තෙනුෂාන් උතුර ජයග්‍රහණයට කිට්ටු කරයි

නිදහස් කුසලාන පාපන්දු ශූරතාවය 2022

154

නිදහස් කුසලාන – සිලෝන් පළාත් ලීගයේ අවසන් පූර්ව තරග වටයේ ප්‍රථම අර්ධයේ දෙවැනි තරගය අද (26) යාපනය දුරේඅප්පා ක්‍රීඩාංගණයේ දී නිමාව දුටුවේ ගෝල 1-0ක් ලෙස උතුරු පළාත් ක්‍රීඩකයින් ජයග්‍රහණය වාර්තා කරමිනුයි.

අවසන් පූර්ණ වටයේ තරග අර්ධ දෙකක් යටතේ පැවැත්වෙන අතර උතුරු පළාත අද තරගයට සුදුසුකම් ලබා ගත්තේ ප්‍රසාද ලකුණු 13ක් සමඟින් එහි දෙවැනි ස්ථානය දිනා ගනිමිනුයි. ඔවුන් තරග 3ක් ජයග්‍රහණය කරමින්, තරග 4ක් ජය පරාජයෙන් තොරව අවසන් කරගෙන තිබුණේ කිසිදු පරාජයක් සඳහා හිමිකම් නොකියමින් වීම විශේෂත්වයක්.

උතුරේ ප්‍රතිවාදීන් වූ නැගෙනහිර පළාත් ක්‍රීඩකයින් තරග දෙකක් ජයග්‍රහණය කරමින් තරග 5ක් ජය පරාජයෙන් තොරව අවසන් කරගනිමින් ප්‍රසාද ලකුණු පුවරුවේ තෙවැනි ස්ථානය දිනා ගන්නට සමත්ව තිබුණේ ප්‍රසාද ලකුණු 11ක් සමඟිනුයි.

යාපනය දුරේඅප්පා ක්‍රීඩාංගණයේ දී සවස 3:30ට පමණ මේ තරගය ආරම්භ වූ අතර කණ්ඩායම් දෙකම ප්‍රථම අර්ධය පුරාවට තියුණු සටනක නිරත වෙනු දක්නට ලැබුණා. කෙසේ නමුත් පළමු අර්ධය නිමා වුනේ දෙපිලේම ක්‍රීඩකයින් කිසිදු ගෝලයක් වාර්තා නොකරමිනුයි.

දෙවැනි අර්ධයේ දී ජයග්‍රහණ පිපාසයෙන් පිටියට අවතීර්ණ වූ කණ්ඩායම් දෙකම කරට කර සටනක නිරත වෙනු දක්නට ලැබුණු අතර තරගයේ ජයග්‍රහණය තීරණය වූ ගෝලය වාර්තා කරන්නට කේ. තෙනුෂාන් සමත් වුනේ 71 වැනි මිනිත්තුවේ දීයි.

ඒත් සමඟින් තරගයේ වැඩි පීඩනය නැගෙනහිර දෙසට යොමු වූ අතර ඔවුන් දෙවැනි අර්ධය අවසන් වන තෙක් කිසිදු ගෝලයක් ලකුණු පුවරුවට එකතු කරගන්නට සමත් වුනේ නැහැ.

අවසන් ලකුණු තත්වය: උතුරු පළාත 1 – 0 නැගෙනහිර පළාත

ගෝල ලාභීන්:

  • උතුර: කේ. තෙනුෂාන් (71’)

අවසන් පූර්ව වටයේ දෙවැනි අදියරේ තරග පහත පරිදි පැවැත්වීමට නියමිතයි.

  • මාර්තු 01: උතුරු පළාත සහ නැගෙනහිර පළාත – සවස 3.30 – අග්නිදිග විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේ දී.
  • මාර්තු 02: සබරගමු පළාත සහ දකුණු පළාත – සවස 3.30 – රත්නපුර සීවලි ක්‍රීඩාංගණයේ දී.

තරගාවලියේ අවසන් මහා තරගය මාර්තු 05 වැනිදා පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ සියලුම තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<