දුශාන් – ඉරෝෂ් සහ අභිනාශ් ඇගයුම් ලබයි

202

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ Major Clubs එක්දින ක්‍රිකට් තරගාවලිය පසුගියදා නිමා වූයේ SSC කණ්ඩායමට කිරුළ හිමිකර දෙමින්. එහි දී පරාජිත කණ්ඩායම බවට පත් වූයේ Sebastianites C & AC කණ්ඩායමයි.

පැවැති තරගාවලියේ අවසන් මහා තරගයේ දී Sebastianites කණ්ඩායමට එරෙහිව ලකුණු 71ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට SSC කණ්ඩායම සමත් වූ අතර ඒ අනුව ඔවුන් Major Clubs තුන් දින තරගාවලියේ දී මෙන් ම මෙම තරගාවලියේ ද ශූරයන් වෙමින් නිමා වූ 2023/24 තරග සමයේ අභියෝගාත්මක ම කණ්ඩායම තමන් බවට ඔප්පු කළා.

කෙසේ වෙතත් නිමා වූ තරගාවලියේ සුවිශේෂී කණ්ඩායම බවට පත් වීමට Sebastianites කණ්ඩායම සමත් වූවා. ඔවුන් මීට පෙර නිමා වූ Major Clubs තුන් දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු පුවරුවේ අවසන් කණ්ඩායම් අතරට පිවිස, එළැඹෙන වසරේ දී පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය ද අහිමි කර ගත් කණ්ඩායමයි. නමුත් එම රිද්මයෙන් බැහැර වූ ඔවුන් මෙම තරගාවලියේ අනුශූර කණ්ඩායම දක්වා ඉහළට පැමිණිම පැසසිය යුතුයි.

එසේ අවසන් වූ තරගාවලියේ වැඩිම ලකුණු ලැබූ ක්‍රීඩකයා බවට පත් වීමට අවසන් තරගයට ද සහභාගී වූ SSC කණ්ඩායමේ දකුණත් පිතිකරු ක්‍රිශාන් සංජුල සමත් වූවා. 25 හැවිරිදි වියේ පසුවෙන ක්‍රිශාන් සංජුල අවසන් මහා තරගයේ වීරයා ලෙසින් ද සම්මානයට පාත්‍ර වූවා.

අවසන් මහා තරගයේ වීරයා ක්‍රිශාන් සංජුල

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත් වුයේ Sebastianites කණ්ඩායමේ දුශාන් විමුක්ති. ඔහු මෙම තරගාවලිය අවසන් කරන්නේ තරග 11ක ඉනිම් 9කට සහභාගී වෙමින් ලකුණු 270ක් සහ පන්දු යවන්නෙක් ලෙසින් කඩුලු 22ක් ලබා ගනිමින්.

පිතිකරුවෙක් ලෙසින් පිටියට පිවිසි ඉනිම් 9 අතර ඔහුගේ හොඳම ඉනිම බවට පත් වූයේ Ragama කණ්ඩායමට එරෙහිව පන්දු 95කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලබා ගත් ලකුණු 75යි. ඊට අමතර ව Panadura කණ්ඩායමට එරෙහිව ලබා ගත් අර්ධ ශතකයක් ද එහි අන්තර්ගතයි.

පන්දු යැවීමේ දී ඔහුගේ ඉහළ ම දක්ෂතාව වූයේ Ragama කණ්ඩායමට එරෙහිව ලකුණු 24කට දවා ගත් කඩුලු 4යි.

තරගාවලියේ වීරයා දුශාන් විමුක්ති

තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙසින් නම් කෙරුණේ Galle කණ්ඩායමේ ඉරෝෂ් සමරසූරිය. 32 හැවිරිදි වියේ පසුවෙන ඔහු තරග 7ක ඉනිම් 7ක දී ශතකයක් සහ අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 435ක් ලබා ගනිමින් එම සම්මානය සඳහා නිර්දේශ වෙනවා. ඔහුගේ ඉනිම් අතරට Tamil Union කණ්ඩායමට එරෙහිව පන්දු 153කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහරක් සමඟින් ලබා ගත් ලකුණු 128ක් ද රැදී තිබෙනවා.

තරගාවලියේ වැඩිම අර්ධ ශතකලාභියා ලෙස ද ඉදිරියෙන් සිටින්නේ ද ඉරෝෂ් සමරසූරියයි. ඔහු Colts (68), Sebastianites (62), Ragama (88) සහ Air Force (61) කණ්ඩායම්වලට එරෙහිව අර්ධ ශතක වාර්තා කළා.

එමෙන් ම තරගාවලියේ වැඩිම හතරේ පහර එල්ල කළ ක්‍රීඩකයා ද වන්නේ ඉරෝෂ් සමරසූරියයි. ඔහු එල්ල කරන ලද හතරේ පහර සංඛ්‍යාව 44ක්.

තරගාවලියේ දක්ෂතම පිතිකරු ඉරෝෂ් සමරසූරිය

තරාගවලියේ වැඩිම ලකුණු ලැබූ පිතිකරු ලැයිස්තුවේ පළමු 5 දෙනා
Player Team M INs NO Runs HS Ave 100 50 4s 6s
1 ක්‍රිශාන් සංජුල SSC 12 12 0 518 93 43.16 0 5 32 7
2 ඉරෝෂ් සමරසූරිය Galle CC 7 7 0 435 128 62.14 1 4 44 6
3 අවිශ්ක ප්‍රනාන්දු SSC 9 9 1 403 125* 50.37 2 1 40 10
4 ජනිත් ලියනගේ Ragama CC 6 6 0 383 126 63.83 1 3 27 16
5 රනේෂ් සිල්වා Baduraliya SC 11 10 0 368 113 36.83 1 2 27 2

135: තරගාවලියේ පිතිකරුවෙක් වාර්තා කරන ලද ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව NCC කණ්ඩායමේ පැතුම් නිස්සංක සතු වුණා. ඔහු  SSC කණ්ඩායමට එරෙහිව පන්දු 96කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 135ක් ලබා ගත්තා.

2x100s: තරගාවලියේ වැඩිම ශතකලාභී ක්‍රීඩකයා බවට පත් වූයේ SSC කණ්ඩායමේ අවිශ්ක ප්‍රනාන්දු. ඔහු මෙම ලැයිස්තුවේ පළමු අසුන වෙන් කර ගන්නේ Colts කණ්ඩායමට සහ NCC කණ්ඩායමට ද එරෙහිව ශතක වාර්තා කරමිනුයි.

20x6s: තරගාවලියේ වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයා බවට පත් වූයේ SSC කණ්ඩායමේ දසුන් ශානක. මෙම හයේ පහර අතරට Kandy Customs කණ්ඩායමට එරෙහිව එල්ල කරන ලද හයේ පහර 7ක් ද ඇතුලත. එය එක් ඉනිමක දී එක් ක්‍රීඩකයෙක්ගෙන් එල්ල වූ වැඩිම හයේ පහර ප්‍රමාණයයි.

තරගාවලියේ වැඩිම කඩුලු ලැබූ පන්දු යවන්නා බවට පත් වූයේ SSC කණ්ඩායමේ වමතින් දඟ පන්දු යවන ප්‍රභාත් ජයසූරිය. ඔහු කඩුලු 23ක් ලබා ගනිමින් මෙම ලැයිස්තුවේ පළමු ස්ථානය ආක්‍රමණය කරන්නේ අවසන් මහා තරගයේ දී ද පෑ දක්ෂතා මතයි.

තරගාවලියේ හොඳම පන්දු යවන්නා බවට පත් වෙන්නේ BRC කණ්ඩායමේ දකුණතින් පිට දඟ පන්දු යවන මුර්වින් අභිනාශ්. 23 හැවිරිදි වියේ පසුවෙන මුර්වින් අභිනාශ් ප්‍රතිවාදී කඩුලු 23ක් ලබා ගනිමින් මෙම සම්මානයට නිර්දේශ වූවා.

ඔහු තම ක්‍රිකට් ජීවිතයේ List A තරගාවලියකට එක් වූ පළමු අවස්ථාව මෙයයි. එහි දී තමන් සහභාගී වූ 9 වැනි තරගයේ දී ලකුණු 53කට කඩුලු 8ක් දවා ගනිමින් තම තරග දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ තරගාවලියේ දී පන්දු යවන්නෙක් පෑ ඉහළ ම දක්ෂතාව ද දක්වමිනුයි.

ඊට අමතර ව ඔහු CCC කණ්ඩායමට එරෙහිව ලකුණු 27කට කඩුලු 5ක් දවා ගනිමින් ද දක්ෂතා දැක් වූවා. එමෙන් ම ඔහු ඉනිමක කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් ලබා ගත් අවස්ථා 2ක් වාර්තා කරමින් එවන් දක්ෂතාවක් කළ එක ම පන්දු යවන්නා බවට ද පත් වූවා.

තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා මුර්වින් අභිනාශ්

තරාගවලියේ වැඩිම කඩුලු ලැබූ පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ පළමු 5 දෙනා
Player Team M INs Ovs M Runs W Best Ave 4 5
1 ප්‍රභාත් ජයසූරිය SSC 12 10 86.0 7 333 23 5/21 14.47 0 1
2 මුර්වින් අභිනාශ් BRC 10 10 81.2 4 345 23 8/53 15.00 0 2
3 මිතුන් ජයවික්‍රම Kandy Customs 10 10 94.1 5 434 23 4/15 18.86 1 0
4 නිමේෂ් විමුක්ති Sebastianites 9 8 71.3 5 308 22 5/39 14.00 2 1
5 ඉසිත විජේසුන්දර Sebastianites 10 9 61.0 5 255 20 4/23 12.75 1 0

337/7 (50.0): තරගාවලියේ කණ්ඩායමක් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව SSC කණ්ඩායම විසින් ලබා ගත්තා. ඒ NCC කණ්ඩායමට එරෙහිවයි.

62/10 (21.4): තරගාවලියේ දුර්වල ම ඉනිම වාර්තා කරනු ලැබුවේ Moors කණ්ඩායමයි. ඔවුන් මේ අභාග්‍ය සම්පන්න ඉරණමට මුහුණ දෙන්නේ Negombo කණ්ඩායම හමුවේයි.

595: Galle සහ Ragama කණ්ඩායම් 2ක් එක් ව ලබා ගන්නා ලද මෙම ලකුණු සංඛ්‍යාව තරගාවලියේ කණ්ඩායම් 2ක් එක් ව ලබා ගන්නා ලද ඉහළ ලකුණු සංඛ්‍යාවයි.

144: තරගාවලියේ කණ්ඩායමක් ලැබූ ඉහළ ම ජයග්‍රහණය ලෙසින් සටහන් වෙන්නේ Chilaw Marians කණ්ඩායම Panadura කණ්ඩායමට එරෙහිව ලැබූ ලකුණු 144ක ජයග්‍රහණයයි.

38: කණ්ඩායමක් විසින් ලබා දුන් වැඩිම අතිරේක ලකුණු සංඛ්‍යාව ලබා දුන්නේ Chilaw Marians කණ්ඩායමයි. ඔවුන් Nugegoda කණ්ඩායම සමඟ වූ තරගයේ දී Byes 4, Leg Byes 6, No Balls 1 සහ Wides 27ක් ලබා දෙනවා.

201: තරගාවලියේ ඕනෑ ම කඩුල්ලක් සඳහා වන ඉහළ ම සබඳතාව ලෙස සටහන් වූයේ Ragama කණ්ඩායමේ ජනිත් ලියනගේ සහ නිශාන් මධුශ්ක එක් ව  Kurunegala Youth කණ්ඩායමට එරෙහිව ලබා ගත් ලකුණු 201යි.

22: තරගාවලියේ වැඩිම දවා ගැනීම් ප්‍රමාණයකට දායක වූ කඩුලු රකින්නා බවට පත් වූයේ Colts කණ්ඩායමේ ශෙරන් ෆොන්සේකා. ඔහු Kurunegala Youth කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක් දවා ගැනීමට දැක් වූ දායකත්වය තරගාවලියේ කඩුලු රකින්නේ තරගයක දී පෑ ඉහළ ම දක්ෂතාව ලෙසින් ද සටහන් වූවා.

9: තරගාවලියේ වැඩිම උඩ පන්දු රැකගත් ක්‍රීඩකයා බවට පත් වූයේ BRC කණ්ඩායමේ රොහාන් සංජය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<