මිල්කාට නිල වශයෙන් ඔලිම්පික් වරම්

195

Mathilda Karlssonට පසු 2021 ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගත් දෙවැනි ශ්‍රී ලාංකිකයා බවට පත්වීමට ජිම්නාස්ටික් ක්‍රීඩිකා මිල්කා ගෙහානි සමත්ව තිබෙනවා.

මින් පෙර සිටම ඇයට ඔලිම්පික් වරම් හිමි වීමට ඉහළ සම්භාවිතාවක් ඇති බවට අනුමාන කර තිබුනත්, අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් එය නිල වශයෙන් දැනුම් දී නොතිබූ නමුත් අද (28) දිනයේ දී ඇය ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලැබූ බව තහවුරු කරමින් නිවේදනයක් ලැබුණු බව මිල්කා ප්‍රකාශ කර සිටියා.

මෙම මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු ජ්‍යෙෂ්ඨ ජිම්නාස්ටික් ශූරතාව කොරෝනා වසංගතය නිසා අවලංගු කිරීමට සිදුවීමෙන් පසු කලාපීය ඔලිම්පික් සුදුසුකම් ලබා ගත් ක්‍රීඩිකාවන් තේරීම සඳහා ඒ ඒ ක්‍රීඩිකාවක් ලෝක ශූරතාවයේ දැක්වූ දස්කම් දෙස අවධානය යොමු කිරීමට ඔලිම්පික් කමිටුවට සිදුව තිබුණා.

එම ලෝක ශූරතාවයේ ප්‍රතිඵලවලට අනුව මිල්කා ඉන්දීය ක්‍රීඩිකා Pranthi Nayak අභිබවමින් ආසියානු කලාපයේ පළමු තැන පසු වූ නිසාවෙන් ඇයට ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමට හැකිව තිබෙනවා.

පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ මිල්කා පසුව පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වූ අතර එයින් කෙටි කලකට පසු ඇය කොළඹ Methodist විද්‍යාලය වෙත ඇතුළත් වෙනවා.

තවත් ක්‍රීඩා පුවත්:

එමෙන්ම කුඩා කල සිටම ජිම්නාස්ටික් ඉසව්වේ සහජ දස්කම් දැක්වූ මිල්කා රංජන් තරංග මහතාගේ මඟ පෙන්වීම යටතේ පුහුණුවීම් කටයුතු අරම්භ කර වයස අවුරුදු 08 දී ජාතික කනිෂ්ඨ ශූරිය වීමට ද සමත් වුනා.

2014 වසරේ පැවති කනිෂ්ඨ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා ද සහභාගී වූ මිල්කා තරගාවලිය නිමා කළේ හයවැන්නා බවට පත්වෙමින්.

2017 සහ 2018 වසරවල ජාතික ශූරිය වීමට සමත් වූ ඇය මෙරට නියෝජනය කරමින් අන්තර්ජාතික තරගාවලි රැසකට ද සහභාගී වී තිබෙනවා. 2018 වසරේ ඉන්දුනීසියාවේ පැවති ආසියානු ක්‍රීඩා උළෙලේ දී අටවැන්නා ලෙස ඇය තරගය අවසන් කළේ මෙරට ක්‍රීඩිකාවක් වාර්තා කළ ඉහළම දස්කම වාර්තා කරමින්.

එමෙන්ම 2018 වසරේ පැවති යොවුන් ඔලිම්පික් උළෙලට සහභාගී වූ ඇය තරගාවලිය අවසන් කළේ කලාපීය වාර්තාවක් ද පිහිටුවමින්.

ජූලි 23 වැනිදා ජපානයේ දී ආරම්භ යීමට නියමිත 32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙලේ දී සිය උපරිම දස්කම් දක්වමින් මෙරටට ඔලිම්පික් පදක්කමක් ගෙන ඒමට මිල්කාට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි ThePapare.com අප ප්‍රාර්ථනා කරන්නෙමු.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<