සබරගමුව සහ වයඹ ජයග්‍රාහීව අවසන් අදියර නිමා කරයි

නිදහස් කුසලාන පාපන්දු ශූරතාවය 2022

149

ජනවාරි 25 වැනිදා සිට මේ දක්වා දේශීය පාපන්දු පිටිය උණුසුම් කරමින් ක්‍රියාත්මක වන නිදහස් කුසලාන – සිලෝන් පළාත් ලීගයේ අවසන් අදියර හෙවත් සබරගමුව අදියර අද (19) නිමාවට පත්වුනා.

එහි දී මධ්‍යම පළාත ගෝල 3-1ක් ලෙස පරාජය කරන්නට වයඹ ක්‍රීඩකයින් සමත් වෙද්දී, සබරගමුව ක්‍රීඩකයින් ගෝල 2-1ක් ලෙස ඌව ක්‍රීඩකයින් පරාජය කරන්නට සමත් වුනා.

වයඹ සහ මධ්‍යම පළාත් අතර තරගය

කෑගල්ල නගර සභා ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ පළමු අර්ධය නිමා වුනේ කිසිදු කණ්ඩායමක් ගෝල වාර්තා නොකරමින් වීම විශේෂත්වයක්.

කෙසේ නමුත් දෙවැනි අර්ධයේ දී ජයග්‍රහණය හඹා යමින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නට මධ්‍යම පළාත් නායක කලීඩ් අසාමිත් සමත් වුනේ 62 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කරමිනුයි.

ඊට ප්‍රතිඋත්තර සැපයූ වයඹ ක්‍රීඩක එම්. එන්. එන්. මොහොමඩ් විසින් 76 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කරන්නට සමත් වුනා.

ඔහුට මනා සහයක් වෙමින් කණ්ඩායමේ ලකුණු පුවරුව දෙගුණ කරන්නට ටී. එච්. ඩී. තිරිමාන්න සමත් වුනේ 82 වැනි මිනිත්තුවේ දී ගෝලයක් දැල් ගත කරමිනුයි.

කෙසේ නමුත් මධ්‍යම ක්‍රීඩකයින් ප්‍රතිවාදීන් වෙනුවෙන් සටනක් දෙනු දක්නට ලැබුනත්, අවසන් මොහොතේ එන්. මොහොමඩ් තවත් ගෝලයක් වාර්තා කරමින් තරගයේ ජයග්‍රහණය ගෝල 3-1ක් ලෙස වයඹට රැගෙන යන්නට සමත් වුනා.

අවසන් ලකුණු තත්වය: වයඹ පළාත 3 – 1 මධ්‍යම පළාත

අවසන් ලකුණු තත්වය:

  • වයඹ: එම්. එන්. එන්. මොහොමඩ් (76’ & 89’), ටී. එච්. ඩී. තිරිමාන්න (82’)
  • මධ්‍යම: කාලීඩ් අසාමිත් (62’)

සබරගමුව සහ ඌව පළාත් අතර තරගය

දිනයේ පැවති දෙවැනි තරගය වූ මෙම තරගය පැවැත්වුණේ රත්නපුර සීවලි විදුහල් ක්‍රීඩාංගණයේ දීයි.

තරගයේ ප්‍රථම ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නට අවස්ථාව උදා කරගත්තේ සබරගමුව ක්‍රීඩකයින් විසිනුයි. තරගය ආරම්භ වී 8 වැනි මිනිත්තුවේ දී වාර්තා වූ එම ගෝලය සඳහා හිමිකම් කීවේ මොහොමඩ් මුෂ්ෆික්.

එම ගෝලයට පසුව කණ්ඩායම් දෙකේන්ම තවත් ගෝල වාර්තා නොවූ අතර ගෝල 2-1ක් ලෙස ප්‍රථම අර්ධය නිමාවට පත්වුනා.

දෙවැනි අර්ධය ආරම්භ වී එහි අවසානයට ළඟාවත්ම කණ්ඩායමේ ලකුණු පුවරුවට තවත් ගෝලයක් එකතු කරන්නට සබරගමුව නායක මොහොමඩ් ශිෆාන් සමත් වුනේ 87 වැනි මිනිත්තුවේ දීයි.

කෙසේ නමුත් තරගයේ පීඩනය ඌව ක්‍රීඩකයින් දෙසට යොමු වී තිබූ මොහොතේ ක්‍රියාත්මක වූ චතුර පොන්නම්පෙරුම විසින් දෙවැනි අර්ධයේ අතිරේක කාලයේ දී ගෝලයක් සාර්ථක කර ගන්නට සමත් වුනා.

කෙසේ නමුත් එම ගෝලයට තරගයේ ප්‍රතිඵලය වෙනස් කරන්නට නොහැකි වූ අතර ගෝල 2-1ක් ලෙස සබරගමුව ක්‍රීඩකයින් ජයග්‍රාහීව සබරගමුව අදියර නිමාවට පත් කරන්නට සමත් වුනා.

අවසන් ලකුණු තත්වය: සබරගමුව පළාත 2 – 1 ඌව පළාත

ගෝල ලාභීන්:

  • සබරගමුව: මොහොමඩ් මුෂ්ෆික් (8’), මොහොමඩ් ශිෆාන් (87’)
  • ඌව පළාත: චතුර පොන්නම්පෙරුම (90+5’)

මෙම තරග දෙකත් සමඟින් නිදහස් කුසලාන – සිලෝන් පළාත් ලීගයේ තවත් අදියරක් නිමාවට පත්වන අතර ඒ සමඟ සබරගමුව, උතුර, නැගෙනහිර සහ දකුණු පළාත් ක්‍රීඩකයින් අවසන් පූර්ව තරග සඳහා සිය අසුන් වෙන්කර ගන්නට සමත් වුනා.

තරගාවලියේ අවසන් පූර්ව එළඹෙන 22 වැනිදා සහ 25 වැනිදා පැවැත්වීමට නියමිත අතර ශූරයින් අභිෂේක ගන්වන අවසන් මහා තරගය එළඹෙන 28 වැනි පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<