මහනුවර සුපුරුදු ආධිපත්‍ය රඳවා ගද්දී CR&FCට තියුණු ජයක්

Nippon අන්තර් සමාජ රග්බි ලීගය 2022/23

287
Nippon Rugby League 2022/23 Week 01

2022/23 Nippon අන්තර් සමාජ රග්බි ලීගය ආරම්භ කරමින් පළමු සතියේ තරග පසුගිය සිකුරාදා (09) සිට ඉරිදා (11) දක්වා පැවැත්වුනා.

පළමු සතියේ තරගවලින් ජයග්‍රහණ වාර්තා කර ගනිමින් තරගාවලිය සාර්ථකව ආරම්භ කිරීමට මහනුවර, CR&FC, ගුවන් හමුදා සහ නාවික හමුදා කණ්ඩායම් සමත් වුනා.

CR&FC සහ Havelocks SC

පසුගිය වසරේ අනුශූරයින් වූ Havelocks ක්‍රීඩකයින් සිය සත්කාරක ක්‍රීඩාංගණයේ දී පරාජය කරමින් තියුණු ජයක් ලබා ගැනීමට CR&FC ක්‍රීඩකයින් සමත් වුනා.

ආරම්භයේ සිටම උණුසුම් වූ මෙම තරගයේ 80 වැනි මිනිත්තුව දක්වා Havelocks ක්‍රීඩකයින් පෙරමුණේ සිටියත්, තරගයේ අවසන් මිනිත්තු කිහිපයේ උත්සාහක දිනුමක් වාර්තා කරමින් සිය කණ්ඩායමට පෙරළිකාරී ජයක් ගෙන ඒමට CR&FC ක්‍රීඩක ලසිඳු කරුණාතිලක සමත් වුනා.

CR&FC වෙනුවෙන් ලසිඳු කරුණාරත්න සහ චතුර සෙනවිරත්න උත්සාහක දිනුම් වාර්තා කරද්දී, රන්දිත වර්ණපුර, ඉමංග ආරියපාල සහ සංදේශ් ජයවික්‍රම Havelocks වෙනුවෙන් උත්සාහක දිනුම් වාර්තා කළා.

අවසන් ලකුණු තත්වය: CR&FC 23 – 21 Havelocks SC

නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය

සිකුරාදා (09) වැලිසර දී පැවති මෙම තරගයෙන් ලකුණු 15-07ක ජයක් ලබා ගනිමින් නාවික හමුදා ක්‍රීඩකයින් තරගාවලිය ජයග්‍රහණයකින් ආරම්භ කළා.

පොලිස් ක්‍රීඩා සමාජ ක්‍රීඩක මොහාන් විමලරත්න උත්සාහක දිනුමක් වාර්තා කරමින් තරගය ආරම්භ කළත්, එම උත්සාහක දිනුමට පසුව වෙනත් කිසිදු අවස්ථාවක් සාර්ථක කර ගැනීමට ඔවුන්ට නොහැකි වුනා.

නාවික හමුදා කණ්ඩායම වෙනුවෙන් රසිත් සිල්වා සහ නිරෝෂ් පෙරේරා උත්සාහක දිනුම් වාර්තා කරමින් කණ්ඩායමේ ජය තහවුරු කළා.

අවසන් ලකුණු තත්වය: නාවික හමුදාව 15 – 07 පොලිස්

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ CH&FC

පළමු අර්ධයේ සිදු වූ ප්‍රබල පසුබෑමෙන් පසුව දෙවැනි අර්ධයේ දී සුපිරි නැවත පැමිණීමක් සටහන් කරමින් ජයග්‍රහණය ලබා ගන්නට ගුවන් හමුදා ක්‍රීඩකයින්ට හැකි වුනා.

රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගය ආරම්භයේ දී උත්සාහක දිනුම් දෙකක් වාර්තා කරමින් සිය කණ්ඩායම පෙරමුණට ගෙන ඒමට රෝහිත රාජපක්ෂට හැකි වුනා.

එම අර්ධයේ දී ජනිඳු ඩිල්ෂාන් වාර්තා කළ උත්සාහක දිනුම සහ රෝහිත රාජපක්ෂ වාර්තා කළ දඬුවම් පහර නිසා පළමු අර්ධය ලකුණු 22-06ක් ලෙස පෙරමුණ ගැනීමට CH&FC ක්‍රීඩකයින්ට හැකි වුනා.

ගුවන් හමුදා කණ්ඩායම වෙනුවෙන් ඉශාර මධුශාන් පළමු උත්සාහක දිනුම වාර්තා කළ අතර ප්‍රසන්න මධුශංක සහ නුවන් පෙරේරා වාර්තා කළ උත්සාහක දිනුම් නිසා දෙවැනි

අර්ධයේ සුපිරි නැවත පැමිණීමක් සමඟ ජයග්‍රහණය කිරීමට ගුවන් හමුදා ක්‍රීඩකයින් සමත් වුනා.

අවසන් ලකුණු තත්වය: ගුවන් හමුදාව 30 – 22 CH&FC

මහනුවර ක්‍රීඩා සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය

රග්බි ලීග් තරගාවලියේ වත්මන් ශූරයින් වන මහනුවර ක්‍රීඩා සමාජය සිය සුපුරුදු ආධිපත්‍ය පෙන්නුම් කරමින් මෙම තරගය 48–06ක් ලෙස ජය ගත්තා.

උත්සාහක දිනුම් අටකින් වර්ණවත් වූ මහනුවර ක්‍රීඩා සමාජය වෙනුවෙන් ඔෂාන් පෙරේරා (02), කවිඳු පෙරේරා, සනුශ්ක අබේවික්‍රම, ඩිනාල් ඒකනායක, මලිත විජේසුන්දර, ලක්ෂිත රණවීර සහ චාතූර්ය සොයිසා උත්සාහක දිනුම් වාර්තා කළා.

යුද හමුදා කණ්ඩායම වෙනුවෙන් වාර්තා වූ එකම උත්සාහක දිනුම වාර්තා කළේ ජාතික සත් සාමාජික කණ්ඩායමේ නායක සුදාරක දික්කුඹුරයි.

අවසන් ලකුණු තත්වය: මහනුවර 46 – 06 යුද හමුදාව

Nippon රග්බි ලීගය – දෙවැනි සතිය තරග

  • CH&FC සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය – දෙසැම්බර් 16

පළමු සතියේ ලැබූ පරාජයෙන් පසු CH&FC මෙම තරගයට පිවිසෙන අතර නාවික හමුදා ක්‍රීඩකයින් පළමු සතියේ ලැබූ ජයත් සමඟ ජයග්‍රාහී මානසිකත්වයෙන් තරගයට අවතීර්ණ වනවා.

කණ්ඩායම් සැකසුම අනුව තරගයේ වැඩි වාසි CH&FC ක්‍රීඩකයින්ට හිමි වූවත් නාවික හමුදා ක්‍රීඩකයින්ට ද තරගයේ පෙරළියක් සිදු කිරීමට විශාල අවස්ථාවක් ඇත.

  • යුද හමුදා ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය – දෙසැම්බර් 16

පළමු සතියේ ලැබූ පරාජයන්ගෙන් පසුව කණ්ඩායම් ද්විතවය මෙම තරගයට අවතීර්ණ වන නිසාවෙන් මෙම තරගයේ ජයග්‍රහණය කණ්ඩායම් දෙකටම ඉතා වැදගත්.

  • මහනුවර ක්‍රීඩා සමාජය සහ CR&FC – දෙසැම්බර් 17

දෙවැනි සතියේ පැවැත්වෙන ප්‍රබලතම තරගය මෙය වන අතර තරගයේ වැඩි වාසි මහනුවර ක්‍රීඩකයින් සතු වනවා.

CR&FC ක්‍රීඩකයින් වත්මන් ශූරයින්ගේ අපරාජිත වාර්තාව බිඳ හෙළීමේ අරමුණින් මෙම තරගයට පිවිසීමට නියමිතයි.

  • Havelocks SC සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය – දෙසැම්බර් 17

CH&FC කණ්ඩායම හමුවේ ලැබූ පෙරළිකාරී ජයග්‍රහණයෙන් පසුව ගුවන් හමුදා ක්‍රීඩකයින් මෙම තරගයට අවතීර්ණ වන අතර තරගාවලියේ පළමු ජය ලැබීමේ අරමුණින් Havelocks ක්‍රීඩකයින් මෙම තරගයට අවතීර්ණ වේ.

2022 Nippon අන්තර් සමාජ රග්බි ලීගයේ තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<