මුෂ්ෆික් සහ සුපුන්ගේ ගෝල ද්විත්වයෙන් ජය සබරගමුවට සහ දකුණට

නිදහස් කුසලාන පාපන්දු ශූරතාවය 2022

141

නිදහස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරන නිදහස් කුසලාන – සිලෝන් පළාත් ලීගයේ අද (07) පැවති තරග දෙකෙන් ජයග්‍රහණ වාර්තා කරන්නට සබරගමුව සහ දකුණු පළාත් ක්‍රීඩකයින් සමත් වුනා.

සබරගමුව සහ බස්නාහිර පළාත් අතර තරගය

බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ දී සවස 3ට පමණ ආරම්භ වූ සබරගමුව සහ බස්නාහිර අතර තරගය ගෝල 2-1ක් ලෙස ජය ගන්නට සමත් වුනේ සබරගමුව ක්‍රීඩකයින් විසිනුයි.

තරගය ආරම්භ වී අඩහෝරාවක් පමණ ගත වන තෙක් ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නට දෙපිලේම ක්‍රීඩකයින් අසමත් වූ අතර 33 වැනි මිනිත්තුවේ දී ගෝල නිහැඬියාව බිඳ දමමින් පළමු ගෝලය වාර්තා කරන්නට සබරගමුව ක්‍රීඩක මොහොමඩ් මුෂ්ෆික් සමත් වුනා.

එම ගෝලයත් සමඟින් ගෝල 1-0ක් ලෙස ප්‍රථම අර්ධය නිමා වූ අතර දෙවැනි අර්ධයේ දී සබරගමුව ලකුණු පුවරුව දෙගුණ කරන්නට මුෂ්ෆික් සමත් වුනේ 68 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කරමිනුයි.

කෙසේ නමුත් තරගයේ නියමිත කාලය අවසන් වී අතිරේක කාලය තුල ආදේශ ක්‍රීඩකයෙකු ලෙස පිටියට පිවිසි නවීන් ජූඩ් බස්නාහිර ක්‍රීඩකයින් තරමක් හෝ සතුටට පත් කරමින් ගෝලයක් වාර්තා කරන්නට සමත් වුනා. කෙසේ නමුත් එම ගෝලය තරගයේ තීරණය වෙනස් කරන්නට සමත් වුනේ නැහැ.

අවසන් ලකුණු තත්වය: සබරගමුව පළාත 2 – 1 බස්නාහිර පළාත

ගෝල ලාභීන්:

  • සබරගමුව: මොහොමඩ් මුෂ්ෆික් (33’, 68’)
  • බස්නාහිර: නවීන් ජූඩ් (90+4)

දකුණ සහ වයඹ පළාත් අතර තරගය

රාත්‍රි 7ට පමණ වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ දී ම ආරම්භ වූ මෙම තරගය ද ගෝල 2-1ක් ලෙස නිමාව දුටුවේ දකුණේ ක්‍රීඩකයින් ජයග්‍රාහකයින් කරමිනුයි.

තරගය ආරම්භ වී පළමු මිනිත්තු 5 ඇතුළත ගෝලයක් වාර්තා කරමින් පීඩනය ප්‍රතිවාදීන් දෙසට යොමු කරන්නට දකුණේ ක්‍රීඩකයින් සමත් වුනා. 5 වැනි මිනිත්තුවේ දී වාර්තා වූ ගෝලයට හිමිකම් කීවේ දකුණු පළාත් ක්‍රීඩක සුපුන් ධනංජය විසිනුයි.

එම ගෝලයෙන් අනතුරුව පළමු අර්ධය අවසන් වන තෙක් කිසිදු ගෝලයක් වාර්තා කරන්නට දෙපිලේම ක්‍රීඩකයින් අපොහොසත් වුනා.

ගෝල 1-0ක් ලෙස නිමා වූ ප්‍රථම අර්ධයෙන් පසුව දෙවැනි අර්ධය ආරම්භ වී මිනිත්තු 5ක් යෑමට මත්තෙන් තවත් ගෝලයක් සිය ලකුණු පුවරුවට එකතු කරන්නට සුපුන් සමත් වුනා. ඒ 49 වැනි මිනිත්තුවේ දීයි.

වයඹ ක්‍රීඩකයින් තරගයේ ජයග්‍රහණය සඳහා ගෝල දඩයමක නිරත වූ අතර ඔවුන්ගේ පළමු ගෝල වාර්තා වුනේ 86 වැනි මිනිත්තුවේ දී. තරගය අවසන් වන්නට සුළු මොහොතකට පෙර වාර්තා වූ එම ගෝලයට හිමිකම් කීවේ වයඹ නායක චරිත රත්නායකයි.

කෙසේ නමුත් ඉන් අනතුරුව තවත් ගෝලයක් කිසිදු කණ්ඩායමකින් වාර්තා නොවූ අතර ගෝල 2-1ක් ලෙස තරගයේ ජය දකුණු පළාත් සතු වුනා.

අවසන් ලකුණු තත්වය: දකුණු පළාත් 2 – 1 වයඹ පළාත

ගෝල ලාභීන්;

  • දකුණ: සුපුන් ධනංජය (5’, 49’)
  • වයඹ: චරිත රත්නායක (86’)

තරගාවලියේ තවත් තරග රැසක් පහත පරිදි පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<