Nippon Paint අන්තර් සමාජ රග්බි ලීගයට සියල්ල සූදානම්

Nippon Paint Club Rugby League 2023/24

673

ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ තහනම ඉවත් වීමත් සමඟ Nippon Paint අන්තර් සමාජ රග්බි ලීගයේ 2023/24 වසර සඳහා වන අදියර දෙසැම්බර් මස 01 දා ආරම්භ වන බව රග්බි සම්මේලනය නිල වශයෙන් තහවුරු කළා. 

මෙවර අන්තර් සමාජ රග්බි ලීගය පිළිබඳ සහ කණ්ඩායම් දැනුවත් කිරීම මාධ්‍ය හමුවක් ඊයේ (24) ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන්ට් වයිට් ශාලවේ දී පැවැත්වුණා. 

තරගාවලිය ආරම්භ කරමින් ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ Havelock ක්‍රීඩා සමාජය පළමු තරගය ක්‍රීඩා කිරීමට සැලසුම් කර තිබෙන අතර එය රාත්‍රි තරගයක් ලෙස ක්‍රියාත්මක වීම විශේෂත්වයක්.  

අවසන් වසර කිහිපයේ ලීග් රග්බි කිරුළෙහි හිමිකරුවන් වන මහනුවර ක්‍රීඩා සමාජය පළමු සතියේ අවසන් තරගය ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙන අතර ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ නාවික හමුදා කණ්ඩායමයි.  

ඊයේ පැවති මෙම මාධ්‍ය හමුව සඳහා සියලුම කණ්ඩායම් වල නායකයින් සහ තරගාවලියේ තීරකයින් වන විනිසුරුවරයන්ගේ සංගමයේ සභාපති සහ කණ්ඩායම් කළමනාකරුවන් එක්ව සිටියා.  

මෙම තරගාවලිය ආරම්භ වීමට එයට සමගාමී ලෙස CR & FC, ගුවන් හමුදා, යුද හමුදා සහ නාවික හමුදා කාන්තා කණ්ඩායම් සහභාගී කර ගනිමින් කාන්තා තරගාවලියක් පැවැත්වෙන බව ද මෙහි දී ප්‍රකාශ කළා.  

එමෙන්ම තරගාවලිය තුළ විනිසුරුවන් ලබා දෙන තීරණ සමාලෝචනය සඳහා තවත් කමිටුවක් පත් කරන බව ද ශ්‍රී ලංකා රග්බි සම්මේලනය ප්‍රකාශ කළා. 

මෙම මාධ්‍ය සාකච්ඡාව අතරතුර ThePapare.com වෙත අදහස් දක්වමින් මහනුවර ක්‍රීඩා සමාජයේ නායක ලවංග පෙරේරා ප්‍රකාශ කළේ, 

“අපි මාස 3ක ඉඳන් අපේ පුහුණුවීම් ආරම්භ කරලා තියෙන්නේ. නවක සහ අත්දැකීම් වලින් සමන්විත ශක්තිමත් කණ්ඩායමක් අපට සිටිනවා. දනුෂ් දයාන්ගේ සහ බුද්ධිම ප්‍රියරත්නගේ අඩුව අපිට විශාල ලෙස දැනෙයි, ඒත් අපි හිතනවා නවකයින් ඒ අඩුව පුරවයි කියලා.” 

දෙසැම්බර් මස 01 දා ආරම්භ වන තරගාවලියේ පළමු අදියර දෙසැම්බර් මස 17 අවසන් වන අතර 17 සිට 29 දක්වා ලබා දෙන විවේකයකින් පසු තරගාවලියේ දෙවැනි අදියර ජනවාරි 21 දක්වා පැවැත්වීමට නියමිතයි.  

තරගාවලියේ තරග බොහෝ විට සවස 3.45ට ආරම්භ වීමට සැලසුම් කර තිබෙන අතර Havelock ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන තරග පමණක් විදුලි ආලෝක තත්වය යටතේ සවස 6.30ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.  

මූලික වටයේ දී කණ්ඩායම් සියල්ල අනෙක් කණ්ඩායම් සමඟ තරග වැදීමට නියමිත අතර මුල් ස්ථාන හතර ලබා ගන්නා කණ්ඩායම් කුසලානය සඳහාත්, අවසන් ස්ථාන හතර ලබා ගන්නා කණ්ඩායම් පලිහ සඳහාත් තරග වැදීමට නියමිතයි. 

අන්තර් සමාජ ලීග් තරගාවලිය ඇතුළු දෙස් විදෙස් රග්බි පිටියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.