ගුටිබැට රතු කාඩ් මැද තීරණය වූ ජයග්‍රහණය

නිදහස් කුසලාන පාපන්දු ශූරතාවය 2022

396

මේ දිනවල ක්‍රියාත්මක අන්තර් පළාත් පාපන්දු තරගාවලියක් වන නිදහස් කුසලාන – සිලෝන් පළාත් ලීගයේ අද (02) පැවති තරගවලින් ජයග්‍රහණය වාර්තා කරන්නට මධ්‍යම සහ උතුරු පළාත් ක්‍රීඩකයින් සමත් වුනා.

එහි දී ඌව සහ දකුණු පළාත් කණ්ඩායම් ජයග්‍රාහකයින් හමුවේ පරාජයට පත් වුනා.

දකුණ සහ උතුරු පළාත් අතර තරගය

මඩකලපුව වෙබර් ක්‍රීඩාංගණයේ දී සවස 3:30ට පමණ ආරම්භ වූ මෙම තරගය ගෝල 3-1ක් ලෙස නිමා වුනේ උතුරු පළාත් ක්‍රීඩකයින් ජයග්‍රහණය වාර්තා කරමින්.

තරගය ආරම්භ වී 7 වැනි මිනිත්තුවේ දී ම ලකුණු පුවරු ක්‍රියාත්මක කරන්නට දකුණු පළාත් ක්‍රීඩක සුපුන් ධනංජය සමත් වුනා.

එම ගෝලයට පිළිතුරු සපයන්නට උතුරු ක්‍රීඩකයින් සමත් වුනේ 32 වැනි මිනිත්තුවේ දීයි. එම්. නිදර්සන් විසින් වාර්තා කළ එම ගෝලයත් සමඟින් පළමු අර්ධය නිමාව දුටුවේ ගෝල1-1ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්වයේ පසුවෙමින්.

කෙසේ නමුත් දෙවැනි අර්ධයේ දී යලිත් වරක් ක්‍රියාත්මක වූ නිදර්සන් දකුණේ ක්‍රීඩකයින්ට සුපිරි අභියෝගයක් එල්ල කරමින් Hattrick අවස්ථාවක් සඳහා හිමිකම් කියන්නට සමත් වුනේ 53 වැනි සහ 71 වැනි මිනිත්තුවල දී තවත් ගෝල 2ක් වාර්තා කරමිනුයි.

කෙසේ නමුත් දෙවැනි අර්ධයේ දී තවත් ගෝලයක් වාර්තා කරන්නට දකුණේ ක්‍රීඩකයින් අසමත් වූ අතර ගෝල 3-1ක් ලෙස ජයග්‍රහණය හිමි වුනේ උතුරේ ක්‍රීඩකයින්ටයි.

අවසන් ලකුණු තත්වය: දකුණු පළාත 1 – 3 උතුරු පළාත

ගෝල ලාභීන්:

  • දකුණ: සුපුන් ධනංජය (7’)
  • උතුර: එම්. නිදර්සන් (32’, 53’ & 71’)

ඌව සහ මධ්‍යම පළාත් අතර තරගය

ගැටුම් මැද උණුසුම් වූ මෙම තරගයෙන් ගෝල 2-1ක ජයක් ලබා ගන්නට මධ්‍යම පළාත් ක්‍රීඩකයින් සමත් වුනා.

ඉතාමත් තියුණු තරගයක් වූ මෙම තරගයේ පළමු අර්ධය නිමා වුනේ එක් කණ්ඩායමක් හෝ ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වෙමිනුයි.

දෙවැනි අර්ධය ආරම්භ වී 63 වැනි මිනිත්තුවේ දී Firaz Zaheer විසින් ගෝලයක් සාර්ථක කර ගනිමින් ඌව ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නට සමත් වුනා. කෙසේ නමුත් ඔහු එම

ගෝලය වාර්තා කළ මිනිත්තුවේ දී ම ප්‍රතිවාදී ක්‍රීඩක අයි. දේශප්‍රියගේ ඇගේ වැදුණු අතර ඒ සමඟම පිටිය තුල උණුසුම් වතාවරණයක් හටගත්තා.

ඒ සමඟම ඔහුට රතු කාඩ්පතක් නිකුත් කරන්නට විනිසුරු කටයුතු කළ නමුත් තරගය නැවතත් ආරම්භ වුනේ 90 වැනි මිනිත්තුවෙන් පසුව අතිරේක කාලයක් දක්වා තරගය ඇදී යමිනුයි.

අතිරේක කාලයේ මිනිත්තු 10ක් ගත වෙද්දී M. I. M. මිහිරාන් විසින් වාර්තා කළ ගෝලයත් සමඟින් තරගයේ ලකුණු මට්ටම සම වූ අතර ඉන්පසුව තරගයේ ජයග්‍රාහී ගෝල වාර්තා කරන්නට A. K. M. Shimak සමත් වුනා. ඒ 90+28 මිනිත්තුවේ දීයි.

මෙතෙක් තරගාවලිය තුල වාර්තා වූ වැඩිම රතු කාඩ්පත් ප්‍රමාණය මෙම තරගයේ දී වාර්තා වූ අතර ඒ අනුව ඌව ක්‍රීඩක A. M. A. Afran (90+1), කවිඳු රවිහංස (90+1), Firas Zaheer (63), එරන්ද නන්දන (90+1) සහ මධ්‍යම පළාත් ක්‍රීඩක S. K. Umair (90+1), M. H. H. Mohamed (90+1) සහ කණ්ඩායම් කළමනාකරු ඩිල්ෂාඩ් හට රතු කාඩ්පත් හිමි වුනා.

කෙසේ නමුත් අවසානයේ තරගය අවසන් වුනේ ගෝල 2-1ක් ලෙස මධ්‍යම පළාත් ක්‍රීඩකයින් ජයග්‍රහණය වාර්තා කරමින්.

අවසන් ලකුණු තත්වය: ඌව පළාත් 1 – 2 මධ්‍යම පළාත

ගෝල ලාභීන්:

  • ඌව: Firas Zaheer (63’)
  • මධ්‍යම: M. I. M. මිහිරාන් (90+10), A. K. M. Shimak (90+28)

තරගාවලියේ තවත් තරග කිහිපයක් පහත පරිදි පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<