බාධක මැද නුවනිඳු සහ උදිත් දක්ෂතා දක්වයි

SLC National Super League 4 Day Tournament 2024

200

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ ආරම්භක සතියේ දෙවැනි දිනය වූ අද (19) වර්ෂාව සහ අඳුරු කාලගුණ තත්ත්වයන් හේතුවෙන් ක්‍රීඩකයන්ගේ දක්ෂතා පමා කර ගැනීමට ඔවුනොවුන්ට සිදු වූවා.  

එසේ වූවත් Team Colombo කණ්ඩායමේ නුවනිඳු ප්‍රනාන්දු ශතකයක් වාර්තා කිරීමටත් සහ Team Galle කණ්ඩායමේ උදිත් මධුශාන් තම පළමු පෙළ තරග දිවියේ හොඳම පන්දු යැවීමටත් අද සමත් වීම කැපී පෙණුනා.  

ඊට අමතර ව Team Jaffna කණ්ඩායමේ නිශාන් මධුශ්ක ද අර්ධ ශතකයක් ලබා ගනිමින් දක්ෂතා දැක් වූවා.  

හම්බන්තොට, සූරියවැව ක්‍රීඩාංගණයේ පැවැත්වෙන Team Galle සහ Team Kandy කණ්ඩායම් අතර තරගයේ අද ක්‍රියාත්මක වූයේ පන්දුවාර 21ක් පමණයි.  

මේ අතර කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැති තරගය ආරම්භ වූයේ ම දහවල් විවේකයෙන් ද පසුවයි. ඒ එදිනට පන්දුවාර 78කට සීමා වෙමිනුයි. නමුත් වර්ෂාව සහ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එම තරගයේ දී ද ක්‍රියාත්මක වූයේ පන්දුවාර 50ක් පමණයි. 

Team Galle සහ Team Kandy  

  • ක්‍රීඩාංගණය – හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය 
  • කාසියේ වාසිය – Team Galle 

තරගයේ පෙර දිනයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 339ත් ලබා සිටි Team Kandy ක්‍රීඩකයෝ අද තම ඉනිමට ලකුණු 26ක් එක් වෙද්දී අනෙක් කඩුලු 4 ද දැවී ගියා. මේ සියල්ල සිදු වීමට වැය වූයේ පන්දු 40ක් පමණයි. ඒ අනුව ඔවුන් පළමු ඉනිමට ලබා ගත් ලකුණු ප්‍රමාණය 365ක්.  

පෙර දිනයේ දී නොදැවී ලකුණු 81ක් ලබා සිටි සහන් ආරච්චිගේ ට අද ලබා ගත හැකි වූයේ තවත් ලකුණු 7ක් පමණයි. ඒ අනුව ඔහුගේ ඉනිම ලකුණු 88 දී අවසන් වූවා. ඒ වෙද්දී ඔහු තම ඉනිමට පන්දු 135ක් වැය කර තිබූ අතර ඊට හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් ඇතුලත් කර තිබුණා.  

කඩුලු ලබා ගැනීමේ දී පෙර දිනයේ කඩුලු 2ක් ලබා සිටි දකුණතින් වේග පන්දු යවන උදිත් මධුශාන් ප්‍රතිවාදී ඉනිම අවසන් වන විට ලකුණු 46කට කඩුලු 5ක් හිමිකර ගෙන තිබුණා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Team Galle කණ්ඩායමට ක්‍රීඩා කිරීමට හැකි වූයේ  දිවා විවේකය දක්වා පමණයි. පැවැති වර්ෂාව හේතුවෙන් පළමු ව තරගයේ ප්‍රමාදය පැයක් පමණ දක්වා ද සහ නැවත පැමිණි වර්ෂාව හේතුවෙන් සම්පූර්ණ දිනය ද වර්ෂාව විසින් බිලි ගත්තා.  

තරගය සජීවී ව තිබිය දී  Team Galle ක්‍රීඩකයන්ගේ කඩුලු 3ක් ම අහිමි ව තිබූ අතර ලකුණු පුවරුව කියැවුණේ ලකුණු 39ක් ලෙසයි.  

ඒ වෙද්දී සංගීත් කුරේ (0), ඔෂඳ ප්‍රනාන්දු (13) සහ ලක්ෂාන් එදිරිසිංහ (6) අඩු ලකුණුවලට තම ඉනිම අවසන් කර ගෙන සිටි අතර පසිඳු සූරියබණ්ඩාර නොදැවී ලකුණු 17ක් ලබා ගනිමින් ද සහ දිනේෂ් චන්දිමාල් ලකුණු නොලබා නොදැවී පිටියේ රැදී සිටියා.  

දැවි ගිය කඩුලු තුනේ හිමිකාරීත්වය චාමික ගුණසේකර, සිතුම් දිසානායක සහ ලසිත් ඇඹුල්දෙණිය සතු වුණා.  

  • තරගයේ කෙටි ලකුණු පුවරුව

Team Kandy – පළමු ඉනිම සියලුම දෙනා දැවී 365 (93.4) කසුන් විදුර 45, ලහිරු උදාර 100, සහන් ආරච්චිගේ 88, අහන් වික්‍රමසිංහ 63, මිලාන් රත්නායක 2/56, රමේෂ් මෙන්ඩිස් 2/75, උදිත් මධුශාන් 5/46 

Team Galle – කඩුලු 3ක් දැවී 39 (14.0) පසිඳු සූරියබණ්ඩාර නොදැවී 17, ලසිත් ඇඹුල්දෙණිය 1/08 

Team Colombo සහ Team Jaffna 

  • ක්‍රීඩාංගණය – SSC, කොළඹ 7. 
  • කාසියේ වාසිය – Team Colombo 

පෙර දිනයේ දී කඩුලු 4ක් දැවී ලකුණු 275ක් ලබා සිටි Team Colombo ක්‍රීඩකයෝ අද දිනයේ පමා වී පිටියට පිවිසෙමින් තම ඉනිම ලකුණු 348ක් දක්වා රැගෙන ගියා.  

එහි දී පෙර දිනයේ නොදැවී ලකුණු 90ක් ලබා සිටි නුවනිඳු ප්‍රනාන්දු අද තම ශතකය වාර්තා කළා. ඔහු දවසේ දෙවැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 259කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 105ක් ලබා සිටියා.  

ඊට අමතර ව දිනයේ වැදගත් මෙහෙවරක් කළේ චමිඳු වික්‍රමසිංහ. ඔහු පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 22ක් ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී ලහිරු මධුශංක ලකුණු 39කට කඩුලු 3ක් දවා ගනිද්දී රවිඳු ප්‍රනාන්දු සහ ජෙෆ්රි වැන්ඩර්සේ කඩුලු 2 බැගින් දවා ගත්තා. ඊට අමතර ව ශිරාන් ප්‍රනාන්දු, සංතුශ් ගුණතිලක සහ ශෂික දුල්ශාන් කඩුල්ල බැගින් දවා ගත්තා. 

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි Team Jaffna කණ්ඩායමට දිනය අවසන් වන තුරු ක්‍රීඩා කිරීමට අයහපත් කාලගුණ තත්ත්වය ඉඩ ලබා දුන්නේ නැහැ. ඔහුන්ගේ ඉනිම අද දවසට පන්දුවාර 18ක් පමණක් වූ අතර ඔවුන් තරගය නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 81ක් ලබා සිටියා.  

ඒ වෙනුවෙන් ආරම්භක පිතිකරු නිශාන් මධුශ්ක අර්ධ ශතකයක් ලබා සිටිම කැපී පෙණුනා. ඔහු පන්දු 57කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 52ක් ලබා සිටි අතර අනෙක් අන්තයෙන් හසිත බෝයගොඩ ලකුණු 11ක් ලබා නොදැවී පිටියේ රැදී සිටියා.  

දවාගත් කඩුල්ලේ හිමිකාරීත්වය ඉසිත විජේසුන්දර සතු වූවා.  

  • තරගයේ කෙටි ලකුණු පුවරුව

Team Colombo – පළමු ඉනිම සියලුම දෙනා දැවී 348 (121.1) ශෙවෝන් ඩැනියෙල් 78, නුවනිඳු ප්‍රනාන්දු 105, හිමාෂ ලියනගේ 56, චමිඳු වික්‍රමසිංහ 22, ලහිරු මධුශංක 3/39, රවිඳ ප්‍රනාන්දු 2/74, ජෙෆ්රි වැන්ඩර්සේ 2/77 

Team Jaffna – පළමු ඉනිම කඩුල්ලක් දැවී 81 (18.0) නිශාන් මධුශ්ක නොදැවී 52, ඉසිත විජේසුන්දර 1/11 

මෙම තරග 2 ම හෙට තෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.  

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<