විනය කැඩූ පාපන්දු ක්‍රීඩකයින්ට දඬුවම්

නිදහස් කුසලාන පාපන්දු ශූරතාවය 2022

375

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරන නිදහස් කුසලාන පාපන්දු ශූරතාවයේ පසුගිය බ්‍රහස්පතින්දා (02) පැවති ඌව සහ මධ්‍යම පළාත අතර තරගයේ දී සිදු වූ විනය විරෝධී ක්‍රියාවට සම්බන්ධ ක්‍රීඩකයින්ට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් දඬුවම් පනවා තිබෙනවා.

තරගයේ 63 වැනි මිනිත්තුවේ දී ඌව ක්‍රීඩකයෙකු ගෝලයක් වාර්තා කිරීමෙන් පසුව මධ්‍යම පළාත් ක්‍රීඩක අයි. දේශප්‍රියගේ ඇගේ වැදීම නිසාවෙන් ඌව ක්‍රීඩක Firaz Zaheer හට රතු කාඩ්පතක් ලබා දීමට විනිසුරුවරයා කටයුතු කළා.

එම සිදුවීමෙන් පසු තරගයේ පැති රේඛාව ආසන්නයේ දී ක්‍රීඩකයින් අතර උණුසුම් තත්වයක් ඇති වන අයුරු දක්නට ලැබූ අතර එම සිදුවීම නිසාවෙන් තරගය කෙටි වේලාවකට නතර කිරීමට ද සිදු වුනා.

එම සිදුවීමට සම්බන්ධ වූ එස්. කේ. උමේර් සහ එච්. මොහොමඩ් යන මධ්‍යම පළාත් ක්‍රීඩකයින්ට රතු කාඩ්පත් ලබා දීමට විනිසුරුවරයා කටයුතු කළ අතර පසුව මෙයට සම්බන්ධ අනෙකුත් ක්‍රීඩකයින් සොයා පාපන්දු සම්මේලනය විශේෂ විමර්ශනයක් සිදු කර තිබුණා.

ඒ අනුව එස්. කේ. උමේර් සහ එච්. මොහොමඩ් යන දෙදෙනාට සහ වීඩියෝ තුළින් මෙම සිදුවීමට සම්බන්ධ බව හඳුනා ගත් මධ්‍යම පළාත් ක්‍රීඩක අයි. දේශප්‍රිය හට තරග දෙකක තහනමක් පැනවීමට තීරණය කර තිබෙනවා.

එයට අමතරව ඔවුන් තිදෙනා වසරක පරිවාස කාලයකට යටත් කිරීමට ද පාපන්දු සම්මේලනය තීරණය කර ඇති අතර එම කාලය තුළ ඔවුන් නැවතත් යම්කිසි වරදක් සිදු කළහොත් වසරක තරග තහනමකට යටත් වීමට සිදු වනවා.

ඔවුන්ට අමතරව මෙම සිදුවීමේ ප්‍රධාන සැකකරු ලෙස හඳුනා ගත් මධ්‍යම පළාත් අතිරේක ක්‍රීඩක ජනිත් රත්නායක හට නැවත දැනුම් දෙනතුරු පාපන්දු ක්‍රීඩාවට අදාළ සියලුම කටයුතු තහනම් කිරීමට කටයුතු කර ඇති අතර ඔහුට හිමි වන අනෙකුත් දඬුවම් ඉදිරියේ දී දැනුම් දීමට නියමිතයි.

මෙම ක්‍රීඩකයින් සියල්ලන්ගේ දඬුවම් කාලසීමාවන් අවසන් වනතුරු ඔවුන් කණ්ඩායම් කඳවුරු තුළින් ඉවත් විය යුතු අතර ඔවුන්ට ක්‍රීඩකයින්ට සැපයූ කිසිදු පහසුකමක් ලබා ගැනීමට හෝ ක්‍රීඩාංගණයට ඇතුළත් වීමට අවසර හිමි නොවේ.

එමෙන්ම මෙම සිදුවීම්වලට සම්බන්ධ ක්‍රීඩකයින්ට ඉක්මණින් එම දඬුවම් නිකුත් කිරීමේ වගකීම කණ්ඩායම් ප්‍රධාන පුහුණුකරු සතු බව පාපන්දු සම්මේලනය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වුනා.

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්. රැඳී සිටින්න, ThePapare.com සමඟින්.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<