විශාල් මහානාම බලාපොරොත්තු සුන් කරද්දී තර්ස්ටන් විද්‍යාලයට පූර්ණ ජයක්

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2019/20

126

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැත්වෙන තවත් තරග කිහිපයක් ඊයේ (17) දිනයේ දී නිමා විය. එහිදී තර්ස්ටන් විද්‍යාලය පූර්ණ ජයක් හිමිකර ගන්නා විට මහානාම විද්‍යාලය පළමු ඉනිමේ ජයක් තහවුරු කරගත්තේය. 

ලුම්බිණි තර්ස්ටන් සටනේ වැඩි වාසිය තර්ස්ටන් විද්‍යාලයට

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැත්වෙන තවත්…

ලුම්බිණි විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය 

තර්ස්ටන් විද්‍යාලයට කඩුලු 7 ක ජයක් හිමිවූ මෙම තරගයේ දී තර්ස්ටන් නායක ජයවිහාන් මහවිතාන ඉනිම් දෙක තුළම පිතිකරණයෙන් දස්කම් දක්වන ලදි. 

කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දුන් ලුම්බිණි විද්‍යාල පළමු ඉනිම ලකුණු 64 කට සීමා කිරීමට පුන්තිල සමන්ත කුමාර ඇතුළු තර්ස්ටන් විද්‍යාල පන්දු යවන්නෝ සමත් වූහ. එහි දී පුන්තිල, අවිශ්ක කෞශල්‍ය සහ බවන්ත ජයසිංහ යන පන්දු යවන්නන් තිදෙනාම කඩුලු 3 බැගින් දවා ගන්නා ලදි.

ලුම්බිණි පළමු ඉනිම ලකුණු 64 කට සීමා කළ තර්ස්ටන් පිතිකරුවන් ඔවුන්ගේ පළමු ඉනිම සඳහා ලකුණු 130 ක් වාර්තා කර ගත් අතර තරගයේ පළමු දිනය අවසන් වන විට නදුන් ජයමාන්න තර්ස්ටන් මුල් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් ලකුණු 27 ක් රැස්කර ගන්නා ලදි. 

පළමු ඉනිමේ දී වූ අඩුපාඩු බොහෝමයක් අවම කර ගනිමින් පිතිකරණයේ නිරත වූ ලුම්බිණි විද්‍යාලය ලකුණු 248 ක් රැස්කර ගනිමින් යම් ස්ථාවර මට්ටමක් වර්ධනය කර ගත්තේ ගිම්හාන තීක්ෂණ සහ රවිඳු රසංක වාර්තා කළ අර්ධ ශතක සවියක් කරගෙනයි. 

>>Photos: Lumbini College Vs Thurstan College | U19 Cricket Tournament 2019/20<<

කෙසේ නමුත් පළමු ඉනිමේ ලද ලකුණු 66 ක වාසිය නිසාවෙන් තර්ස්ටන් විද්‍යාලයට ඔවුන්ගේ දෙවන ඉනිම තුළ සිය ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා රැස්කර ගැනීමට අවශ්‍ය වූයේ ලකුණු 183 ක් පමණි. එම ඉලක්කය හඹායාමේ දී තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් දක්ෂ පිතිකරණයක නිරත වූ නායක මහවිතාන ලකුණු 84 ක් රැස්කර ගනිමින් සාර්ථක අර්ධ ශතකයක් වාර්තා කළේය. ලුම්බිණි විද්‍යාලයේ ටාශික් නිර්මාල් තර්ස්ටන් පළමු ඉනිමේ කඩුලු 5 ක් දවා ගනිමින් මෙම තරගයේ කඩුලු 5 ක් දවා ගත් එකම ක්‍රීඩකයා බවට පත්විය. තරගය කොළඹ තර්ස්ටන් පිටියේ දී පැවැත්විනි. 

ලුම්බිණි විද්‍යාලය : 64 (20.3) පුන්තිල සමන්ත කුමාර 3/07, අවිශ්ක කෞශල්‍ය 3/21, බවන්ත ජයසිංහ 3/31. සහ 248 (63.4) ගිම්හාන තීක්ෂණ 58, රවිඳු රසංක 54, ශවින්ද ප්‍රභාෂණ 28, විහාස් තෙවුමික 3/79, දනජ සිල්වා 2/25, යොහාන් ලියනගේ 2/68. 

තර්ස්ටන් විද්‍යාලය : 130 (47.1) නදුන් ජයමාන්න 27, ජයවිහාන් මහවිතාන 23, ටාශික් නිර්මාල් 5/45, සවිඳු ප්‍රභාෂණ 3/13. සහ 183/3 (31.5) ජයවිහාන් මහවිතාන 84, විහඟ ජයමහ 49, රවිඳු රසංක 2/47. 

තර්ස්ටන් විද්‍යාලයට කඩුලු 7 ක ජයක් හිමි විය. 


සාන්ත සර්වේසස් විද්‍යාලය සහ රිච්මන්ඩ් විද්‍යාලය 

සාන්ත සර්වේසස් විද්‍යාල පන්දු යවන්නන් හමුවේ රිච්මන්ඩ් විද්‍යාලයට තරමක් පසුබෑමකට ලක්වීමට සිදුවූ මෙම තරගය සුහද කාණ්ඩයේ තරගයක් ලෙස හම්බන්තොට දී නිමා විය. 

කාසියේ වාසිය දිනා ගත් රිච්මන්ඩ් විද්‍යාලයේ ඇරයුමින් පළමුව පන්දුවට පහර දුන් සාන්ත සර්වේසස් විද්‍යාලය තරගයේ පළමු දිනය අවසන් වන විට කඩුලු 5 ක් දැවී ලකුණු 255 ක් රැස්කර ගනිමින් ඉතාමත් ප්‍රබල තැනක පසු විය. 

එහිදී ඔවුන්ගේ මුල්පෙළ පිතිකරුවෙකු වන චේතක දෙනුවන් අගනා පිතිකරණයක නිරත වෙමින් සිය ශතකය වෙත පා තැබුවේ ලකුණු 116 ක් රැස්කර ගනිමිනි. පුෂ්පිත ඩිල්ශාන් ලකුණු 43 යි. අවසානයේ ඔවුන් කඩුලු 9 ක් දැවී ලකුණු 283 ක් රැස්කර ගනිමින් සිය පළමු ඉනිම අත්හිටුවන ලදි. පන්දු යැවීමේ දී කවිඳු නිර්මාණ ලකුණු 68 ක් තුළ කඩුලු 5 ක් දවා ගනිමින් සාන්ත සර්වේසස් පිතිකරුවන් පාලනය කළේය. 

අනතුරුව සිය පළමු පිළිතුරු ඉනිම දියත් කළ රිච්මන්ඩ් විද්‍යාල මුල්පෙළ පිතිකරුවන් හට සාර්ථක අඩිතාලමක් සකස් කර දීමට නොහැකි වූ නිසාවෙන් ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 81 කට සීමා කිරීමට කේසර නුවන්ත ඇතුළු සාන්ත සර්වේසස් පන්දු යවන්නෝ සමත් වූහ. 

තරගයේ නියමිත කාලය අවසන් වන විට තරගයේ තෙවන ඉනිම ලෙස සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි රිච්මන්ඩ් විද්‍යාලය කඩුලු 2 ක් දැවී ලකුණු 16 ක් රැස්කර ගෙන සිටියහ. මෙම තරගයේ දී සාන්ත සර්වේසස් විද්‍යාලය වෙනුවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වූ කේසර නුවන්ත පිතිකරණයේ දී රැස්කර ගත් ලකුණු 43 ට අමතරව පන්දු යැවීමේ දී කඩුලු 7 ක් ද දවා ගන්නා ලදි. 

සාන්ත සර්වේසස් විද්‍යාලය : 283/9d (100.2) චේතක දෙනුවන් 116, පුෂ්පිත ඩිල්ශාන් 43, කේසර නුවන්ත 40, චිරාත් නෙත්තරු 32, කවිඳු නිර්මාණ 5/68. 

රිච්මන්ඩ් විද්‍යාලය : 81 (60.1) දිමුත් සඳරුවන් 27, කේසර නුවන්ත 6/32, මදුශාන් සිල්වා 2/09. සහ (F/O) 16/2 (11) කේසර නුවන්ත 1/08. 

තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. 

සාන්ත ජෝසප් විද්‍යාලයට දැවැන්ත ජයක්

අනාගතයේ ලොව දිනන දරුවන් පාසල් ක්‍රිකට් ක්‍රීඩාව තුළින් ඉදිරියට රැගෙන ඒම අරමුණු කරගනිමින්…

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය සහ මහානාම විද්‍යාලය 

දිනයේ ක්‍රියාත්මක වූ එකම කාණ්ඩ තරගය වූ මෙම තරගය C කාණ්ඩයේ තරගයකි. බ්ලූම්ෆීල්ඩ් පිටියේ පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් මහානාම විද්‍යාලය පළමුව පන්දු රැකීමට තීරණය කරන ලදි. මෙම තරගයේ පළමු ඉනිමේ ජය හිමිකර ගැනීමට මහානාම විද්‍යාලය සමත් විය. 

තරගයේ දෙවන දිනය ආරම්භ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි මහානාම විද්‍යාලය කඩුලු 5 ක් දැවී ලකුණු 189 ක් රැස්කර ගෙන සිටියේ සාන්ත අන්තෝනි විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 73 ක වාසියක් දිනාගෙනයි. අවසානයේ ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 274/8 ක් ලෙස දැක්වෙන විට ඉනිම අත්හිටුවීමට තීරණය කළේය. 

ලකුණු 158 ක දැවැන්ත පළමු ඉනිමේ අවාසියක් සමඟින් සිය දෙවන ඉනිම දියත් කිරීම සඳහා පිටියට පිවිසි සාන්ත අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් දිනුක් විශාල් සටන්කාමී පිතිකරණයක නිරත විය. ඔහු රැස්කර ගත් ලකුණු 141 ක නිසාවෙන් ඔවුනට ඉනිමක පරාජයෙන් ගැලවීමට අවස්ථාව උදාවූයේය. 

සාන්ත අන්තෝනි විද්‍යාල මුල් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ අවිශ්ක තරිඳු ලකුණු 26 ක් රැස්කර ගන්නා විට, පවන්ත වීරසිංහ කඩුලු 3 ක් දවා ගන්නා ලදි. අචින්ත සුපුන් කඩුලු 2 යි. 

සාන්ත අන්තෝනි විද්‍යාලය : 116 (42.2) අවිශ්ක තරිඳු 26, පවන්ත වීරසිංහ 3/22, දනුක නිර්මාණ 3/25, අචින්ත සුපුන් 2/23. සහ  216/6 (68.2) දිනුක් විශාල් 141, පවන්ත වීරසිංහ 4/71. 

මහානාම විද්‍යාලය : 274/8d (75.2) දිලීෂ තුඩුවගේ 81, පවන් රත්නායක 53, අචින්ත සුපුන් 41, සදිශාන් චමෝද්‍ය 28, පුල්ශාන් රොහාන් 26, අමිත සංදීප 3/33, රොමේෂ් සුරංග 2/59, කවීෂ දුලංජන 2/85. 

තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. (මහානාම විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<