මංගල ශතකය ලහිරු උදාරගෙන්

SLC National Super League 4 Day Tournament 2024

772
SLC National Super League 4 Day Tournament 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (18) තරග 2ක් කොළඹ දී සහ හම්බන්තොට දී පැවැතියා.

එහි දී Team Kandy කණ්ඩායමේ ලහිරු උදාර ශතකයක් ලබා ගනිමින් දක්ෂතා දැක් වීම කැපී පෙණුනා. එය මෙවර තරගාවලියේ මංගල ශතකයයි. ඊට අමතර ව එම කණ්ඩායමේ සහන් ආරච්චිගේ සහ අහන් වික්‍රමසිංහ ද Team Colombo කණ්ඩායමේ ශෙවෝන් ඩැනියෙල්, නුවනිඳු ප්‍රනාන්දු සහ හිමාෂ ලියනගේ ද අර්ධ ශතක ලබා ගනිමින් දක්ෂතා දැක් වූවා.

පන්දු යවන්නන්ට අද දවස එතරම් ම සුබදායක නොවූ අතර එහි දී දක්ෂතම පන්දු යැවීම වාර්තා කළේ Team Jaffna කණ්ඩායමේ ලහිරු මධුශංක. ඔහු Team Colombo කණ්ඩායමට එරෙහිව ලකුණු 32කට කඩුලු 2ක් දවා ගත්තා.

Team Galle සහ Team Kandy

o ක්‍රීඩාංගණය – හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

o කාසියේ වාසිය – Team Galle

මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් Team Kandy කණ්ඩායම පළමු දිනයට තරගය නතර කරන විට කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 339ක් ලබා ගනිමින් ප්‍රබල තත්ත්වයක පසු වූවා.

එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු ලහිරු උදාර පන්දු 128කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සමඟින් ලකුණු 100ක් ලබා ගැනීම කැපී පෙණුනා. ඔහු අනෙක් ආරම්භක පිතිකරු කසුන් විදුර සමඟ එක් වෙමින් පළමු කඩුල්ලට පන්දු 166ක දී ලකුණු 117ක් ලබා ගැනීමට ද සමත් වූනා.

කසුන් විදුර පන්දු 87කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 45ක් ලබා ගත්තා.

ඊට අමතර ව තරගය පළමු දිනයට නතර කරන විට නායක සහන් ආරච්චිගේ පන්දු 128කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 81ක් ලබා සිටියා.

ඔහු අහන් වික්‍රමසිංහ සමඟ එක් වෙමින් 5 වැනි කඩුල්ල සඳහා පන්දු 174ක දී ලකුණු 131ක් ලබා ගනිමින් ඉනිමේ හොඳම කඩුලු සබඳතාව වාර්තා කළා. අහන් වික්‍රමසිංහ පන්දු 80කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 63ක්.

කඩුලු බිඳ දැමීමේ දී රමේෂ් මෙන්ඩිස් සහ උදිත් මධුශාන් කඩුලු 2 බැගින් බෙදා ගනිද්දී මිලාන් රත්නායක ද කඩුල්ලක් ලබා ගත්තා.

  • තරගයේ කෙටි ලකුණු පුවරුව

Team Kandy – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 339 (87.0) කසුන් විදුර 45, ලහිරු උදාර 100, සහන් ආරච්චිගේ නොදැවී 81, අහන් වික්‍රමසිංහ 63, රමේෂ් මෙන්ඩිස් 2/75, උදිත් මධුශාන් 2/35

Team Colombo සහ Team Jaffna

o ක්‍රීඩාංගණය – SSC, කොළඹ 7.

o කාසියේ වාසිය – Team Colombo

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසිය ද Team Colombo කණ්ඩායමට සිදු වූයේ ඔවුන්ගේ කඩුලු 2ක් අඩු ලකුණු ප්‍රමාණයකට බිලි දීමට යි. තරගයේ ක්‍රියාත්මක 9 වැනි පන්දුවාරයේ දී පිට පිට කඩුලු ද්විත්වයක් ලබා ගැනීමට ලහිරු මධුශංක සමත් වූවා.

නමුත් එතැන් සිට පන්දු යවන්නන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදුන් Team Colombo කණඩායම තරගය පළමු දිනයට නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුනු 275ක් ලබා සිටියා.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ නුවනිඳු ප්‍රනාන්දු. ඔහු පන්දු 230කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 90ක් ලබා ගත්තේ ශෙවෝන් ඩැනියෙල් සහ හිමාෂ ලියනගේ සමඟ එක් වෙමින් ශතක සබඳතා 2ක් තම කණ්ඩායමට එක් කරමින්.

නුවනිඳු ප්‍රනාන්දු, ශෙවොන් ඩැනියෙල් සමඟ තෙවැනි කඩුල්ලට පන්දු 211ක දී ලකුණු 107ක සබඳතාවක් ද සහ හිමාෂ ලියනගේ සමඟ සිවු වැනි කඩුල්ලට පන්දු 170ක දී ලකුණු 104ක සබඳතාවක් ද එක් කළා.

ශෙවොන් ඩැනියල් පන්දු 126කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 78ක් ලබා ගත් අතර හිමාෂ ලියනගේ පන්දු 93කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 56ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී ලහිරු මධුශංක දවා ගත් කඩුලු 2ට අමතර ව සංතුශ් ගුණතිලක සහ ජෙෆ්රි වැන්ඩර්සේ කඩුල්ල බැගින් බෙදා ගත්තා.

  • තරගයේ කෙටි ලකුණු පුවරුව

Team Colombo – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 275 (90.0) ශෙවෝන් ඩැනියෙල් 78, නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 90, හිමාෂ ලියනගේ 56, ලහිරු මධුශංක 2/32

මෙම තරග 2 ම හෙට දෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<