රංගනගේ පත්වීම ආපස්සට දඟ කැවෙයි

235
Rangana Herath

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත් පත් කිරීමේ ක්‍රියාවලිය අසාර්ථක වනු ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර අවසන් එකඟතාවයකට එළැඹ නොමැති වීම මෙයට හේතුව බවට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කරනවා. එම ගිවිසුම් ගත වීම සඳහා රංගන හේරත් දිනකට ඇමෙරිකානු ඩොලර් 1500ක් ඉල්ලා සිටීමත්, දින 120ක් පමණක් සේවය කිරීමට කැමැත්ත පල කිරීමත් සහ පුහුණුකරුවෙකු ලෙස ඔහුගේ අත්දැකීම් ප්‍රමාණවත් නොවීමත් යන ප්‍රධාන කරුණු කාරනා කිහිපයක් මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපා ඇති බව වාර්තා වෙනවා.

තවත් පුවත්:

බංග්ලාදේශ ක්‍රිකට් ආයතන‍යේ ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී Akram Khan මහතා අවසා සිටින්නේ ඔවුන්ට අවශ්‍ය තාවකාලික දඟපන්දු යවන පුහුණුකරුවෙක් නොවන බවත් ඔවුන්ට අවශ්‍ය දිගු කාලීන දඟපන්දු පුහුණුකරුවෙක් බවත් ඔහු පවසා සිටිනවා.

“බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය උනන්දුවක් දක්වන්නේ නැහැ රංගන හේරත් ගැන. ඔහු විශිෂ්ඨ ක්‍රීඩකයෙකු වුණත් ඔහුට පුහුණුකරුවෙකු ලෙස තිබෙන අත්දැකීම් ටිකක් මදි. අපිට අවශ්‍ය දින 120කට නෙවෙයි, දීර්ඝ කාලීන පුහුණුකරුවෙක්.” යනුවෙන් Akram Khan මහතා විදෙස් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

හේරත් ප්‍රතික්ෂේප වීමත් සමඟම ඉන්දියාවේ Sairaj Bahutule මෙන්ම පාකිස්තානයේ Saeed Ajmal ද බංග්ලාදේශයේ  දඟපන්දු පුහුණුකරු ලෙස පත් කිරීම වෙනුවෙන් සලකා බලමින් සිටින බවද වාර්තා වෙනවා.

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරු ලෙස නවසීලන්තයේ Daniel Vettori මීට පෙර දින 100ක කාලයක් වෙනුවෙන් ගිවිසුම් අත්සන් කර තිබූ නමුත්, පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ඔහුට කණ්ඩායම සමග අඛණ්ඩව රැදී සිටීමට හැකි වූයේ නැහැ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<