ගාල්ල මහින්ද ක්‍රීඩකයින් අවසන් පූර්ව වටයට

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2022

213

පාසල් ක්‍රිකට් පිටියේ ශූරයින් කිරුළු පළදින වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (23) පැවති අවසන් පූර්ව තරගයෙන් කඩුලු 7ක ජයක් ලබා ගැනීමට ගාල්ල මහින්ද ක්‍රීඩකයින්ට හැකි වුනා.

Tier ‘B’ කොටසේ මෙම තීරණාත්මක තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දුන් මාතර සාන්ත සර්වේස් ක්‍රීඩකයින් ලකුණු 100කට සීමා කිරීමට මහින්ද විද්‍යාලීය පන්දු යවන්නන්ට හැකි වුනා.

සර්වේස් ක්‍රීඩකයින්ට දැවන්ත පීඩනයක් එල්ල කිරීමට සමත් වූ මහින්ද ක්‍රීඩක අරෝශ උදයංග ලකුණු 4ක් තුළ කඩුලු 4ක් දවා ගැනීමට සමත් වෙද්දී, ඔහුට අගනා සහයක් ලබා දුන් සෙනුක දංගමුව ලකුණු 12කට කඩුලු දෙකක් දවා ගත්තා.

සර්වේස් විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ චිරාන් නෙතෘ ලකුණු 25ක් ලබා ගද්දී,  මිතිල චාල්ස් ලකුණු 16ක් සහ දිනිරු අබේවික්‍රම ලකුණු 16ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම හඹා යෑමට පිටියට පිවිසි ගාල්ල මහින්ද ක්‍රීඩකයින් පන්දුවාර 19.1ක් අවසානයේ කඩුලු තුනක් පමණක් දැවී ජයග්‍රාහී සීමාව පසු කළා.

මහින්ද විද්‍යාලයේ ජයග්‍රහණයට අඩිතාලම දැමූ දනුජ ඉඳුවර නොදැවී ලකුණු 50ක් ලබා ගැනීමට සමත් වෙද්දී ප්‍රමේශ් මධුශාන් ලකුණු 21ක් සහ දිනුර කළුපහන ලකුණු 20ක් ලබා ගත්තා.

මාතර සර්වේස් විද්‍යාලය: 100 (37.1) – චිරාන් නෙතෘ 25, මිතිල චාල්ස් 16, දිනිරු අබේවික්‍රම 16, අරෝශ උදයංග 4/4, සෙනුක දංගමුව 2/12.

ගාල්ල මහින්ද විද්‍යාලය: 103/3 (19.1) – දනුජ ඉඳුවර 50*, ප්‍රමේශ් මධුශාන් 21, දිනුර කළුපහන 20.

ගාල්ල මහින්ද විද්‍යාලයට කඩුලු 7ක ජයක්.

මෙම තරගයේ ප්‍රතිඵලයත් සමඟ පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ Tier ‘A’  සහ Tier ‘B’ කොටසේ අවසන් පූර්ව වටයේ තරග තහවුරු වුනා.

පළමු පෙළ පාසල්  එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග,

Tier ‘A’

  • ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ කොටහේන සාන්ත බෙනඩික් විද්‍යාලය
  • මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය

Tier ‘B’

  • තර්ස්ටන් විද්‍යාලය සහ වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය
  • බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය

තරගාවලියේ අවසන් පූර්ව වටයේ සියලු තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare.com  සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<