කොළඹ ක්‍රීඩකයෝ ගුවන් බලය පරාජය කරයි

946
Dialog Champions League 2016/17

ගුවන් හමුදා ක්‍රීඩකයින්ව පරාජය කරමින් කොළඹ පාපන්දු සමාජය අද (17) ජයග්‍රහණය අත්පත් කරගත්තේ පරාජිත පිලට වඩා එක් ගෝලයක් වාර්තා කරමිනි. ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි අට දෙනාගේ තෙවැනි සතියේ අවසන් තරගය වූ මෙය පැවැතියේ කැළණිය පාපන්දු ක්‍රීඩා සංකීර්ණයේදීයි.

සොලිඩ් සහ නිව් යංග්ස් ගැටුම සමව නිමාවෙයි

කැළණිය පාපන්දු ක්‍රීඩා සංකීර්ණයේදී පැවති ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ තෙවැනි සතියේ තෙවැනි තරගය…

පසුගිය සතියේ සොලිඩ් ක්‍රීඩා සමාජය හමුවේද ගෝල 3-0ක් ලෙස ජයග්‍රහණය වාර්තා කල කොළඹ කණ්ඩායම ජයග්‍රාහී මානසිකත්වයකින් තරගයට අවතීර්ණ වෙද්දි එම සතියේම ගුවන් හමුදාව සහ බ්ලුස්ටාර් අතර පැවති තරගය නිමාව දුටුවේ ජය පරාජයකින් තොරවයි.

තරගයේ පළමු මිනිත්තු 10 ගෙවී යන තැන ලකුණු පුවරුව ක්‍රියාත්මක කලේ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ නුවන් වෙල්ගමගේ විසිනි.

තරගයේ 25 වැනි මිනිත්තුවේදී කොළඹ ක්‍රීඩක නගුර් මීරා විසින් ගෝලයක් වාර්තා කරමින් ලකුණු මට්ටම සම කරගැනීමට උත්සහ කලත් ගුවන් හමුදා දැල් රකින්නා වන රුවන් අරුණසිරි සාර්ථකව පන්දුව නවතා ගැනීමට සමත් විය.

කෙසේනමුත් තරගයේ ක්‍රීඩකයන් සියළු දෙනා තවත් ගෝලයක් කරා පන්දුව පස ඇදි යද්දී කොළඹ කණ්ඩායම වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කරන්නට මොමාස් යපෝ සමත් විය. ඒ තරගයේ 39 වැනි මිනිත්තුවේදීයි.

තරගයේ ප්‍රථම අර්ධය නිමාවීමට මත්තෙන් තවත් ගෝලයක් වාර්තා කරන්නට කොළඹ ක්‍රීඩක දනුෂ්ක මධුෂාන් සමත් වූයේ සර්වාන් ජොහාර්ගේ සහයෝගයත් සමගින් තරගයේ 45 වැනි මිනිත්තුවේදීයි.

ප්‍රථම අර්ධය ගුවන් හමුදා ක්‍රීඩකයින් දෙදෙනෙකුට කහ කාඩ්පත් පිරිනැමීමත් සමගින් නිමාව දුටුවේ කොළඹ සමාජය පෙරමුණ ගනිමිනි.

ප්‍රථම අර්ධය: ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 1 – 2 කොළඹ පාපන්දු සමාජය

දෙවැනි අර්ධය ආරම්භයේ සිට ගුවන් සෙබළුන් තරගය සම කිරීමට අවස්ථාවක් සොයමින් ක්‍රීඩා කල අතර තරගය නිමා වන තෙක් ඔවුන්ගේ අපේක්ෂා ඉටු කරගැනීමට අවස්ථාවක් නම් උදාවූයේ නැත.

දෙවැනි අර්ධයේදී කණ්ඩායම් දෙකටම ගෝල වාර්තා කිරීමට තිබුනු අවස්ථාවන් කිහිපයක්ම මඟ හැරි ගිය අතර අවසන් මිනිත්තුවේදී කවිදු ඉෂාන් හට ලකුණු මට්ටම සම කරගැනීමට තිබුනු අනර්ඝ අවස්ථාව සාර්ථක නොවීය.

ඒ අනුව මොහොමඩ් රවුමිගේ ක්‍රීඩකයින් දෙවැනි තරග ජයග්‍රහණයත් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානය තවදුරටත් ආරක්ෂා කරගැනීමට සමත්ව සිටියි.

අවසන් ලකුණු තත්වය:  ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 1 – 2 කොළඹ පාපන්දු සමාජය

ThePapare.com තරගයේ වීරයා: සර්වාන් ජොහාර් (කොළඹ පාපන්දු සමාජය)

ThePapare.com සමගින් අදහස් දැක්වූ ගුවන් හමුදා පුහුණුකරු සම්පත් පෙරේරා:

“ලකුණු කෙසේවෙතත් ක්‍රීඩකයෝ තරගය හොඳින් සෙල්ලම් කලා. අවසන් තරගයෙන් පසුව ඔවුන් හොඳ වර්ධනයක් ලබාගෙන තිබෙනවා. නමුත් කණ්ඩායම අත්දැකීම් අතින් යම් මදිකමක් දක්වන නිසාවෙන් තමයි අනවශ්‍ය අවහිර කිරීම් වලට යන්නෙත් සහ කොළඹ කණ්ඩායමට අද ගෝල දෙකක් ලබා දුන්නෙත්. ඊලග තරගයට කණ්ඩායමක් විදිහට අපි තවත් හොඳින් වර්ධනය වෙන්න උත්සහ කරනවා. ප්‍රධාන ක්‍රීඩකයින් දෙදෙනෙක් අද සෙල්ලම් කලේ නැහැ. නමුත් ඔවුන් දෙදෙනා අද තරගයට සහභාගී වුනා නම් මීට වඩා තරගයේ වෙනසක් වෙන්න තිබුනා.”

කොළඹ ක්‍රීඩා සමාජයේ පුහුණුකරු මොහොමඩ් රවුමි ThePapare.com සමගින් පවසා සිටියේ;

 

අපි ආකමණශීලීව අද තරගය සෙල්ලම් කලා. අපි 15වැනි මිනිත්තුවේදී යම් අසීරු තත්වයකට මුහුණ දුන්නත් අපි සාර්ථකව ඒකට ප්‍රතිචාර දැක්වුවා. සර්වාන්ගේ අද තරගයට හොඳින් සෙල්ලම් කලා වගේම තරගය ජයග්‍රහණයට යොමු කලෙත් ඔහුයි. අපි ප්‍රතිවාදීන්ගේ පසුපෙල බිඳ දමන්න උත්සහා කලා වගේම ඒක සාර්ථකයි. අපිට තවත් ටිකක් පහරදීම් දෙස අවදානය යොමු කරන්න වෙනවා. ගුවන් හමුදා ක්‍රීඩා සමාජයත් හොඳින් සෙල්ලම් කලා අද.”

ගෝල වාර්තා කිරීම්

ගුවන් හමුදාව: නුවන් වෙල්ගමගේ 10’
කොළඹ: මොමාස් යපො 39’, දනුෂ්ක මදුෂංක 45’

කහ කාඩ්පත්

ගුවන් හමුදාව: ඩී. කේ. දුමින්ද 43’, කවිඳු ඉෂාන් 45’, ලක්මාල් ගුණසිංහ 45’
කොළඹ: තුවාන් රිස්නි 63’, සර්වාන් ජොහාර් 90‘

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට