මහනුවර සහ CR & FC අපරාජිත ගමනක

Nippon Paint Club Rugby League 2023/24

283

2024 වසරට සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් ගෙවුණු සති අන්තයේ දී Nippon Paint Club Rugby League 2023/24 තරග වාරයේ පස් වැනි සතියට අදාළ තරග පැවැත්වුණා.

මෙහි දී මෙම වසරේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට පොලිස් ක්‍රීඩා සමාජය විසින් සමත් වූ අතර, ඉන් පසුව පිළිවලින් CH & FC, CR & FC සහ මහනුවර ක්‍රීඩා සමාජ විසින් වසර ආරම්භ කරමින් ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුනා.

යුද හමුදා ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය

මෙම තරගයට සත්කාරකත්වය ලබා දුන් පොලිස් ක්‍රීඩා සමාජය තරගයේ පළමුව ලකුණු රැස් කිරීම ද ආරම්භ කළ අතර ඒ වෙනුවෙන් ශානක හරිස්චන්ද්‍ර උත්සාහක දිනුමකින් දායක වුනා. තරගයේ පළමු අර්ධයේ දී යුද හමුදා ක්‍රීඩා සමාජය වෙනුවෙන් නායක අශාන් බණ්ඩාර ද උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූ නමුත් පළමු අර්ධය නිමා වන විට ලකුණු 07 – 05ක් ලෙස පොලිස් ක්‍රීඩා සමාජය ඉදිරියෙන් පසු වුනා.

තරගයේ දෙවන අර්ධය තුළ පොලිස් ක්‍රීඩකයින් විසින් වඩා ආක්‍රමණශීලී තරග රටාවක් දියත් කළ අතර එහි දී ඔවුන් තවත් උත්සාහක දිනුම් දෙකක් සිය ලකුණු මල්ලට ඇතුළත් කර ගත්තා. නමුත් එම අර්ධයේ දී යුද හමුදාව වෙනුවෙන් වාර්තා වුනේ එක් උත්සාහක දිනුමක් පමණයි. එමෙන්ම ඔවුන් තරගයේ වාර්තා කළ උත්සාහක දිනුම් දෙක සඳහා ම ලද ප්‍රවර්තනයන් සාර්ථක කර ගැනීමට ද අපොහොසත් වුනා.

එහි අවසන් ප්‍රතිඵලය වුනේ පොලිස් ක්‍රීඩා සමාජය ලකුණු 09ක ඉදිරියක් ද සමඟින් තරගය ජයග්‍රහණය කිරීමයි.

අවසන් ලකුණු තත්වය: පොලිස් ක්‍රීඩා සමාජය 19 (3T, 2C) – යුද හමුදා ක්‍රීඩා සමාජය 10 (2T)

Black Knight තරගයේ වීරයා – ආකාශ් මදුශංක (පොලිස් ක්‍රීඩා සමාජය)

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්:

  • පොලිස් ක්‍රීඩා සමාජය: ශානක හරිස්චන්ද්‍ර (1T), හශාන් ප්‍රනාන්දු (1T), හිරන්ත පෙරේරා (1T), යොහාන් පීරිස් (2C)
  • යුද හමුදා ක්‍රීඩා සමාජය: අශාන් බණ්ඩාර (1T), ලසන්ත කුමාර (1T)

CH & FC සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

තරගයට සත්කාරකත්වය ලබා දුන් CH & FC වෙනුවෙන් තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට ප්‍රසාන්ත් මදුශංක විසින් සමත් වූ අතර ඉන් පසුව දිනෙත් ද සිල්වා විසින් තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වීමත් සමඟින් CH & FC පළමු අර්ධය නිමා වන විට ලකුණු 14ක් ලබා ගැනීමට සමත් වී සිටියා. නමුත් අනෙක් අන්තයෙන් ගුවන් හමුදා කණ්ඩායම විසින් ලබා ගැනීමට සමත් වී තිබුණේ ලකුණු 03ක් පමණයි.

නමුත් තරගයේ දෙවැනි අර්ධයේ දී ගුවන් හමුදාව විසින් තම ආරක්ෂාව දැඩි කරමින් CH & FC ක්‍රීඩකයින් ලකුණු ලබා ගැනීමෙන් වළකා ගැනීමට සමත් වුනා.

එමෙන්ම මෙම අර්ධය තුළ ගුවන් හමුදාවට දඬුවම් උත්සාක දිනුමක් සමඟින් ලකුණු හතක් ලබා ගැනීමට ද සමත් වුනා.

කෙසේ නමුත් ඉන් පසුව එකඳු කණ්ඩායමක් හෝ ලකුණු ලබා ගැනීමට සමත් නොවීම නිසා CH & FC කණ්ඩායමට තියුණු ජයග්‍රහණයක් හිමි වුනා.

අවසන් ලකුණු තත්වය: CH & FC 14 (2T, 2C) – ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 10 (1T, 1P)

Black Knight තරගයේ වීරයා – දුශ්මන්ත ප්‍රියදර්ශන (CH & FC)

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්:

  • CH & FC: ප්‍රසාන්ත් මදුශංක (1T), හිරුශ නෙත්මින (2C)
  • ගුවන් හමුදා ක්‍රීඩා සමාජය: ගයන්ත ඉද්දමල්ගොඩ (1P)

CR & FC සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය

මෙවර තරගවාරයේ මෙතෙක් එකඳු ජයග්‍රහණයක් හෝ ලබා ගැනීමට සමත් වී නොමැති නාවික හමුදාවට මෙවර ද එතරම් සාර්ථක සති අන්තයක් නිමා කිරීමට හැකියාව ලැබුණේ නැහැ.

වැලිසර දී පැවැත්වුණු මෙම තරගයේ පළමු මිනිත්තු පහළවක පමණ කාලය සම්පූර්ණයෙන්ම නාවික හමුදාව සතු වුනා.

තරගයේ පළමුවෙන් ම ලකුණු ලබා ගැනීම ආරම්භ කළේ ද නාවික හමුදාව විසින්මයි. කෙසේ වෙතත් පසුව CR & FC විසින් සාර්ථකව තරගයට අවතීර්ණ වෙමින් ලකුණු 12 – 06ක් ලෙස පෙරමුණ ගනිමින් තරගයේ පළමු අර්ධය නිමා කිරීමට සමත් වුනා.

එමෙන්ම තරගයේ දෙවන අර්ධය නම් නාවික හමුදාව ට කිසි සේත් ම සුබදායී එකක් වුනේ නැහැ. මෙම අර්ධයේ දී CR & FC ක්‍රීඩකයින් විසින් උත්සාහක දිනුම් හතක් වාර්තා කිරීමට සමත්  වුනේ සමස්ත තරගයේ සිය උත්සාහක දිනුම් ප්‍රමාණය 09ක් බවට පත් කර ගන්නා අතරේ දීයි.

මෙහි දී CR වෙනුවෙන් රිනේශ් සිල්වා සහ රැන්ඩි සිල්වා උත්සාහක දිනුම් දෙක බැගින් වාර්තා කිරීමට සමත් වුනා.

මෙම අර්ධය තුළ නාවික හමුදාවෙන් එකඳු ලකුණක් හෝ වාර්තා නොවීම විශේෂත්වයක්.

අවසන් ලකුණු තත්වය: CR & FC 57 (9T, 6C) – නාවික හමුදා ක්‍රීඩා සමාජය 06 (2P)

Black Knight තරගයේ වීරයා – ඉරංග ආරියපාල (CR & FC)

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්:

  • නාවික හමුදා ක්‍රීඩා සමාජය – ස්ටීවන් සැන්සොනි (2P)
  • CR & FC – රිනේශ් සිල්වා (2T), රැන්ඩි සිල්වා (2T), රන්දුල් සේනානායක, ඉරංග ආරියපාල, සමිත් වර්ණකුලසූරිය, ශෙහාන් කැළණියගොඩ, රවීන් ද සිල්වා (එක් උත්සාහක දිනුම බැගින්), මනිල්ක රුබේරු (3C), තේනුක නානායක්කාර (3C)

මහනුවර ක්‍රීඩා සමාජය සහ Havelock ක්‍රීඩා සමාජය

මෙම තරගවාරයේ තම අපරාජිත බව තවදුරටත් රඳවා ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය විසින් ඊයේ (07) සමත් වුනේ Havelock කණ්ඩායමට එරෙහිව තියුණු ජයග්‍රහණය ලබා ගනිමිනුයි.

මෙම තරගයේ ලකුණු ලබා ගැනීම ආරම්භ කරමින් Havelock වෙනුවෙන් සෙනල් දීලක උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වුනා.

පසුව දිනල් ඒකනායක විසින් මහනුවර වෙනුවෙන් තරගයේ පළමු උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වුනා.

තරගයේ පළමු අර්ධය නිමා වන විට ලකුණු 19 – 14ක් ලෙස ඉදිරියෙන් පසු වුනේ මහනුවර ක්‍රීඩා සමාජයයි.

තරගයේ දෙවන අර්ධයේ දී ද දෙපිළම ඉතා තරගකාරී ලෙස තරගයට අවතීර්ණ වූ අතර මෙම අර්ධයේ දී මහනුවර වෙනුවෙන් ශ්‍රීනාත් සූරියබණ්ඩාර විසින් තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වුනා.

ඉන් පසුව Havelock කණ්ඩායම විසින් නැවතත් තරගයට අවතීර්ණ වීමට විශිෂ්ට උත්සාහයක් යෙදුව ද එය සාර්ථක ලෙස ව්‍යර්ථ කිරීමට මහනුවර විසින් සමත් වුනේ තරගයේ ජයග්‍රහණය තමන් සතු කර ගනිමිනුයි.

අවසන් ලකුණු තත්වය: මහනුවර ක්‍රීඩා සමාජය 27 (4T, 2C, 1P) – Havelock ක්‍රීඩා සමාජය 22 (3T, 2C, 1P)

Black Knight තරගයේ වීරයා – ශ්‍රීනාත් සූරියබණ්ඩාර

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්:

  • මහනුවර ක්‍රීඩා සමාජය: දිනල් ඒකනායක (1T), ධනුෂ්ක රන්ජන් (1T), චතුරංග කුඩලිගේ (1T), ශ්‍රීනාත් සූරියබණ්ඩාර (1T), තරින්ද රත්වත්තේ (1P), නිගෙල් රත්වත්තේ (2C)
  • Havelock ක්‍රීඩා සමාජය – රන්දිත වර්ණපුර (1T), ශෙනෙල් සිල්වා (1T), දිනුප සෙනෙවිරත්න (1T), සැමුවෙල් මදුවන්ත (2C, 1P)

මේ අනුව තරගාවලියේ පස්වැනි සතිය නිමා වන විට මහනුවර ක්‍රීඩා සමාජය අපරාජිත ව ලකුණු සටහනේ පෙරමුණේ රැඳී සිටීමට සමත් වී ඇති අතර CR & FC කණ්ඩායම ද සිය අපරාජිත බව රැක ගනිමින් ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැඳීමට සමත් වී තිබෙනවා.

තරගාවලියේ හය වැනි සතිය වෙනුවෙන් එළඹෙන සති අන්තයේ දී තවත් තරග හතරක් පැවැත්වීමට නියමිතයි. එම තරග විස්තර ද ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<