චන්දිමාල්ගේ ශතකය වෙනුවෙන් Lord’s ක්‍රීඩාංගණය බලා සිටි දා

146

ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර ලෙස සැලකෙන එංගලන්තයේ Lord’s ක්‍රීඩාංගණයේ දී ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කිරීම ඕනෑම ක්‍රිකට් ක්‍රීඩකයෙකු සතු සිහිනයකි.

ඒ අනුව එහි ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කිරීමට වරම් ලබන ඕනෑම ක්‍රීඩකයෙකුගේ ඊළඟ විශාලතම සිහිනය Lord’s ක්‍රීඩාංගණයේ ඇති ගෞරවාන්විත ‘Honours Board’ හි සිය නාමය සටහන් කරගැනීම වන බව නොඅනුමාන ය.

උපුල් තරංග ලකුණු 7000 බලාපොරොත්තු අතහැර නැහැ

ශ්‍රී ලංකා ආරම්භ පිතිකරු උපුල් තරංග එක්දින ජාත්‍යන්තර තරගවල ශ්‍රී ලංකාවේ 8 වැනි වැඩිම….

මෙම දක්‍ෂතාවන් ද්විත්වයම වයස අවුරුදු 22ක තරම් තරුණ වයසක දී සහ සිය ක්‍රිකට් දිවියේ 11 වැනි ජාත්‍යන්තර එක්දින තරගය වැනි කුඩා තරග සංඛ්‍යාවක දී දක්වන්නට සමත් වන්නේ නම් ඒ සැබැවින්ම විශේෂ දක්‍ෂතාවලින් පරිපූර්ණ ක්‍රීඩකයෙකු පමණි. ඒ අනුව 2011 වසරේ දී Lord’s ක්‍රීඩාංගණයේ දී සිය 11 වැනි එක්දින තරගයට ක්‍රීඩා කළ ඒ වන විට 22 වැනි වියේ පසු වූ ශ්‍රී ලංකාවේ දිනේෂ් චන්දිමාල් ‘long-on’ කලාපය හරහා දැවැන්ත 6 පහරක් එල්ල කරමින් එම සුවිශේෂී සංධිස්ථානය කරා ළඟා වෙද්දී ඔහු පිළිබඳව ක්‍රීඩාංගණයේ සිටි ක්‍රිකට් විස්තර විචාරකයා පවසා සිටියේ “That is a Cricketer to watch out for!” යනුවෙනි. 

එහි දී එම ක්‍රිකට් විස්තර විචාරකයා පවසා සිටි ඒ අන්දමටම චන්දිමාල්ගේ ක්‍රිකට් දිවියේ ඉදිරි වසර කිහිපය දිග නොහැරුණත් එදින ඔහු ශතකයක් වාර්තා කරගනිමින් ඒ ක්‍රීඩා කළ ඉනිම Lord’s ක්‍රීඩාංගණයේ වාර්තා වූ හොඳම එක්දින ඉනිම් අතරින් එකක් බව අදටත් ඕනෑම කෙනෙකු පිළිගන්නා කරුණකි. 

තමන්ට හුරුපුරුදු තණතිල්ලක, සිය ක්‍රිකට් දිවිය පුරාවටම ක්‍රීඩා කළ සුපුරුදු තත්වයන් යටතේ පන්දු යැවූ එංගලන්ත පන්දු යැවීමේ බල ඇණිය හමුවේ චන්දිමාල් වැනි තරුණ ක්‍රීඩකයෙක් ලකුණු හඹා යාමක දී ඉනිම පුරාවට අලංකාර පහරවල් එල්ල කරමින් එදා ඒ ක්‍රීඩා කළ ඉනිම මුළු ක්‍රිකට් ලොව මවිතයට පත් කරන්නට විය. 

නමුත් ඔහු එහි දී ශතකය ආසන්නයට පැමිණ එය සම්පූර්ණ කර ගත නොහැකි වුවත් අවසානයේ ශ්‍රී ලංකාව එම තරගය ජයග්‍රහණය කළ අවස්ථාවක් ගැන සිතන්න. එය එසේ සිදුවුවත් ඔහුට එදා ඒ තරගයට අදාළව තරගයේ වීරයා සම්මානය හිමි වනු ඇති බව නොඅනුමාන ය. 

නමුත් එය එසේ සිදුවූවා නම් එදා සිට වසර 9ක් ගතව ඇති අද දිනයේ දීත් ඔහුගේ එම ඉනිම පිළිබඳව තවදුරටත් ක්‍රිකට් ලොව කතාබහ කරයි ද? එවන් පසුබිමක් තුළ බොහෝ දුරට ඔහු එදා ඒ ක්‍රීඩා කළ ඉනිමට ඔහු සිම්බාබ්වේ රාජ්‍යයේ ‘Harare’ හිදී ඉන්දියාවට එරෙහිව වාර්තා කර ගත් ශතකයටත් වඩා අඩු වැදගත් කමක් හිමිවන්නට ඉඩ තිබුණි. ඒ අනුව Lord’s ක්‍රීඩාංගණයේ දී චන්දිමාල් වාර්තා කර ගත් එම ශතකය යථාර්ථයක් කරගන්නට දායකත්වය ලබා දුන් වෙනත් ක්‍රීඩකයෙකුට ද එහි ගෞරවයෙන් කොටසක් හිමි විය යුතු බව මෙහි දී අප මතකයේ තබා ගත යුතු කරුණකි. 

“ඒ ශතකයේ ගෞරවය යන්න ඕන ඇන්ජෙලෝ මැතිව්ස්ට. මොකද ඔහු තමයි එදා මට ඒ කඩඉමට යන්න අවශ්‍යම සහයෝගය ලබා දුන්නේ,” ThePapare.com අප විසින් පසුගිය දා චන්දිමාල් සහ ශ්‍රී ලංකා ජාතික ටෙස්ට් හා එක්දින කණ්ඩායම්වල වත්මන් නායක දිමුත් කරුණාරත්නගේ සහභාගීත්වයෙන් පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මේ පිළිබඳව අදහස් දැක්වූ චන්දිමාල් පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලී ඔබ මැතිව්ස් එදා ඒ ක්‍රීඩා කළ ඉනිම දෙස හැරී බැලුවහොත් ඔහු එහි දී පන්දු 21ක් ගත කරමින් ලකුණක් පමණක් වාර්තා කර ගත් බව ඔබට මතකයට නැඟෙනු ඇත. 

“මට මතක විදිහට මම ලකුණු 87 වගේ ඉන්න කොට අපිට ජයග්‍රහණය සඳහා ඕන වෙලා තිබ්බේ තව ලකුණු 18ක් හෝ 19ක් වගේ. ඒ වෙලාවේ තමයි තිළිණ කණ්ඩම්බි දැවී ගියාට පස්සේ මැතිව්ස් ක්‍රීඩා පිටියට ආවේ. ඒ වෙලාවේම ඒ තරගයේ අතිරේක ක්‍රීඩකයෙක් විදිහට ඉඳපු අජන්ත මෙන්ඩිස් දුවගෙන ඇවිත් ‘ඇන්ජි, චන්දිට 100 ගහන්න අවස්ථාව දෙන්න’ කියලා මැතිව්ස්ට කියලා ගියා” චන්දිමාල් වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ මෙන්ඩිස් පිටියට පැමිණ ඒ බව පවසන තෙක් ඔහුට ද එහි දී සිය ලකුණු සංඛ්‍යාව පිළිබඳව නිසි අවබෝධයක් නොතිබූ බවත්, ඒ හරහා තරගයේ ජයග්‍රහණයට පෙර ශතකය වෙත යාමට අවස්ථාවක් ඇති බව ඔහුට වැටහුණු බවත් ය.   

“එතකොටම ලකුණු පුවරුව දිහා බැලුවම තමයි මටත් තේරුණේ මට එතැන 100ක් වාර්තා කරගන්න අවස්ථාවක් තියෙනවා කියලා. නැත්නම් මගේ අවධානය ගොඩක්ම තිබ්බේ තරගය ජයග්‍රහණය කරන එක ගැන විතරයි.”

“හොඳයි චන්දි, මං ඔයාට 100 ගහන්න දෙන්නම්,” යනුවෙන් මැතිව්ස් එහි දී චන්දිමාල්ට පවසා ඇත්තේ ශ්‍රී ලංකාවට තරගයේ ජයග්‍රහණය හිමි කර ගැනීම සඳහා පන්දු 44ක දී ලකුණු 17ක් හා චන්දිමාල්ට ඔහුගේ ශතකය සම්පූර්ණ කරගැනීම සඳහා තවත් ලකුණු 13ක් පමණක් අවශ්‍යව තිබූ පසුබිමක ය. බැලූ බැල්මට එය ඉතාමත් ලෙහෙසි පහසු කාර්යයක් බව ඔබට සිතෙනවා වෙන්නට විය හැක. නමුත් අනතුරුව එහි දී සිදු වන්නට වූයේ තරමක් පුදුම සහගත දෙයකි. 

ඒ අනුව දක්‍ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු මෙන්ම ප්‍රවේගකාරී තරග අවසන් කරන්නෙකු ලෙස ඒ වන විට සිය නාමය ස්ථාපිත කර ගනිමින් සිටි මැතිව්ස් එහි දී ඔහු වෙත යොමු වූ සෑම පන්දුවකටම ආරක්‍ෂාකාරී පහරවල් එල්ල කරන්නට විය. අනතුරුව ඔහු සම්පූර්ණ 47 වැනි පන්දුවාරයම ආරක්‍ෂාකාරී ලෙස ක්‍රීඩා කරනු ලැබුවේ එම පන්දුවාරය තුළ එකඳු ලකුණක් හෝ වාර්තා කර නොගනිමිනි. ඒ අනුව ඊට පෙර තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට පන්දු 24ක දී අවශ්‍යව තිබූ ලකුණු 9 මෙම පන්දුවාරයෙන් පසුව පන්දු 18කින් ලකුණු 9ක් බවට පත්වන්නට විය. 

මේත් සමඟම ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩාගාරයේ නොසන්සුන් බව කෙමෙන් කෙමෙන් ඉහළ යන්නට වූ අතර ඒ අනුව නායක ටී. එම්. ඩිල්ෂාන් විසින් මැතිව්ස්ට හා චන්දිමාල් හට හැකි ඉක්මනින් තරගය අවසන් කර දමන ලෙසට සංඥා කරන්නට විය. අනතුරුව චන්දිමාල්ට ද ඔහුගේ ශතක පසෙකලා එහි දී තරගය අවසන් කරදමන්නට අවශ්‍ය වූ නමුත් මෙම සියල්ල මධ්‍යයේ මැතිව්ස් සුපුරුදු පරිදි කිසිදු කලබලයකින් තොරව පිටියේ රැඳෙන්නට විය. 

වැදිබණ නොකියූ වැඩ්ඩන්ගේ වදන්

ක්‍රිකට් ලෝකය තුළ වැඩවලින් කෙසේ වුවත් කටින් දිනන්නට උත්සාහ කරන …..

“මැතිව්ස් එතැන දී ලකුණු වාර්තා කරගත්තේ නැති නිසා අපි තරගය ඉවර කරන්න හිතන් හිටියට වඩා පන්දුවාර 2-3ක් වැඩිපුර එහි දී අපිට ගත වුනා. මැතිව්ස්ට ඕනේ වුණේ කොහොම හරි මට එදා මගේ ශතකයට යන්න අවස්ථාව ලබා දෙන්න. පස්සේ මමත් ටිකක් කලබල වෙලා මම ඔහුට කිව්වා මට 100 ඕනේ නැහැ, අපි පුළුවන් ඉක්මනට තරගය ඉවර කරලා දාමු කියලා. 

එතකොට තමයි මැතිව්ස් මට ලොකු විශ්වාසයකින් කිව්වේ එයාට තරගය දිනන්න අවශ්‍ය ඉතිරි ලකුණු 10 ලබා ගන්න ඕනේ පන්දු 2ක් විතරයි කියලා. ඒ කියන්නේ ඔහු ඒ වෙලාවේ පහරවල් එල්ල කරන්න තරගයේ අවසාන පන්දු 2 එනකන් ම වුනත් බලාගෙන ඉන්න සූදානමෙන් හිටියේ. ඒත් එක්කම ඔහු මට කිව්වා මගේ 100 ඉලක්ක කරගෙනම ක්‍රීඩා කරන්න කියලා. ඒ වෙලාවේ ඔහු ඒ දුන්න විශ්වාසය තමයි එදා ඒ ශතකය වාර්තා කරගන්න මට ගොඩක් ම උදව් වුනේ” චන්දිමාල් පැවසීය. 

ඒ අනුව 48 වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවේ දී Tim Bresnan යොමු කළ පන්දුවකට සිය ඉදිරි පාදය පිටතට තබා ‘long-on’ කලාපයට ඉහළින් අලංකාර 6 පහරක් දියත් කරමින් චන්දිමාල් විසින් ඉතා විශිෂ්ට අන්දමින් සිය ශතකය සම්පූර්ණ කරගත්තේ Lord’s ක්‍රීඩාංගණයේ සුප්‍රකට ‘Honours Board’ හි සිය නාමය ද සටහන් කරගනිමිනි. 

චන්දිමාල් සිය ශතකය වෙත ළඟා වීමෙන් අනතුරුව ද ශ්‍රී ලංකාවට තරගයේ ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 3ක් අවශ්‍යව තිබූ අතර ඒ අනුව පසුව ඔහු 4 පහරක් එල්ල කරමින් එහි දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කරන්නට විය. චන්දිමාල් එහි දී ඒ ක්‍රීඩා කළ ඉනිම හරහා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සන්නාමය තවදුරටත් ඒ අයුරින්ම ක්‍රියාත්මකව පවතින බවට ක්‍රිකට් ලොවට යළිත් පසක් වන්නට විය. 

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<