දක්‌ෂ ක්‍රීඩිකාවන් බංකුවේ හිටිය නිසා කණ්‌ඩායම ගැන සෑහීමකට පත්වෙන්න බැහැ – දීප්ති අල්විස්‌

337
Deepthi Alwis

තේරීම් කමිටුව කන් දුන්නේ නැහැ කකුල් දෙකෙන් ඇද්දා

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්‌ඩායමට අඛණ්‌ඩව තෙවැනි වරටත් අනුශූරතාවය උරුමකර දෙමින් ආසියානු දැල්පන්දු ශූරතාවලිය ඉකුත්දා තායිලන්තයේ බැංකොක්‌ නුවරදී නිමාවට පත්විය.

විවිධ මතගැටුම් ඔස්‌සේ අදාළ දැල්පන්දු ශූරතාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්‌ඩායම මේ අයුරින් අනුශූරතාව දිනාගැනීම පිළිබඳ පසු විපරමේදී ශ්‍රී ලංකා දැල්පන්දු කණ්‌ඩායමේ ප්‍රධාන පුහුණුකාරිණිය වූ දීප්ති අල්විස්‌ මහත්මිය ‘දිවයින’ වෙත දැක්‌වූ අදහස්‌ මෙසේ විය.

පැනය – නිමාවට පත්වූ ආසියානු දැල්පන්දු ශූරතාවලියේ ප්‍රතිඵලය ගැන ඔබට සතුටුයිද ?

පිළිතුර – අවසන් තරගයේදී මැලේසියා කණ්‌ඩායම හමුවේ පරාජය වීම සම්බන්ධයෙන් දුකක්‌ තියෙනවා. ඒ වගේම ඉකුත් වසර දෙකේදීම ශූරයන් බවට පත්වූ සිංගප්පූරු කණ්‌ඩායම පරාජය කරලා අවසන් තරගයට එන්න ලැබීම ගැන ඇත්තටම ගොඩක්‌ සතුටු වෙනවා.

පැනය – මේ තරගාවලිය සඳහා ඔබට ලබාදුන් කණ්‌ඩායම ගැන සෑහීමකට පත්වෙනවද?

පිළිතුර – මේ කණ්‌ඩායම ගැන සෑහීමකට පත්වෙන්න බෑ. මොකද මීට වඩා දක්‌ෂ අද්දැකීම් සහිත ක්‍රීඩිකාවන් කිහිපදෙනෙක්‌ම බංකුවේ හිටියා. මං යන්න කලින් කිව්වා ඒ අය කණ්‌ඩායමට ඉන්නම ඕනේ ක්‍රීඩිකාවන් කියලා. නමුත් තේරීම් කමිටුව ඒ සඳහා කන්දුන්නේ නැහැ. නමුත් ඒ ගැන අවධානය යොමුවෙලා අවශ්‍ය වෙනස්‌කම් අපිට කරලා දුන්නනම් අනිවාර්යයෙන් ශූරතාව දිනන්න තිබුණා. කෙසේවෙතත් ලබාදුන් කණ්‌ඩායමේ ක්‍රීඩිකාවන් මේ ජයග්‍රහණය වෙනුවෙන් උපරිමයෙන් කැපවෙලා කටයුතු කළා.

පැනය – ඒ කියන්නේ තරගාවලියට යන්න කලින් ඉඳන්ම කකුලෙන් ඇද්ද කියන එකද?

පිළිතුර – කකුලෙන් නෙමෙයි කකුල් දෙකෙන්ම ඇද්දා. දෙසැම්බර් පටන්ගන්න තිබුණ පුහුණුවීම් අපිට පටන් ගන්න පුළුවන් වුණේ අප්‍රේල් මාසේ. තේරීම් කමිටු වෙනස්‌ වුණා. ආයිත් තේරීම් විවෘත වුණා. ඒ හරහා නවක ක්‍රීඩිකාවන් කණ්‌ඩායමට ආවා. පුහුණුවීම් කරන්න තිබුණ කාලය අඩු වුණා. එවැනි සිදුවීම් නිසා ගොඩක්‌ අපහසුතාවයට පත්වුණා.

මම ක්‍රීඩිකාවක්‌, ජාතික කණ්‌ඩායම් නායිකාවක්‌ වගේම පුහුණුකාරියක්‌ වශයෙන් කටයුතු කරලා තියෙන නිසාම මේ දේවල් ඔරොත්තු දුන්නා. වෙන කෙනෙක්‌නම් මේක දාලා යනවා. ඇත්තටම එවැනි දේවල් කරපු අය බලාපොරොත්තු වුණා මං මේ දේ දාලා යයි කියලත්. මං එහෙම කළා නම් ඒක මගේ ක්‍රීඩා දිවියට ලොකු කැළලක්‌. ඒ නිසාම මං පීඩනය දරාගෙන කොහොමහරි කණ්‌ඩායම මේ තත්ත්වයට ගෙනාවා.

පැනය – තරගාවලියේ ශූරතාව ගිලිහුණේ කොතැනින්ද?

පිළිතුර – කණ්‌ඩායම යෝග්‍යතා පරීක්‌ෂණයට සහභාගී වීමෙන් අනතුරුව යෝග්‍යතාවයෙන් අඩු ක්‍රීඩිකාවන් ඉන්නවා කියලා වෛද්‍යවරයා මාධ්‍යවලට සඳහන් කරලා තිබුණා. නමුත් ඒ ගැන තේරීම් කමිටුව කිසිම තැකීමක්‌ කළේ නෑ.

එසේම තරගාවලිය ආරම්භයේදීම ඇµaගනිස්‌ථාන කණ්‌ඩායම ඉවත් වීම නිසා අපිට හොඳ පුහුණුවක්‌ ලබා ගැනීමට තිබුණ අවස්‌ථාව ගිලිහුණා.

තරගාවලියට පෙර විදෙස්‌ පුහුණුවක්‌ ලබා ගැනීමට අපේක්‌ෂාවෙන් හිටියත් අපිට ඒක නොහැකි වුණා. නමුත් මැලේසියාව හා සිංගප්පූරු කණ්‌ඩායම තරගාවලියට ප්‍රථම නවසීලන්තයේ පුහුණු සැසියකට සහභාගී වෙලා හිටියේ. ඔවුන් එච්චර පහසුකම් එක්‌ක ක්‍රිඩා කරලත් අපි සිංගප්පූරු කණ්‌ඩායමට එරෙහිව ලබාගත්ත ජය ඇත්තටම ගොඩක්‌ වටිනවා.

මැලේසියා කණ්‌ඩායමේ උස මහත කීS්‍රඩිකාවන් කිහිපදෙනෙක්‌ හිටියා. ඒ වගේම ඔවුන්ගේ පන්දු විදීම් අංශය ප්‍රබල තත්ත්වයේ පවතින විට අපේ එය දුර්වල වුණා. අපේ ආදේශක විදීම් ක්‍රීඩිකාවන් හිsටියේ නැහැ ඉතිං ක්‍රීඩිකාවන් 7 දෙනෙක්‌ට මුළු තරගය පුරාම ක්‍රීඩා කරන්න වුණා.

ඒ අවස්‌ථාවේදී විරාජි චාමරිකා, සේමිනි අල්විස්‌, දුෂාන් බණ්‌ඩාර සහ ගයාත්‍රි වැනි ක්‍රීඩිකාවන් හිටියනම් තත්ත්වය මීට වඩා හාත්පසින්ම වෙනස්‌ වෙන්න තිබුණා. එවැනි කරුණු ප්‍රධාන කොටගෙන ජයග්‍රහණය අපේ අතින් ගිලිහුණා.

පැනය – අනාගතයේදී ශ්‍රී ලංකාවේ දැල්පන්දු බලාපොරොත්තු වශයෙන් හඳුනාගත් ක්‍රීඩිකාවන් මේ කණ්‌ඩායමේ හිටියද?

පිළිතුර – ඔව් අනිවාර්යයෙන්ම. මේ කණ්‌ඩායමේ වගේම එළියෙත් නවක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක්‌ ඉන්නවා. මේ කණ්‌ඩායමේත් එවැනි ක්‍රීඩිකාවන් 7 ක්‌ 8 ක්‌ හිටියා.

පැනය – ඔබේ දියණිය වන සේමිණී අල්විස්‌ දක්‌ෂයිනම් ඇයි ඇයව කණ්‌ඩායමට නොතේරුණේ?

පිළිතුර – එහෙම කරන්න හේතුව මම දන්නේ නැහැ. සමහරක්‌විට අම්මයි දුවයි කණ්‌ඩායමේ ඉන්නවා කියල එහෙම කළාද දන්නෑ. නමුත් ඇය ශාරීරික යෝග්‍යතා පරීක්‌ෂණයේදී ඉදිරියෙන්ම සිටි ක්‍රීඩිකාවක්‌ කියලා කියන්න ඕනේ.

සේමිණි විතරක්‌ නෙමෙයි විරාජි චාමරිකා කියන්නෙත් දක්‌ෂ ක්‍රීඩිකාවක්‌. තේරීම් කමිටුවේ නොතේරීම මත තමයි මේ අයව කණ්‌ඩායමට ඇතුළත් නොකරේ. ඇත්තටම එය මුළු රටටම කරපු අපරාධයක්‌.

පැනය – ඉදිරියේදිත් පුහුණුකාරියක්‌ වශයෙන් කටයුතු කරනවාද?

පිළිතුර – ජාතික කණ්‌ඩායමේ නොවෙන්න පුළුවන් නමුත් මට හැකිතාක්‌ කාලයක්‌ මං පුහුණුකාරියක්‌ හැටියට කටයුතු කරනවා. මොකද මට තාමත් ක්‍රීඩා කිරීමේ හැකියාව තියෙනවා.

ඇත්තටම මේ තරගාවලියට සහභාගී වුණේ සේමිණී නිසයි. මොකද ඇතැම් ක්‍රීඩිකාවන්ට කරපු අසාධාරණයන් හේතුවෙන් මං ගොඩක්‌ කලකිරිලා හිටියේ. නමුත් සේමිණිගේ මාව දිරිමත් කිරීම හමුවේ තමයි තරගාවලියට සහභාගී වුණේ.

නැත්නම් මගේ දුව නිසා මං පුහුණුකාරිනිය තනතුරෙන් ඉවත් වුණා කියලා කට්‌ටිය කියන්න බලාගෙන හිටියේ.

මේ වෙලාවේ කියන්න ඕනේ ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයේ සභාපති යසා රාමචන්ද්‍ර මහත්මියට, මගේ කළමනාකාරිත්වයට මෙන්ම මගේ ක්‍රීඩිකාවන්ට මං ගොඩක්‌ ස්‌තූතිවන්ත වෙනවා.