“ආසියානු කුසලානය ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගයක් නොවේ”

923

සිම්බාබ්වේ සමඟ පැවැත්වෙන එක්දින තරග 3ක තරගාවලියෙන් පසු ඉන්දියාව ආසියානු කුසලානය සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සංචාරය කිරීමට බලාපොරොත්තුවෙන් පසුවනවා.

මෙවර ආසියානු කුසලානය පැවැත්වෙන්නේ වසර 4කට පසු වීම ද විශේෂත්වයක් වන අතර ඒ අනුව රෝහිත් ශර්මාගේ නායකත්වය යටතේ ඔවුන් තරගාවලියේ සමාරම්භක තරගය ලෙස සිය පරම ප්‍රතිවාදීන් වන පාකිස්තානය හමුවේ ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී තරග වැදීමට නියමිතයි.

මෙම සුවිශේෂී ක්‍රිකට් ගැටුම පිළිබඳව ඉන්දීය ක්‍රිකට් කවුන්සිලයේ සභාපති හිටපු ඉන්දීය ක්‍රිකට් නායක සෞරව් ගංගුලි පසුගිය දා අදහස් දක්වා තිබුණා.

ඉන්දියාව මෙවර පාකිස්තානය හමුවේ තරග වදින්නේ 2021 විස්සයි විස්ස ලෝක කුසලාන සමාරම්භක තරගයේ දී මෙම ක්‍රීඩාංගණයේ දී ම කඩුලු 10ක දැවැන්ත පරාජයකට ලක්වීමෙන් පසුවයි.

එය ලෝක කුසලාන තරගාවලියක දී ඉන්දියාව ඔවුන්ගේ ප්‍රබලතම ප්‍රතිවාදියා හමුවේ පරාජය වූ ප්‍රථම අවස්ථාව වීම ද විශේෂත්වයක්.

එයට වසරකටත් අඩු කාලයකට පසුව සහ ඔස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන මීළඟ විස්සයි විස්ස ලෝක කුසලානයේ ඔවුනොවුන්ගේ හමුවීමට මාස දෙකකට පෙර, වත්මන් ආසියානු ශූරයන් වන බාබර් අසාම්ගේ නායකත්වයෙන් යුත් පාකිස්තානයට ප්‍රතිප්‍රහාර දියත් කිරීමේ අපේක්ෂාවෙන් තරග වැදීමට නියමිතයි.

මෙම සුවිශේෂී තරගය සහ ඒ වටා ඇති වුණු සංවාදවලට ප්‍රතිචාර දක්වමින් ගංගුලි කියා සිටියේ, පාකිස්තාන තරගය තවත් සාමාන්‍ය තරගයක් බවත්, තවමත් ඔවුන්ගේ මූලික අරමුණ ආසියානු කුසලානය සිය මව්රටට රැගෙන එම බවත්ය.

මම එය දිහා බලන්නේ ආසියානු කුසලානය විදිහට. ඉන්දියා-පකිස්තාන තරගාවලියක් විදිහට මට එය පෙනෙන්නේ නෑ. මගේ ක්‍රීඩා දිවිය තුලත් ඉන්දියා-පාකිස්තාන තරගය මට තවත් එක තරගයක් පමණයි. මම සෑමවිටම උත්සාහ කළේ තරගාවලිය ජයග්‍රහණය කිරීමට. ඉන්දියාව දක්ෂ  කණ්ඩායමක්. ඔවුන්ගේ මෑත කාලීන ක්‍රීඩා විලාශය අනුව මෙම ආසියානු කුසලානයේ දී ද ඔවුන්ගේ දක්ෂතා පිළිබඳව බලාපොරොත්තු තබා ගන්න පුළුවන්,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

මීට පෙර හත් වතාවක් ආසියානු ශූරයින් බවට පත්වූ ඉන්දියාව 14 වතාවක් පාකිස්තානය හමුවේ තරග වැදී ඇති අතර එයින් තරග 8ක ජයග්‍රහණය තමන් සතු කර ගනිමින් තරග 5ක් පරාජය වීමට ඔවුන්ට සිදු වුනා.

එම ජයග්‍රහණ අතරින් තරග 5ක්ම පැවැත්වුණේ 2010න් පසුව වීම ද විශේෂත්වයක් වන අතර 2014 මිර්පුර් තරගයේ දී අවසාන වතාවට ඔවුන් පාකිස්තානය හමුවේ ආසියානු කුසලානයක දී පරාජයට පත්වුනා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<