Home Sinhala අමතක නොවෙනා මතක මැද යෝකර් රජු එක්දින පිටියට සමුදෙයි!

අමතක නොවෙනා මතක මැද යෝකර් රජු එක්දින පිටියට සමුදෙයි!

2316

ආර්. ප්‍රේමදාස පිටියට රැස්වූ දස දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයින්ගේ ඇසට කඳුළක් එක් කරමින් ශ්‍රී ලංකාව බිහි කළ විශිෂ්ටතම වේගපන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග අද (26) එක්දින ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන්නේය. ඒ සිහිනයකටත් වඩා සොඳුරු දස්කම් ගොන්නක් අවසානයේ ලක්මවට තවත් එක්දින තරග ජයක් ද උරුම කර දෙමිනි. 

ඒ අනුව අදින් පසු කැරළි ගැසුණු කොණ්ඩ විලාසිතාවෙන් ද, අසාමාන්‍ය පන්දු යැවීමේ ඉරියව්වෙන් ද, අතිශයින්ම භයානක යෝකර් පන්දුවෙන් ද, මුළු මහත් ලෝකයක් හැඳිනගත් මෙම සුපිරි ක්‍රීඩකයා එක්දින තරගයකදී දැක ගැනීමට අපට වරම් ලැබෙන්නේ නැත.

මාලිංගගේ අවසන් ජාත්‍යන්තර එක්දින තරගයට පෙර

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පසුව ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම…

අද තරගයේ කාසියේ වාසිය දිනා ගත් දිමුත් කරුණාරත්න තීරණය කළේ ආර්. ප්‍රේමදාස පිටියේ දී මුලින් පිත්ත අතට ගැනීමටයි. ඒ මාලිංගගේ එක්දින වේග පන්දුවේ අවසන් පරිච්ඡේදය අද රාත්‍රියේ දී ලියා තැබීමට කල්වේලා ලබා දෙමිනි. එහිදී ශ්‍රී ලංකා පිළ ලෝක කුසලානයේ ක්‍රීඩා කළ කණ්ඩායමේ එක් වෙනසක් පමණක් සිදුකර තිබුනේ ඉසුරු උදාන වෙනුවට ලහිරු කුමාර කණ්ඩායමට ඇතුළත් කරමිනි. බංග්ලාදේශ පිළ ද මෙම තරගාවලියට පිවිසියේ ශකීබ් අල් හසන් සහ මශ්රාෆි මොර්ටාසා රහිතවයි. 

අද ශ්‍රී ලංකා ඉනිම ආරම්භයේදීම කළමනාකාරීත්වයේ අරුම පුදුම තීරණයක් දැක ගන්නට ලැබුනේ ලෝක කුසලානයේ අංක 3 ස්ථානයේ හොඳින්ම සාර්ථක වූ අවිශ්ක ප්‍රනාන්දුව ආරම්භක පිතිකරණ ස්ථානයට ඇද දමා තිබීම හේතුවෙනි. ශ්‍රී ලංකා පිළ කලක පටන් සිදු කරන පරිදි කිසිදු සාධාරණ හේතුවකින් තොරව ක්‍රීඩකයින්ගේ පිතිකරණ ස්ථාන වෙනස් කිරීමේ ශාපයට අද අවිශ්ක ප්‍රනාන්දු බිලි වූයේ ලකුණු 7දී කඩුල්ල අහිමි කර ගනිමිනි.

කෙසේවෙතත් එතැන් පටන් ශ්‍රී ලංකා පිළේ නිත්‍ය ආරම්භක පිතිකරුවන් දෙපළ ලෙස කටයුතු කළ යුතුව තිබූ දිමුත් කරුණාරත්න සහ කුසල් පෙරේරා පිටියේ එක්වී ලකුණු 97ක සාර්ථක සබඳතාවයක් ගොඩ නැගූහ. එහි නිමාව සනිටුහන් වූයේ මෙහෙදි හසන් 15 වැනි පන්දුවාරය පුරාවට ගොඩ නැගූ පීඩනය අවසානයේ දිමුත් තම ඉවසීම බිඳගෙන විශාල පහරක් කරා යාමට උත්සාහ කළ බැවිනි. දැවී යනවිට ඔහු හතරේ පහර 4ක් සමඟින් ලකුණු 36ක් ලබා සිටියේය.

කවුරුත් නොදන්නා මාලිංග කවුරුත් දන්නා මාලිංග වූ හැටි ආදරණීය පුහුණුකරුගේ චවනයෙන්

මීට අවුරුදු විස්සකට පෙර එන්. සී. සී පුහුණු දැල තුළ දී තම පන්දු යැවීමේ සීමාව වෙත පියමන් කරන අප…

නමුත් පිටියේ ඉතිරි වූ කුසල් පෙරේරා ලෝක කුසලානයේ තමා අත්පත් කරගත් රිද්මය අඛණ්ඩව රඳවා ගත්තේ කුසල් මෙන්ඩිස් සමඟින්ද ශතක සබඳතාවයක් ගොඩ නගමිනි. ඒ අතරතුරේ ඔහු තම පස්වැනි එක්දින ශතකය ලෙස ලකුණු 111ක් ලබා ගත්තේ මාලිංග වෙනුවෙන් තම යුතුකම අකුරටම ඉටු කරමිනි. පන්දු 99කදී හතරේ පහර 17ක් සහ එක් හයේ පහරක් එල්ල කිරීමෙන් අනතුරුව ඔහු දැවී ගියේ බොහෝ තරග වලදී දිගු වේලාවක් පිතිකරණයේ යෙදීමේදී ඔහු පෙන්නුම් කරන වෙහෙසකාරී ගතිය මතු කරමිනි.

කුසල් දැවී යන විට ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 32.4කදී ලකුණු 207ට කඩුලු 3ක් ලෙස දිස්වූවත් පසුපෙළ පිතිකරුවන් තම රාජකාරිය පැහැර හැරීම නිසා ශ්‍රී ලංකාවට අද සිතූ තරම් විශාල ලකුණු පුවරුවක් ගොඩ නැගීමට නම් හැකිවූයේ නැත. මෙම සංසිද්ධිය දිගින් දිගටම දැකීමට ප්‍රේක්ෂකයින්ට සිදුව තිබෙන්නේ ලකුණු අතර නොමැති, විශාල පහරවල් කර යා නොහැකි දුර්වල මැදපෙළ පිතිකරුවන් ගැන ශ්‍රී ලංකා තේරීම් කමිටුව අන්ධ විශ්වාසයක් තබා ගැනීම නිසා බව මේ වනවිට ඉතාමත් පැහැදිලිය.

Photos: Sri Lanka Vs. Bangladesh | 1st ODI

අද ලකුණු 28ක් ලබා සිටියදී කුසල් මෙන්ඩිස් විසින් මහමදුල්ලා අතට උඩපන්දුවක් ලබාදුන්නද ඔහු එය බිම අත හැරීම නිසා වාසනාවන්ත වුවද කඩුල්ල බේරා ගැනීමට ලැබුණු දෙවැනි අවස්ථාවක් මෙන්ඩිස් අද ප්‍රතික්ෂේප කළේය. ඒ තම පිත්තේ යන්තමින් දැවටී කඩුලු රකින්නා වෙත ඇදී ගිය පන්දුව ගැන බංග්ලාදේශ කණ්ඩායම හෝ දැවී යාමක් ඉල්ලා නොසිටි අවස්ථාවේ තමාම ක්‍රීඩාගාරයට හැරී යාමට තීරණය කරමිනි. ඒ වනවිට ඔහු ලකුණු 43ක් රැස් කරගෙන සිටියේය.

දිගින් දිගටම දක්ෂතා අතරට පැමිණීමට අපොහොසත්ව සිටින තිසර පෙරේරා අදත් දැවී ගියේ ලකුණු 2කටයි. මීට අමතරව ඇන්ජෙලෝ මැතිව්ස් රැස්කළ ලකුණු 48 නිසා ශ්‍රී ලංකාවට ලකුණු 314ක් කරා හෝ යාමට අවස්ථාව හිමි වීම සැනසිලිදායක කරුණක් විය. ඔහුගේ දැවී යාමෙන් පසු පිටියට පිවිසි ලසිත් මාලිංගව ප්‍රේක්ෂකයින් පිළි ගත්තේ තම ජංගම දුරකථන වල විදුලි ආලෝකයන්ගෙන් සමස්ථ ක්‍රීඩාංගණයම ඒකාලෝක කරමිනි. අති දැවැන්ත ප්‍රේක්ෂක ඔල්වරසන් මැද මාලිංග තම අවසන් එක්දින ඉනිම නිමා කළේ පන්දු 6කදී නොදැවී ලකුණු 6ක් ලබා ගනිමිනි.

කුලසේකර විශ්‍රාම යන්න තීරණය කරයි; ක්‍රීඩා ඇමතිගෙන් විශේෂ තරගයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට දායාද වූ තවත් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන නුවන් කුලසේකර සියලුම අංශවල…

ඉන් අඩ හෝරාවකට පසුව නැවතත් එක්දින තරගයක අවසන් වතාවට සුදු පන්දුව සුරත දරාගෙන පෙනී සිටි මාලිංග බංග්ලාදේශ කඩුලු දඩයමේ ආරම්භකයා බවටද පත්විය. ඒ අත්දැකීම් වලින් පරිපූර්ණ වමත් පිතිකරු තමීම් ඉක්බාල්ව තණතිල්ල මැද දණ ගස්වමිනි. තමීම්ගේ පාදයත් පිත්තත් අතරින් මාලිංග යැවූ මාරක යෝකර් පන්දුව කඩුල්ල බිඳ හෙලද්දී ඔහු කිසිදු ලකුණක් ලබා සිටියේ නැත. දෙවැනි කඩුල්ල ලෙස මොහොමඩ් මිතුන් පිටියෙන් ඉවත් කළේ මාලිංගගේ සහයක පන්දු යවන්නා ලෙස කටයුතු කළ නුවන් ප්‍රදීප් විසිනි.

නැවතත් ක්‍රියාත්මක වූ මාලිංග ලකුණු 15ක් ලබා සිටි සෞම්‍ය සර්කාර්ව දවා ගත්තේ තවත් යෝකර් පන්දුවක් මගිනි. වැදගත්ම කරුණ වන්නේ පිතිකරුවන් ඔහු යෝකර් පන්දුවක් එවනු ඇතැයි කලින් උපකල්පනය කර සිටියද ඉන් ගැලවීමට නොහැකි අන්දමින් ඔහු පන්දුව යොමු කරන අපූර්වත්වයයි. එතකින් නොනැවතුනු මාලිංග යොවුන් ක්‍රීඩක ලහිරු කුමාර ලඟට පැමිණ දුන් උපදෙසකින් අනතුරුව ඔහු මහමදුල්ලාගේ කඩුල්ල දවා ගැනීමද ප්‍රේක්ෂක අවධානයට ලක්විය. කඩුල්ල දවාගත් වහාම ලහිරු කුමාර මාලිංග ලඟ නතර වූයේ ඔහුට ස්තූතිය පළ කරමිනි.

ඉන් අනතුරුව මුෂ්ෆිකර් රහීම් සහ සබ්බීර් රෙහ්මාන් අතරේ ශතක සබඳතාවයක් ගොඩ නැගීම නිසා ශ්‍රී ලංකා ජයග්‍රහණය තරමක් පමා වුවද ධනංජය ද සිල්වා මෙම සබඳතාවය බිඳ දැමීමත් සමඟම තරගය නැවතත් ශ්‍රී ලංකාව දෙසට විවෘත විය. සබ්බීර් දැවී යනවිට පන්දු 56කින් ලකුණු 60ක් රැස් කරගෙන සිටියේය. ඒ හැරෙන්නට අද අර්ධ ශතකයක් රැස්කළ අනෙක් බංග්ලාදේශ පිතිකරුවා බවට පත්වූ මුෂ්ෆිකර් රහීම් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 67ක් ලබා ගත්තේය.

කුලේ – මාලි ක්‍රිකට් අඹරෙන් බැස යන්නට මත්තෙන්

සබඳතාවයන් යනු ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය ඉතාමත් වැදගත් ගුණාංගයකි. පිටියේ විනිසුරුවරුන් දෙදෙනා..

ඒ අනුව බංග්ලාදේශ පිළේ කඩුලු 9ක් දැවී යනවිට නුවන් ප්‍රදීප් කඩුලු 3ක් ද, ධනංජය කඩුලු 2ක් ද, ලහිරු කුමාර එක් කඩුල්ලක් ද බිඳ දමා තිබුණි. ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ගේ බලාපොරොත්තුව වූයේ අද එක්දින පිටියෙන් සමුගන්නා ලසිත් මාලිංගටම අවසන් කඩුල්ල දවා ගැනීමට ලැබේවා යන්නයි. තම ආදරණීය ප්‍රේක්ෂක බලාපොරොත්තු එලෙසින්ම ඉටුකළ මාලිංග තම දසවැනි පන්දුවාරයේ සිව්වැනි පන්දුවට මුස්ටාෆිසූර් රහ්මාන් දවා ගන්නේ තිසර පෙරේරා තමන් වෙත ලැබුණු උඩපන්දුව සුරැකිව රැක ගැනීමත් සමඟයි.

ඒ අනුව බංග්ලාදේශ ඉනිම ලකුණු 223කට නිමාවූයේ ශ්‍රී ලංකාවට සහ ලසිත් මාලිංගට ලකුණු 91ක අති විශිෂ්ට ජයක් හිමිකර දෙමිනි. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වංශ කතාවේ අවසන් පුරාවෘත්තය ලෙස සැලකිය හැකි මෙම විශිෂ්ටතමයාට සමු දීමට අද ජනාධිපති, විපක්ෂ නායක, ක්‍රීඩා ඇමති ඇතුළු මැති ඇමතිවරුන් ද, මුත්තයියා මුරලිදරන්, රංගන හේරත්, අජන්ත මෙන්ඩිස්, නුවන් කුලසේකර, මිලින්ද සිරිවර්ධන වැනි ක්‍රීඩකයින් විශාල පිරිසක් ද ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට රැස්වී සිටින අයුරුද දැක ගන්නට ලැබුණි.

ඒ අනුව ඕනෑම ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ලැබෙන ඉහළම මට්ටමේ සමුගැනීමක් අද රත්ගමින් බිහිවී ක්‍රිකට් ලොව දික් විජය කළ මෙම සොඳුරු හිතුවක්කාරයාට හිමිවිය. එහි මිහිර තවත් දෙගුණ තෙගුණ වූයේ එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ ඔහු යැවූ අවසන් පන්දුවට ලැබූ කඩුල්ලත් සමඟින් ඔහු තරග රටා තුනේම වැඩිම කඩුලු බිඳ හෙලූ පන්දු යවන්නන් අතර 9 වෙනි ස්ථානයට පත්වීමට ද සමත් වූ බැවිනි. කෙසේවෙතත් මෙම ඓතිහාසික දිනය අවසානයේ මදකට නැවතී සිතා බලන විට සිතට එන එකම කණගාටුදායක කරුණ වන්නේ අනිද්දා ඇරඹෙන දෙවැනි එක්දින තරගයේ සිට පන්දුවට වැඳ, පන්දුව සිප, මාලිංග එවන භයානක යෝකර් පන්දු නැවත දකින්නට නොලැබීමයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


Sri Lanka
314/8 (50)

Bangladesh
223/10 (41.4)

Batsmen R B 4s 6s SR
Avishka Fernando c Soumya Sarkar b Shaiful Islam 7 13 0 0 53.85
Dimuth Karunaratne c Mustafizur Rahman b Mehidy Hasan Miraz 36 37 4 0 97.30
Kusal Perera c Mustafizur Rahman b Soumya Sarkar 111 99 17 1 112.12
Kusal Mendis c Mushfiqur Rahim b Rubel Hossain 43 49 4 0 87.76
Angelo Mathews c Sabbir Rahaman b Mustafizur Rahman 48 52 3 0 92.31
Lahiru Thirimanne c Soumya Sarkar b Mustafizur Rahman 25 30 1 0 83.33
Thisara Perera c Soumya Sarkar b Shaiful Islam 2 3 0 0 66.67
Dhananjaya de Silva c Sabbir Rahaman b Shaiful Islam 18 12 3 0 150.00
Lasith Malinga not out 6 6 0 0 100.00
Nuwan Pradeep not out 0 0 0 0 0.00


Extras 18 (b 0 , lb 1 , nb 1, w 16, pen 0)
Total 314/8 (50 Overs, RR: 6.28)
Fall of Wickets 1-10 (2.5) Avishka Fernando, 2-107 (14.6) Dimuth Karunaratne, 3-207 (32.4) Kusal Perera, 4-212 (33.6) Kusal Mendis, 5-272 (44.3) Lahiru Thirimanne, 6-276 (45.2) Thisara Perera, 7-302 (48.3) Angelo Mathews, 8-309 (49.2) Dhananjaya de Silva,

Bowling O M R W Econ
Shaiful Islam 9 0 62 3 6.89
Mehidy Hasan Miraz 9 0 56 1 6.22
Rubel Hossain 9 0 54 1 6.00
Mosaddek Hossain 7 0 45 0 6.43
Mustafizur Rahman 10 0 75 2 7.50
Soumya Sarkar 5 0 17 1 3.40
Mahmudullah 1 0 4 0 4.00


Batsmen R B 4s 6s SR
Tamim Iqbal b Lasith Malinga 0 5 0 0 0.00
Soumya Sarkar b Lasith Malinga 15 22 1 0 68.18
Mohammad Mithun lbw b Nuwan Pradeep 10 21 1 0 47.62
Mushfiqur Rahim c Kusal Mendis b Nuwan Pradeep 67 86 5 0 77.91
Mahmudullah c Nuwan Thushara b Lahiru Kumara 3 10 0 0 30.00
Sabbir Rahaman c Avishka Fernando b Dhananjaya de Silva 60 56 7 0 107.14
Mosaddek Hossain run out (Kusal Mendis) 12 16 1 0 75.00
Mehidy Hasan Miraz c Kusal Mendis b Dhananjaya de Silva 2 5 0 0 40.00
Shaiful Islam b Nuwan Pradeep 2 9 0 0 22.22
Rubel Hossain not out 6 6 1 0 100.00
Mustafizur Rahman c Thisara Perera b Lasith Malinga 18 14 3 0 128.57


Extras 28 (b 0 , lb 4 , nb 0, w 24, pen 0)
Total 223/10 (41.4 Overs, RR: 5.35)
Fall of Wickets 1-0 (0.5) Tamim Iqbal, 2-30 (7.3) Mohammad Mithun, 3-30 (8.3) Soumya Sarkar, 4-39 (11.5) Mahmudullah, 5-150 (28.2) Sabbir Rahaman, 6-182 (33.2) Mosaddek Hossain, 7-187 (34.6) Mehidy Hasan Miraz, 8-199 (38.1) Mushfiqur Rahim, 9-200 (38.3) Shaiful Islam, 10-223 (41.4) Mustafizur Rahman,

Bowling O M R W Econ
Lasith Malinga 9.4 2 38 3 4.04
Nuwan Pradeep 9 1 51 3 5.67
Thisara Perera 6 0 36 0 6.00
Lahiru Kumara 7 0 45 1 6.43
Dhananjaya de Silva 10 0 49 2 4.90