NSL පිටිය හැඩ කළ යොවුන් දක්ෂයින්

National Super League Limited Over Tournament 2023

197

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සංවිධානය කළ ජාතික සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය පසුගිය දා නිමා වූයේ දඹුලු කණ්ඩායමට පහසු ජයග්‍රහණයක් අත් කර දෙමින්.

සිව්දින ක්‍රිකට් තරගාවලියේ මෙන් ම මෙම තරගාවලියේ ද දක්ෂතා දැක්වූවන් අතර පෙරමුණ ගත්තේ යොවුන් ක්‍රීඩකයන් වීම විශේෂත්වයක්.

තරගාවලියේ ගමන් මඟ
කණ්ඩායම 1 කණ්ඩායම 2 තරගයේ ප්‍රතිඵලය ක්‍රීඩාංගණය
1 දඹුල්ල කොළඹ දඹුල්ල කණ්ඩායමට කඩුලු 4ක ජයක්. දඹුල්ල
2 ගාල්ල යාපනය යාපනය කණ්ඩායමට ලකුණු 55ක ජයක්. පල්ලෙකැලේ
3 දඹුල්ල ගාල්ල දඹුල්ල කණ්ඩායමට ලකුණු 62ක ජයක්. පල්ලෙකැලේ
4 මහනුවර යාපනය යාපනය කණ්ඩායමට කඩුලු 3ක ජයක්. දඹුල්ල
5 කොළඹ ගාල්ල ගාල්ල කණ්ඩායමට කඩුලු 7ක ජයක්. දඹුල්ල
6 මහනුවර දඹුල්ල දඹුල්ල කණ්ඩායමට කඩුලු 7ක ජයක්. පල්ලෙකැලේ
7 ගාල්ල මහනුවර මහනුවර කණ්ඩායමට ලකුණු 8ක ජයක් දඹුල්ල
8 යාපනය කොළඹ විසඳුමක් නෑ. පල්ලෙකැලේ
9 කොළඹ මහනුවර විසඳුමක් නෑ. පල්ලෙකැලේ
10 යාපනය දඹුල්ල දඹුල්ල කණ්ඩායමට ලකුණු 84ක ජයක්. දඹුල්ල
11 කොළඹ දඹුල්ල දඹුල්ල කණ්ඩායමට කඩුලු 6ක ජයක්. SSC
12 යාපනය ගාල්ල ගාල්ල කණ්ඩායමට කඩුල්ලක ජයක්. R. ප්‍රේමදාස
13 ගාල්ල දඹුල්ල ගාල්ල කණ්ඩායමට කඩුලු 5ක ජයක්. R. ප්‍රේමදාස
14 යාපනය මහනුවර යාපනය කණ්ඩායමට කඩුලු 7ක ජයක්. SSC
15 දඹුල්ල මහනුවර දඹුල්ල කණ්ඩායමට කඩුල්ලක ජයක්. R. ප්‍රේමදාස
16 ගාල්ල කොළඹ කොළඹ කණ්ඩායමට ලකුණු 71ක ජයක්. SSC
17 කොළඹ යාපනය යාපනය කණ්ඩායමට ලකුණු 25ක ජයක්. R. ප්‍රේමදාස
18 මහනුවර ගාල්ල ගාල්ල කණ්ඩායමට ලකුණු 79ක ජයක්. P. Sara Oval
19 දඹුල්ල යාපනය දඹුල්ල කණ්ඩායමට ලකුණු 34ක ජයක්. P. Sara Oval
20 මහනුවර කොළඹ මහනුවර කණ්ඩායමට ලකුණු 48ක ජයක්. R. ප්‍රේමදාස
අවසන් මහා තරගය
21 දඹුල්ල යාපනය දඹුල්ල කණ්ඩායමට කඩුලු 5ක ජයක්. R. ප්‍රේමදාස
  • සොනාල් දිනූෂ

අවසන් මහා තරගයේ වීරයා බවට පත් වෙන්නේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්වූ 22 හැවිරිදි වියේ පසුවෙන දඹුලු කණ්ඩායමේ සොනාල් දිනූෂ. වමතින් දඟපන්දු යවන ඔහු අවසන් මහා තරගයේ දී ලකුණු 33කට කඩුලු 3ක් දවා ගන්නා අතර පිතිකරුවෙක් ලෙසින් පිටියට පිවිස පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 45ක් ලබා ගත්තා.

වමත් මැදිපෙළ පිතිකරුවෙක් ලෙසින් දඹුලු කණ්ඩායම නියෝජනය කළ සොනාල්  මෙම තරගාවලියේ දී පිතිකරුවෙක් ලෙසින් තරග 6ක ඉනිම් 6ක දී ගාල්ල සහ මහනුවර කණ්ඩායම්වලට එරෙහිව අර්ධ ශතක ද වාර්තා කරමින් ලකුණු 247ක් ලබා ගන්නවා.

එහි සාමාන්‍ය 61.75ක් වන අතර එය මෙම තරගාවලියේ පළමු 10 දෙනාට ශ්‍රේණිගත වූ පිතිකරුවන් අතර ඉහළ ම සාමාන්‍ය අගයක් ගත් පිතිකරුවන් අතරින් පෙරමණු ගත්තා. ඔහුගේ මෙම දක්ෂතාව ශ්‍රේණිගත වන්නේ 8 වැනි ස්ථානයට.

පන්දු යවන්නෙක් ලෙසින් ඔහු ලබා ගත් කඩුලු සංඛ්‍යාව 8ක් වන අතර ඒ අතර හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වෙන්නේ අවසන් මහා තරගයේ දී පෑ දක්ෂතාවයි.

සොනාල් මේ දක්වා පළමු පෙළ තරග 20කට සහභාගී වෙමින් අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 566ක් සහ කඩුලු 52ක් ද, List A තරග 25කට සහභාගී වෙමින් අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 467ක් සහ කඩුලු 18ක් ද ලබා සිටින ක්‍රීඩකයෙක්.

තරගාවලියේ වැඩිම ලකුණු ලැබූ පිතිකරුවෝ
Player Team Mat Inns NO Runs HS Ave 100 50
1 අශේන් බණ්ඩාර කොළඹ 8 7 0 419 101 59.85 1 3
2 පවන් රත්නායක දඹුල්ල 9 9 1 349 107* 43.62 1 2
3 පසිඳු සූරියබණ්ඩාර ගාල්ල 8 8 1 323 98 46.14 0 4
4 ලහිරු උදාර මහනුවර 8 8 1 319 109 45.57 1 2
5 මහේෂ් කුමාර ගාල්ල 8 8 2 271 66 45.16 0 4
  • අශේන් බණ්ඩාර

මෙවර තරගාවලියේ වීරයා බවට අභිශේක ලැබීමට කොළඹ නියෝජනය කළ 24 හැවිරිදි වියේ පසුවෙන අශේන් බණ්ඩාර සමත් වුනා.

අශේන් තරගයේ වීරයා වෙද්දී මෙම තරගාවලියේ පිතිකරුවන් අතරින් වැඩිම දක්ෂතා දැක්වූ ක්‍රීඩකයා ද වුනා. දකුණත් පිතිකරුවෙක් වන ඔහු තරග 8ක ඉනිම් 7ක දී ලකුණු 419ක් රැස් කළා.

මෙම තරගාවලියේ ඔහුගේ හොඳම ඉනිම බවට පත් වූයේ ගාල්ල කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ දී රැස් කරන ලද ලකුණු 101යි. එම ඉනිම වෙනුවෙන් පන්දු 114කට මුහුණ දුන් අශේන් හතරේ පහර 6ක් ද ඊට එක් කළා.

ඊට අමතර ව යාපනය කණ්ඩායමට එරෙහිව වාර්තා කරන ලද ලකුණු 69ක් සහ ලකුණු 60ක් මෙන් ම මහනුවර කණ්ඩායමට එරෙහිව ලබා ගන්නා ලද ලකුණු 99ක් ද ඊට ඇතුළත්.

මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 6ක් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 5කට මුහුණ දී සිටින අශේන්, ක්‍රීඩා කර ඇති පළමු පෙළ තරග සංඛ්‍යාව 28ක් වන අතර ඊට අමතරව List A ලැයිස්තුවේ තරග 67කට එක්ව සිටිනවා.

කෙසේ වෙතත් මෙවර තරගාවලියේ දී ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් අතරින් දක්ෂතා ලැයිස්තුවල ඉදිරියෙන් සිටින්නේ අශේන් බණ්ඩාර පමණක් වීම කැපී පෙණෙනවා.

පසිඳු සූරියබණ්ඩාර

ගාල්ල නියෝජනය කළ 23 හැවිරිදි ඉදිරිපෙළ පිතිකරු පසිඳු සූරියබණ්ඩාර මෙම තරගාවලියේ පිතිකරු ලැයිස්තුවේ තෙවැනියට පත් වූවත් තරගාවලියේ දක්ෂතම පිතිකරු බවට පත් වීමට ඔහු සමත් වෙනවා.

ඔහු තරගාවලියේ  තරග 8ක ඉනිම් 8ක දී ලකුණු 323ක් ලබා ගනිමින් දක්ෂතා දක්වනවා.

ඔහුගේ ලකුණු ලැයිස්තුවේ ඉහළින් ම සටහන් වෙන්නේ මහනුවර කණ්ඩායමට එරෙහිව පන්දු 104ක දී හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් සමඟින් ලබා ගන්නා ලද ලකුණු 98යි. ලකුණු 2කින් ශතකය අහිමි කර ගත් එම ඉනිමේ දී ඔහු දිනේෂ් චන්දිමාල් සමඟ තෙවැනි කඩුල්ලට එක් වෙමින් ලකුණු 189ක සබඳතාවක් ගොඩ නගනවා. එය මෙවර තරගාවලියේ ඕනෑ ම කඩුල්ලක් සඳහා වන හොඳම සබඳතාවයි.

මේ දක්වා පළමු පෙළ තරග 19ක දී ද්විත්ව ශතකයක් සහ තවත් ශතක 3ක් එක් ව ලකුණු 1505ක් සහ List A ලැයිස්තුවේ අර්ධ ශතක ඉනිම් 6ක් සමඟින් තරග 27ක ලකුණු 734ක් ඔහු සතුයි.

  • පවන් රත්නායක

දඹුල්ල කණ්ඩායමේ ආරම්භක පිතිකරු 20 හැවිරිදි පවන් රත්නායක පිතිකරු ලැයිස්තුවේ දෙවැනි අසුන වෙන් කර ගැනීමට සමත් වෙන්නේ ඉනිම් 9ක දී ලබා ගන්නා ලද ලකුණු 349ත් සමඟින්. ඔහු  අවසන් මහා තරගයට පිවිසෙන්නේ මෙම ලැයිස්තුවේ සිව්වැනි ස්ථානයේ සිටිමින්. ඒ වෙද්දී පසිඳු සූරියබණ්ඩාර සහ ලහිරු උදාර ඔහුට ඉහළින් ශ්‍රේණිගතව සිටියා.

පවන් ඒ වෙද්දී ලබා සිටියේ තරග 8ක ඉනිම් 8ක දී ලකුණු 287ක් පමණයි. නමුත් අවසන් මහා තරගයේ දී ලබා ගත් ලකුණු 62ත් සමඟින් ඔහු මෙම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත්වුනා.

යාපනය කණ්ඩායමට එරෙහිව පන්දු 102කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලබා ගත් ලකුණු 107 ඔහුගේ මෙවර තරගාවලියේ හොඳම ඉනිමයි. ඊට අමතර ව ඔහු කොළඹ කණ්ඩායමට එරෙහිව සහ යාපනය කණ්ඩායමට එරෙහිව පැවති අවසන් මහා තරගයේ දී ද අර්ධ ශතක වාර්තා කරනවා.

පවන් මේ දක්වා පළමු පෙළ තරග 20කට සහභාගී වෙමින් ශතක 2ක් සමඟින් ලකුණු 885ක් ද සහ List A තරග 29ක දී ශතකයක් සමඟින් ලකුණු 1040ක් රැස් කරගෙන සිටිනවා.

තරගාවලියේ වැඩිම කඩුලු ලැබූ පන්දු යවන්නෝ
Player Team Mat Inns Overs M Runs Wkts Best
1  ලහිරු සමරකෝන් දඹුල්ල 8 8 46.1 2 224 15 4/39
2  දිලුම් සුදීර යාපනය 9 9 70.0 1 274 14 4/39
3 දුශාන් හේමන්ත දඹුල්ල 9 8 62.3 1 307 13 3/22
4 ලක්ෂාන් සඳකැන් දඹුල්ල 8 7 52.0 7 239 12 4/37
5 අකිල දනංජය ගාල්ල 5 5 43.0 5 157 11 3/27
  • ලහිරු සමරකෝන්

දඹුල්ල නියෝජනය කරන 26 හැවිරිදි දකුණතින් මද වේගපන්දු යවන ලහිරු සමරකෝන් තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා බවට පත් වුනා.

ඔහු තරග 8කට සහභාගී වෙමින් කඩුලු 15ක් ලබා ගත් අතර එම දක්ෂතාවට තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ පළමු අසුන වෙන් වුනා.

සිව්දින ක්‍රිකට් තරගාවලියේ ද කඩුලු 15ක් දවා ගනිමින් දක්ෂතා දක්වන ලහිරු එවර එම ලැයිස්තුවේ 6 වැනි ස්ථානය හිමි කර ගත්තා.

මෙම තරගාවලියේ දී මහනුවර කණ්ඩායමට එරෙහිව පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී ලකුණු 39කට දවා ගත් කඩුලු 4 ඔහුගේ හොඳම පන්දු යැවීම බවට පත්වුනා.

ලහිරුගේ දක්ෂතා ගොනු කිරීමේ දී පළමු පෙළ තරග 47ක දී කඩුලු 96ක් සහ List A ලැයිස්තුවේ තරග 48ක දී කඩුලු 53ක් වෙන් වී තිබෙනවා. පිතිකරුවෙක් ලෙසින් ද දක්ෂතා දක්වන ලහිරු පළමු පෙළ ශතකයක් සමඟින් ලකුණු 1339ක් ලබා සිටින අතර List A ලැයිස්තුවේ අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 724ක් ලබා සිටිනවා.

  • දිලුම් සුදීර

යාපනය නියෝජනය කරන 22 හැවිරිදි වියේ පසුවෙන් වමතින් දඟපන්දු යවන දිලුම් සුදීර සතු කර ගත් කඩුලු සංඛ්‍යාව 14ක්. එම දක්ෂතාවත් සමඟින් ඔහු මෙම ලැයිස්තුවේ දෙවැනි අසුන වෙන්කර ගන්නවා.

කඩුලු ලබා ගැනීමේ දී ඔහුගේ හොඳම දක්ෂතාව වූයේ මහනුවර කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ලකුණු 39කට දවා ගත් කඩුලු 4යි.

දිලුම් මේ දක්වා පළමු පෙළ තරග 22ක දී කඩුලු 73ක් සහ List A ලැයිස්තුවේ තරග 36ක දී කඩුලු 63ක් දවාගෙන සිටින දක්ෂ යොවුන් ක්‍රීඩකයෙක්.

පිතිකරුවෙක් ලෙස ද දක්ෂතා දක්වන ඔහු පළමු පෙළ අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 590ක් සහ List A ලැයිස්තුවේ ලකුණු 234ක් ද ලබා සිටිනවා.

  • දුශාන් හේමන්ත

28 හැවිරිදි පා දඟපන්දු යවන දුශාන් හේමන්ත මෙවර තරගාවලියේ දී කඩුලු 13ක් ලබා ගනිමින් කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ තෙවැනි අසුන හිමි කර ගත්තා.

පළමු පෙළ තරග 44ක කඩුලු 98ක නතර වී සිටින දුශාන් මෙම තරගාවලිය නිමාවේ දී List A කාණ්ඩයේ තරග දක්ෂතා අතරට තරග 58ක දී කඩුලු 64ක් සහ ලකුණු 1114ක් ලබා ගෙන තිබෙනවා.

ඔහුගේ මෙවර දක්ෂතා අතර ඉහළින් ම සටහන් වෙන්නේ අවසන් මහා තරගයේ දී ලකුණු 22කට දවා ගත් කඩුලු 3යි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<