මහනුවර සහ CR&FC ක්‍රීඩකයින් අපරාජිතව ඉදිරියට

Nippon Paint Club Rugby League 2023/24

357
Nippon Paint Club Rugby 2023/24 - Week 02

2023/24 Nippon Paint අන්තර් සමාජ රග්බි ලීගයේ දෙවැනි සතියේ පැවති තරග වලින් ජයග්‍රහණ ලබා ගැනීමට මහනුවර ,CH & FC, CR & FC සහ ගුවන් හමුදා ක්‍රීඩකයින් සමත් වුනා.

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය  සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය

රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයෙන් නාවික හමුදා කණ්ඩායම ලකුණු 17-15ක් ලෙස පරාජය කරමින් තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩකයින් සමත් වුනා.

තරගයේ ලකුණු ලබා ගැනීම ආරම්භ කළේ සත්කාරක ගුවන් හමුදාවයි. ආරම්භයේ හිමි වූ දඬුවම් පහරක් ගුවන් හමුදා ක්‍රීඩක ගයන්ත ඉද්දමල්ගොඩ සාර්ථකව එල්ල කරමින් පළමු ලකුණ වාර්තා කළා.

එයට පිළිතුරු ලෙස තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කරමින් සිය කණ්ඩායම පෙරමුණට ගෙන ඒමට Stevan Sansoniට හැකි වුනේ සත්කාරකයින්ට දැඩි පීඩනයක් එල්ල කරමිනුයි.

ප්‍රතිවාදීන්ගේ සතුට කෙටි කාලයක් තුළ අහිමි කරමින් ගුවන් හමුදා ක්‍රීඩක නිර්මාල් වික්‍රමසිංහ උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූ අතර එහි ප්‍රවර්තනය ඉද්දමල්ගොඩ සාර්ථකව අවසන් කළා.

නමුත් පළමු අර්ධය අවසන් වීමට පෙර නාවික හමුදා ක්‍රීඩකයින් වාර්තා කළ දඬුවම් උත්සාහක දිනුම නිසා පළමු අර්ධය අවසන් වුනේ ලකුණු 12-10ක් ලෙස නාවික හමුදා ක්‍රීඩකයින් පෙරමුණේ තබමිනුයි.

දෙවැනි අර්ධය ආරම්භයේ හිමි වූ දඬුවම් පහරක් සාර්ථකව එල්ල කිරීමට නාවික හමුදා ක්‍රීඩක තිලින වීරසිංහ සමත් වුනා.

 තරගයේ අවසන් භාගය වන තුරු පෙරමුණ රඳවා ගැනීමට නාවික හමුදා ක්‍රීඩකයින් සමත් වූවත් ඔවුන්ගේ බලාපොරොත්තු සුන් කරමින් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට ශාමික කෞෂාන් සමත් වූ අතර ඉද්දමල්ගොඩ විසින් එහි ප්‍රවර්තනය සාර්ථකව එල්ල කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළා.

Blacknight තරගයේ වීරයා: පරාක්‍රම රත්නායක (ගුවන් හමුදාව)

අවසන් ලකුණු තත්වය: ගුවන් හමුදාව 17 (2T 2C 1P) – 15 (2T 1C 1P) නාවික හමුදාව

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්,

  • ගුවන් හමුදාව – ගයන්ත ඉද්දමල්ගොඩ 2C 1P, ශාමික කෞෂාන් 1T, නිර්මාල් වික්‍රමසිංහ 1T.
  • නාවික හමුදාව – Stevan Sansoni 1T, තිලින වීරසිංහ 1P, දඬුවම් උත්සාහක දිනුම් 1

මහනුවර ක්‍රීඩා සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය

දෙවැනි අර්ධයේ පෙන්නුම් කළ ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසයකින් පසු යුද හමුදා ක්‍රීඩකයින් ලකුණු 33-14ක් ලෙස පරාජය කරමින් තරගාවලියේ දෙවැනි ජයග්‍රහණය ලබා ගැනීමට වත්මන් ශූර මහනුවර ක්‍රීඩකයින් සමත් වුනා.

පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට මහනුවර ක්‍රීඩක මිලාන් වීරසිංහට හැකි වූ අතර එහි ප්‍රවර්තනය තරින්ද රත්වත්ත සාර්ථකව අවසන් කළා.

ප්‍රබල මහනුවර ක්‍රීඩකයින්ට දැඩි අභියෝගයක් එල්ල කළ යුද හමුදා නායක අශේන් බණ්ඩාර සහ ඩිල්ෂාන් හෙට්ටිආරච්චි උත්සාහක දිනුම් ද්විත්වයක් වාර්තා කිරීමට සමත් වූ එහි ප්‍රවර්තන අවස්ථා ඩිල්ෂාන් සාර්ථකව එල්ල කිරීමට සමත් වුනා.

නමුත් පළමු අර්ධය අවසන් වීමට කෙටි වේලාවක් තිබිය දී ක්‍රියාත්මක වූ මහනුවර ක්‍රීඩක ලක්ෂිත රණවීර වාර්තා කළ උත්සාහක දිනුමේ ප්‍රවර්තනය තරින්ද සාර්ථකව එල්ල කිරීම නිසා දෙපිලෙහි ලකුණු සමව තබමින් පළමු අර්ධය අවසන් වුනා.

සුපුරුදු පරිදි දෙවැනි අර්ධයේ දී සිය ප්‍රබලත්වය පෙන්නුම් කළ මහනුවර කණ්ඩායම වෙනුවෙන් වාවල පණ්ඩිත උත්සාහක දිනුමක් වාර්තා කරද්දී, එහි ප්‍රවර්තනය ද මහනුවර ක්‍රීඩකයින් සාර්ථකව අවසන් කළා.

යුද හමුදා ක්‍රීඩකයින්ට කිසිදු අවස්ථාවක් ලබා නොදෙමින් මහනුවර කණ්ඩායම වෙනුවෙන් ඩිල්ෂාන් ෆරීඩ් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කිරීමට සමත් වූ අතර එහි එක් ප්‍රවර්තනයක් සාර්ථකව එල්ල කරමින් තරින්ද සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළා.

Blacknight තරගයේ වීරයා: ඩිල්ෂාන් ෆරීඩ් (මහනුවර ක්‍රීඩා සමාජය)

අවසන් ලකුණු තත්වය: මහනුවර ක්‍රීඩා සමාජය 33 (5T, 4C) – 14 (2T,2C) යුද හමුදා ක්‍රීඩා සමාජය

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්,

  • මහනුවර ක්‍රීඩා සමාජය – මිලාන් වීරසිංහ 1T, වාවල පණ්ඩිත 1T, ලක්ෂිත රණවීර 1T, ඩිල්ෂාන් ෆරීඩ් 2T, තරින්ද රත්වත්ත 4C.
  • යුද හමුදා ක්‍රීඩා සමාජය – අශේන් බණ්ඩාර 1T, ඩිල්ෂාන් හෙට්ටිආරච්චි 1T & 2C.

පොලිස් ක්‍රීඩා සමාජය සහ CR & FC

පොලිස් ක්‍රීඩා පිටියේ පැවති මෙම තරගයෙන් සත්කාරක පොලිස් ක්‍රීඩකයින් ලකුණු 19-06ක් ලෙස පරාජය කරමින් ජයග්‍රහණ ලැබීමට ප්‍රබල CR & FC ක්‍රීඩකයින් සමත් වුනා.

තරගය ආරම්භයේ හිමි වූ දඬුවම් පහර දෙකක් සාර්ථකව එල්ල කරමින් හොඳ ආරම්භයක් ගැනීමට පොලිස් ක්‍රීඩා සමාජය හැකි වූ අතර එම දඬුවම් පහර ද්විත්වයම ප්‍රින්ස් චාමර විසින් එල්ල කළා.

පළමු අර්ධය තුළ CR & FC ක්‍රීඩකයින් ලකුණු වාර්තා කිරීමට ගත් සියලු උත්සාහයන් පොලිස් පසුපෙළ ක්‍රීඩකයින්ගේ දස්කම් නිසා අහිමි වීම නිසා පළමු අර්ධය ලකුණු 06-00ක් ලෙස පොලිස් ක්‍රීඩකයින්ට ජය ගෙන දෙමින් නිමා වුනා.

අසාර්ථක පළමු අර්ධයෙන් පසු ප්‍රබල ලෙස දෙවැනි අර්ධයට අවතීර්ණ වූ CR & FC කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම් ද්විත්වයක් වාර්තා කිරීමට නායක සුහිරු ඇන්තනී සමත් වූ අතර එයින් එක් ප්‍රවර්තන අවස්ථාවක් යසස් කවිඳු සාර්ථකව එල්ල කළා.

තරගය අවසන් වීමට කෙටි වේලාවක් තිබිය දී තවත් උත්සාහක දිනුමක් CR & FC කණ්ඩායම වෙනුවෙන් වාර්තා කිරීමට ලසිඳු කරුණාතිලකට හැකි වූ අතර එහි ප්‍රවර්තනය ද යසස් සාර්ථකව අවසන් කරමින් ජයග්‍රහණය තහවුරු කළා.

Blacknight තරගයේ වීරයා: ලසිඳු ඉශාන්

අවසන් ලකුණු තත්වය: CR & FC 19 (3T, 2C) – 06 (2P) පොලිස් ක්‍රීඩා සමාජය

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්,

  • CR & FC – සුහිරු ඇන්තනී 2T, ලසිඳු කරුණාතිලක 1T, යසස් කවිඳු 2C.
  • පොලිස් ක්‍රීඩා සමාජය – ප්‍රින්ස් චාමර 2P.

Havelock ක්‍රීඩා සමාජය සහ CH & FC

වර්ෂාව මධ්‍යයේ රාත්‍රි තරගයක් ලෙස පැවති මෙම තරගයෙන් සත්කාරක  Havelock ක්‍රීඩකයින් පරාජය කරමින් තරගාවලියේ පළමු ජයග්‍රහණය ලැබීමට CH & FC ක්‍රීඩකයින් සමත් වුනා.

ක්‍රීඩා කිරීමට අපහසු තත්වයක් යටතේ තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කළේ CH & FC කණ්ඩායමයි. CH & FC කණ්ඩායම වෙනුවෙන් ගිහාන් මදුශංක එම උත්සාහක දිනුම වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය නෙත්මිණ සාර්ථකව එල්ල කළා.

දැඩි පසුබෑමකට ලක් වූ පළමු අර්ධයෙන් පසු දෙවැනි අර්ධය ආරම්භයේ හිමි වූ දඬුවම් පහරක් සාර්ථකව එල්ල කරමින් Havelock ක්‍රීඩක සැමුවෙල් මදුවන්ත සිය කණ්ඩායමේ ලකුණු ලබා ගැනීම ආරම්භ කළා.

එයින් කෙටි වේලාවකට පසු Havelock ක්‍රීඩකයින් සිදු කළ වරදක් නිසා හිමි වූ දඬුවම් පහරක් වර්ෂාව මධ්‍යයේ මීටර් 40ක පමණ දුරකින් සිට සාර්ථකව එල්ල කරමින් නැවතත් සිය කණ්ඩායම පෙරමුණට ගෙන ඒමට CH & FC ක්‍රීඩක නෙත්මින සමත් වුනා.

තරමක පසුබෑමකට ලක්ව සිටි සත්කාරක Havelock ක්‍රීඩකයින් නැවතත් තරගයට අවතීර්ණ කරමින් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට ජනිඳු ප්‍රනාන්දුට හැකි වූවත් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ඔවුන් අසමත් වුනා.

Havelock ක්‍රීඩකයින්ගේ බලාපොරොත්තු විනාශ කරමින් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට CH & FC ක්‍රීඩක ගිහාන් මදුශංකට හැකි වූ අතර එහි ප්‍රවර්තනය සාර්ථකව එල්ල කිරීමට නෙත්මිණ සමත් වුනා.

 CH & FC කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනෙන ක්‍රීඩකයා වූ හිරූෂ නෙත්මිණ තවත් දඬුවම් පහරක් සාර්ථකව එල්ල කරමින් සිය කණ්ඩායමට වැඩි ගෞරව ලබා දීමට සමත් වූ අතර Havelock ක්‍රීඩක ජනිත් චන්දිමාල් උත්සාහක දිනුමක් වාර්තා කළත් එය තරගයේ ප්‍රතිඵලය වෙනස් කිරීමට ප්‍රමාණවත් වුනේ නැහැ.

Blacknight තරගයේ වීරයා: හිරූෂ නෙත්මිණ

අවසන් ලකුණු තත්වය: CH & FC  20 (2T 2C 2P) – 13 (2T 1P) Havelock SC

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්,

  • Havelock SC – ජනිඳු ප්‍රනාන්දු 1T, ජනිත් චන්දිමාල් 1T, සැමුවෙල් මදුවන්ත 1P.
  • CH & FC – හිරූෂ නෙත්මිණ 2C & 2P, දිනේෂ් ද සිල්වා 1T, ගිහාන් මදුශංක 1T.

2023/24 Nippon Paint Club රග්බි ලීග් තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කිරීමට ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare අප සූදානම්. රැඳී සිටින්න අප සමඟ.

>>තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න<<