ගයන්තිකා සහ අරුණ ජපානයේ දී වැඩ‍ පෙන්වයි

38th Shizuoka International Athletics 2023

184

ලෝක මලල ක්‍රීඩා සංගමයේ මහද්වීපික තරගාවලියේ ලෝකඩ කාණ්ඩය යටතේ පැවැත්වෙන තරගාවලියක් වන 38th Shizuoka International Athletics 2023 මලල ක්‍රීඩා තරගාවලිය නියෝජනය කරමින් ගයන්තිකා අබේරත්න සහ අරුණ දර්ශන අද (03) තරග බිමට පිවිසියා.

ජපානයේ පැවැත්වෙන මෙම තරගාවලියේ කාන්තා මීටර් 800 ඉසව්ව සඳහා සහභාගී වූ ගයන්තිකා මිනිත්තු 2:04.35ක කාලයකින් තරගය අවසන් කරමින් පළමුවැනි ස්ථානය දිනා ගත්තා.

මෙම තරගයේ A කාණ්ඩයට යටතේ ගයන්තිකා තරග බිමට පිවිසි අතර තරග තුනකින් සමන්විත වූ එම කාණ්ඩය යටතේ වේගවත්ම කාලය වාර්තා කළ ක්‍රීඩිකාවට පළමු ස්ථානය හිමි වුනා.

ගයන්තිකාගේ තරගයෙන් පසුව අරුණ දර්ශන පිරිමි මීටර් 400 ඉසව්ව සඳහා සහභාගී වූ අතර තත්පර 45.59ක කාලයකින් සිය ඉසව්ව අවසන් කළ ඔහුට සමස්ත කාණ්ඩයේ හිමි වුනේ තෙවැනි ස්ථානයයි.

අරුණ එම ඉසව්ව අවසන් කිරීමට වැය කළ කාලය ඔහුගේ ක්‍රීඩා දිවියේ මීටර් 400 ඉසව්ව සඳහා වාර්තා කළ හොඳම කාලය ලෙස සටහන් වීම ද විශේෂත්වයක්.

2023 ලෝක මලල ක්‍රීඩා ශූරතාවයට සුදුසුකම් ලබා ගැනීමේ කාලසීමාව තවමත් ක්‍රියාත්මක වන නිසා මහද්වීපික තරගාවලියකට සහභාගී වී ලබා ගන්නා ප්‍රසාද ලකුණු ලෝක මලල ක්‍රීඩා ශූරතාවයට සුදුසුකම් ලබා ගැනීමට සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉතා වැදගත් වෙනවා.

මෙම ජපාන සංචාරය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ගයන්තිකා සහ අරුණට අමතරව මීටර් 3000 බාධක දිවීමේ ඉසව්ව නියෝජනය කරමින් නිලානි රත්නායක තරග බිමට පිවිසීමට නියමිතයි.

ඔවුන් සහභාගී වන මීළඟ තරගාවලිය මැයි 06 පැවැත්වීමට නියමිත අතර එම තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟ.

>>  තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<