)
  • තරගාවලියේ වීරයා: දුශාන් විමුක්ති (Sebastianites C & AC)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<