දෙවැනි දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකාව පියවරක් ඉදිරියට

381

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දෙවන දිනයත් ශ්‍රී ලංකාවට එතරම් නරක දිනයක් වූයේ නැත. පළමු දිනයේ බර එසවීමේ කණ්ඩායම දිනා ගත් ලෝකඩ පදක්කම් ද්විත්වයට රිදී පදක්කමක් එකතු කරන්නට ඉන්දික දිසානායක සමත් වුණේ පිරිමි කිලෝග්‍රෑම් 69 බර පන්තිය නියෝජනය කරමිනුයි.

ඉන්දික දිසානායක සිය රිදි පදක්කම සමඟින්

ස්නැච් ක්‍රමය යටතේ කිලෝග්‍රෑම් 137ක් ඔසවමින් එම වටයේ පෙරමුණ ගත්ත ද, ඉන්දිකට ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමය යටතේ සාර්ථක කර ගැනීමට හැකි වුනේ කිලෝග්‍රෑම් 160ක් එසවූ පළමු උත්සාහය පමණි. කිලෝග්‍රෑම් 163ක් එසවීමට ගත් දෙවන සහ තෙවන උත්සාහයන් අතරින් එක අවස්ථාවක් හෝ සාර්ථක වූයේ නම් ගෝල්ඩ් කෝස්ට් බර එසවීමේ මධ්‍යස්ථානය පුරා ශ්‍රී ලංකා ජාතික ගීය රැව් පිලි නැංවීමේ හැකියාවක් පැවතුණත්, අවාසනාවකට මෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙන්ම ක්‍රීඩාලෝලීන්ට ද සිදු වුණේ සිංහ කොඩිය තෙවන වරටත් ඉහළ යනු බලා සනසේන්නටයි.

ඉන්දික සිය පුහුණුකරු සමඟින්

ස්නැච් ක්‍රමයේ දී කිලෝ ග්‍රෑම් 136 ක් එසවූ වේල්ස් ක්‍රීඩකයා ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයේ දී කිලෝග්‍රෑම් 163 ක් සාර්ථක කර ගත්තේ ඉන්දිකගේ දක්ෂතාව කිලෝ 2කින් පමණක් අභිබවා යමිනුයි.

”මම පුහුණුවීම්වල දී ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමය යටතේ කිලෝග්‍රෑම් 170ක් ඔසවලා තියනවා. යම් තාක්ෂණික දෝෂයක් නිසා අද මට ඒ උත්සාහය අසාර්ථක වුනා. ඉතින් රන් පදක්කම වේල්ස් ක්‍රීඩකයාට පිරිනැමුවා දෝ කියලා විශාල කනගාටුවක් මට තියනවා. නමුත් ශ්‍රී ලංකා කොඩිය ඉහල නංවලා රටට ගෙන දුන් අභිමානය ගැන මටා ගොඩක් සතුටුයි.” තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසූ ඉන්දික පාසල් වියේ සිට තමන්ට ගුරු හරු කම් දුන් පුහුණුකරුවන් සියලු දෙනාට ස්තුති කරන්නට ද අමතක කළේ නැත.

මේ අතර කාන්තා බර එසවීමේ තරග බිමට කිලෝග්‍රෑම් 53 බර පන්තියෙන් එක්වූ චමරි වර්ණකුලසූරිය හට ද පළමු දිනයේ දී තිවංක විරාජ් හට සිදු වූවාක් මෙන් පදක්කමක් අසලටම පැමිණ සිව්වැනි ස්ථානයෙන් සැනසීමට සිදු වීම ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන් හට සන්තාපයට කරුණක් විය.

පළමු දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකාව 13 වැනි ස්ථානයේ

ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බෙන් නුවරට දකුණට වන්නට පිහිටි ගෝල්ඩ් කොස්ට් නගරය කේන්ද්‍ර…

ශ්‍රී ලංකා පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ඉතිහාසයට නව පිටුවක් එකතු කරන්නට මීටර් 100X4 නිදහස් ආර සහාය පිහිනුම් කණ්ඩායම සමත් වුනේ ඉතිහාසයේ පළමු වරට අවසන් මහා තරගයකට සුදුසුකම් ලබමිනුයි. මැතිව් සහ කයිල් අබේසිංහ සොහොයුරන් මෙන්ම අකලංක

©BBC

පීරිස් සහ චෙරන්ත ද සිල්වා යන ක්‍රීඩකයන්ගෙන් සමන්විත වූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු සුදුසුකම් ලැබීමේ තරගයේ දී 5 වැනි ස්ථානයට පත් වුනේ මිනිත්තු 3යි තත්ත්පර 22.84ක කාලයක් වාර්තා කරමින්.

සුදුසුකම් ලැබීමේ වටය අවසානයේ 8 වන හොඳම කාලය ලෙස මෙය සටහන් වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට අවසන් තරගයේ ස්ථානයක් වෙන් කර ගැනීමට හැකියාව ලැබුණි. අවසන් තරගයේ දී තාක්ෂණික දෝෂයක් හේතුවෙන් තරගයෙන් ඉවත් වීමට සිදු වුව ද මෙරට පිහිනුම් ක්‍රීඩාවේ අනාගතයට සුබ පෙර ලකුණක් ලෙස මෙම දක්ෂතාව පෙන්වා දිය හැක්කේ මෙම අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබීමට හෝ කිසිදු ආසියානු රටක් සුදුසුකම් ලබා නොතිබීම (ආසියානු රටවල් සියල්ල මෙම තරගාවලිය නියෝජනය නොකළ ද) හේතුවෙනුයි.

අනෙකුත් කැපී පෙනුණු සිදුවීම් අතර

හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ

11 වියැති ඇනා හර්සි සහ ඉෂාරා මධුරංගි ©ABC News

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ළාබාලම ක්‍රීඩිකාවගේ වයස ඇසුවොත් ඔබ පුදුමයට පත් වනු නොඅනුමානය. ඇනා හර්සි වේල්ස් මේස පන්දු කණ්ඩායම නියෝජනය කරමින් ඊයේ තරග බිමට පිවිසෙන විට ඇගේ වයසේ මෙරට බොහෝ දැරියන් බෝනික්කන්ට කෑම හදමින් හෝ ‘කෝම්පිට්ටු ඉදීයන්’ කියමින් සිටියා වන්නට පුළුවන.

11 හැවිරිදි ඇනා ඊයේ  කාන්තා මේසපන්දු  කණ්ඩායම් ඉසව්වේ කේවල තරගය සඳහා තරග වැදුනේ ඇය ඉපදෙන විටත් ශ්‍රී ලංකා ජාතික මේස පන්දු ශූරිය වූ ඉෂාරා මධුරංගි සමගයි. තරග වට 5ක් දක්වාම ඉෂාරාව ජයග්‍රහණයක් සඳහා වෙහෙසට පත් කරන්නට සමත් වෙමින් අවසන් මොහොතේ කේවල තරගය පරාජය වුවත් යුගල තරගයේ දී වේල්ස් කණ්ඩායම ජයග්‍රහණය වෙත ගෙන යන්නට ඇනාගේ සහය හිමි විය.

ගෝල්ඩ් එකක් දිනුවා වගේ සතුටක් දැනෙන්නේ – චතුරංග ලක්මාල්

පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ සමාරම්භයේ දී ම ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කමක්…

කිසිදු වාර්තාවක් සදාකාලික නැත – ලියන්නට කාලය මදි වීමට ද හැකිය.

කාන්තා මීටර් 100 පසුපස ආර පිහිනුම් ඉසව්වේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා වාර්තාව අවසන් වරට අලුත් වී තිබුණේ 2014 ග්ලාස්ගෝ තරගාවලිය තුළ දී යි. නමුත් මෙම ක්‍රීඩා උළෙල නැවත පවත්වන්නට වසර 4ක් ගත වීම නොවන්නට, මේ වාර්තාවට එතරම් ආයුෂ නැති වන්නට ඉඩ තිබුණු බව සිතෙන්නේ ඊයේ මිනිත්තු කිහිපයක් තුල මේ වාර්තාව දෙවරක් අලුත් වීම හේතුවෙනුයි.

©Getty Imeges

ඕස්ට්‍රේලියාවේ එමලි සීබෝන් තමන් විසින්ම පිහිටුවා තිබූ තරග වාර්තාව මෙම ඉසව්වේ මූලික වටයේ තරගයක් අතරතුර අලුත් කරන්නට සමත් වුනේ තත්ත්පර 58.91ක කාලයක් වාර්තා කරමින්.

කෙසේ වෙතත් ඉන් මිනිත්තු කිහිපයක් ගත වන විට මූලික වටයේ තවත් තරගයකට එක් වුන කැනඩාවේ කයිලි මැසේ තත්ත්පර 58.70ක කාලයක් වාර්තා කරමින් එම වාර්තාව තමන් සතු කර ගන්නට සමත් විය. වර්තමාන තාක්ෂණික ක්‍රම නොවන්නට එමලිගේ වාර්තාව කිසිදු පොතක සටහන්  නොවන්නට ද ඉඩ තිබුණි.

සත්කාරකයන් පදක්කම්  පුවරුව බදු ගනී

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා පදක්කම් ප්‍රදානය කිරීම සඳහා ක්‍රීඩකයන් සිටගන්නා පුවරු (podium)  නිර්මාණය කර තිබෙන්නේ ප්‍රතිචක්‍රීකරණය කරන ලද පොලිතීන් සහ ප්ලාස්ටික් භාවිතා කරමින් බව ඕස්ට්‍රේලියානුවන් ලොවට කියන්නේ මහත් ආඩම්බරයෙනි. නමුත් එයින් කියවෙන්නේ පදක්කම් පුවරුවට නගින්නට හැක්කේ ඕස්ට්‍රේලියානුවන්ට පමණක් බව ද?

 කාන්තා මීටර් 100 සමනල ආර පිහිනුම් ඉසව්වට සහභාගී වූ ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් නම් එසේ සිතුවා විය හැකිය. මන්ද ඔවුන් එම පුවරුවට නගින්නට තම ඉසව්වට එක්වූ අන් කිසිදු රටකට ඉඩ නොදීම නිසාවෙනුයි. මෙම ඉසව්වේ රන්, රිදී සහ ලෝකඩ පදක්කම් තුනම දිනා ගන්නට ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් සමත් විය.

තත්ත්පර 56.78කින් තරගය අවසන් කළ එමා මැක්කියොන් නව පොදු රාජ්‍ය මණ්ඩලීය වාර්තාවක් ද සමඟින් රන් පදක්කම දිනා ගනිද්දී, මැඩලින් ග්‍රෝව්ස් රිදී පදක්කමටත්, බ්‍රයනා තෝසල් ලෝකඩ පදක්කමටත් හිමිකම් කියන ලදී.

දෙවන දිනය අවසන් වන විට පදක්කම් සටහනේ පෙරමුණ ගන්නට පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සවිය ලැබූ සත්කාරක ඔස්ට්‍රේලියාව සමත් විය. ශ්‍රී ලංකාව දෙවන දිනය අවසානයේ 12 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ සිටින ලදි.

තෙවැනි දිනයේ සංක්ෂිප්ත වාර්තාවක් සමඟින් හෙට (08) හමුවෙමු. එකෙත් ඔබට ක්‍රීඩාශීලි දවසක්!

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<

පදක්කම් සටහන