ජාතික දැල්පන්දුවේ මූලික තේරීම් අවසන්; 40 දෙනෙකු සංචිතයට

398

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය විසින් සංවිධානය කළ මූලික තේරීම් වැඩසටහනක් ක්‍රීඩිකාවන් කණ්ඩායම් තුනකට වෙන් කරමින් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පසුගිය දා පැවැත්විය.

එම තේරීම් කඳවුර සඳහා ක්‍රීඩිකාවන් 70ක් සහභාගි වූ අතර ඔවුන් සියල්ල මෙම වසරේ මුල් මස කොළඹ, කළුතර සහ කුරුණෑගල කේන්ද්‍ර කරගනිමින් පැවති පුහුණු කඳවුරු තුළින් තෝරාගත් ක්‍රීඩිකාවන් විය.

එම දැල්පන්දු සංචිත තේරීම් කමිටුවේ සභාපති ධුරය යසා රාමචන්ද්‍ර මහත්මිය හට හිමිව තිබූ අතර ඇයට අමතරව පද්මා බද්දේවෙල, දීප්ති රූපසිංහ සහ වජිරා පුෂ්පකුමාරි යන මහත්මියන් තේරීම් කමිටුවට ඇතුළත්ව තිබුණි.

එම තේරීම් කඳවුර පිළිබඳව ThePapare.com වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ පුහුණුකාරිණිය වන සොමිතා ද අල්විස් මහත්මිය ප්‍රකාශ කර සිටියේ,

“මුලදී අපි ක්‍රීඩිකාවන් 50ක් සමඟ අගෝස්තු මස 10 වැනිදා පුහුණුවීම් ආරම්භ කළා. අපි මාස 2ක් පමණ අඛණ්ඩවම පුහුණුවීම් කටයුතුවල නිරත වුනත් නැවත ව්‍යාප්ත වූ වසංගත තත්වය නිසාවෙන් එය නතර කිරීමට සිදු වුනා. නමුත් අපි අන්තර්ජාලය ඔස්සේ පුහුණුවීම් කටයුතු සහ නීති පිළිබඳව දේශන කිහිපයක් සිදු කළා. අමාත්‍යාංශයේ අවසර ගැනීමෙන් පසුව අපි ජනවාරි 7 නැවතත් පුහුණුවීම් පටන් ගත්තා.

තේරීම් සඳහා අද දින ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ ක්‍රීඩිකාවන් 70ක් පමණ සහභාගි වුනා. ස්වල්ප දෙනෙක් සහභාගි නොවීමට නිදහසට කරුණු ඉදිරිපත් කර සිටියා. තර්ජනී සිටින්නේ යාපනයේ නිසාවෙන් ඇය මෙයට සහභාගි වුනේ නැහැ.

ආසියානු ජයග්‍රාහකයන් අනිවාර්යයෙන් සංචිතයේ සිටින නමුත් අපි වැඩි අවධානයක් යොමු කළේ යොවුන් ක්‍රීඩිකාවන් පිළිබඳවයි. වයස අවුරුදු 25න් පහළ ක්‍රීඩිකාවන් 40ක් සහ 16න් සහ 19න් පහළ ක්‍රීඩිකාවන් 20ක් පමණ මෙයට සහභාගි වුනා.

අපි අනාගතය ගැන අවධානය යොමු කර 40 දෙනෙකුගෙන් යුත් සංචිතයක් තෝරාගත්තා. වික්ටෝරියා ලක්ෂ්මි (දැල්පන්දු සභාපති) මහත්මියට A සංචිතයක් තිබීම අවශ්‍යයි කිව්වා. ඒ නිසා ක්‍රීඩිකාවන් කොටසක් එම සංචිතයට ඇතුළත් වන අතර අනෙකුත් ක්‍රීඩිකාවන් සංවර්ධන සංචිතයට ඇතුළත් වෙනවා. මෙම ක්‍රීඩිකාවන් 70 එම කණ්ඩායම් ත්‍රිත්වයට බෙදා වෙන් කරනවා.” 

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය දේශීය තරගාවලියක් මෙම වසරේ අගභාගයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති නමුත් ඔවුන්ට එයට පෙර ජාත්‍යන්තර තරගාවලි කිහිපයකට සූදානම් වීමට නියමිතව වේ.

තවත් පුවත්: 

එමෙන්ම මෙම වසරේ ශ්‍රී ලංකා දැල්පන්දු ක්‍රීඩාවේ ඉදිරිය පිළිබඳව ThePapare.com වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපති වික්ටෝරියා ලක්ෂ්මි මහත්මිය ප්‍රකාශ කර සිටියේ,

“විදේශීය ක්‍රීඩිකාවන් මෙරටට ගෙන්වා තරගාවලියක් පැවැත්වීමේ අදහසක් අපට තිබුණා. තවමත් ඒ සැලසුම් එහෙම්ම තියෙනවා. අපි විදේශීය ක්‍රීඩිකාවන් කිහිපයකට ද ආරාධනා කර තියෙන්නේ ඒත් වර්තමාන තත්වයත් එක්ක ඒක තරමක් දුෂ්කර දෙයක්.

මැයි මාසයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ ආසියානු ශූරතාවලිය අවලංගු වුනා. සිංගප්පූරුව විසින් සුහද තරගාවලියක් ජුනි හෝ ජූලි මාසයේ දී පවත්වයි. ආසියානු යොවුන් දැල්පන්දු ශූරතාවය අගෝස්තු මාසයේ කොරියාවේ දී පැවැත්වීමට අප සාකච්ඡා කරමින් සිටිනවා. යොවුන් දැල්පන්දු ලෝක ශූරතාවය දෙසැම්බර් මාසයේ මුල් සතියේ ෆීජී දේශයේ සත්කාරකත්වය යටතේ පැවැත්වෙන අතරවාරයේ අපි දෙසැම්බර් මස 10 වැනිදා සිංගප්පූරුවේ පැවැත්වෙන Nations Cup තරගාවලියට සහභාගි වීමට නියමිතයි.”

ජාතික සහ යොවුන් කණ්ඩායම්වලට අමතර ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය විසින් විනිසුරුවරයන් සහ පුහුණුකරුවන් සහතික කිරීමේ වැඩසටහන් ද පැවැත්වීමට කටයුතු කරන ලැබූ අතර ඒ පිළිබඳව අදහස් දක්වමින් වික්ටෝරියා ලක්ෂ්මි මහත්මිය ප්‍රකාශ කර සිටියේ,

“විනිසුරුවරුන් ශ්‍රේණිගත කිරීමේ ලිඛිත පරීක්ෂණ අප පසුගිය වසරේ දී පැවැත්වූ අතර එහි දී A සහ B කාණ්ඩයෙන් එම ලිඛිත පරීක්ෂණ සමත් වූ අයවලුන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වුවා. ඒ වගේම අපි පුහුණුකරුවන් සඳහා වූ උසස් සහතික කිරීමේ වැඩසටහන් අවසන් කරලයි තියෙන්නේ.” 

>> තවත් ක්රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<