ලක්මාල්, මිලින්ද සහ උදාන ඇතුළු ප්‍රබලයින් රැසක් කණ්ඩායම් මාරු කරයි

1665
Key transfers

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් සංවිධානය කරනු ලබන දේශීය ක්‍රිකට් තරගාවලියේ ‘A’ කාණ්ඩයේ තරගාවලිය අද (30) ආරම්භ වූ අතර එහි දී දිවයිනේ ක්‍රීඩා සමාජ තලයේ සිටින ප්‍රබලතම ක්‍රීඩකයින් ජාතික කණ්ඩායමට තේරීපත්වීම අරමුණු කරගෙන සිය හැකි උපරිමයෙන් දක්‍ෂතා දක්වනු නොඅනුමානය. ඒ අනුව තරග වාරයේ ආරම්භයට පෙර සිදු වූ ප්‍රධාන ක්‍රීඩක කණ්ඩායම් මාරුකිරීම් කිහිපයක් මෙසේය.

දේශීය ක්‍රිකට් බිමේ වසන්තය මේ සති අන්තයේ ඇරඹේ

නොවැම්බර් මස 30 වැනිදා ආරම්භ වන ප්‍රිමියර් ලීග් ‘A’ කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලියත් සමඟ..

ලහිරු මිලන්ත

මේ වන විට ඉහළ දක්‍ෂතා අතර සිටින කඩුලු රකින ක්‍රීඩක සහ වමත් පිතිකරු ලහිරු මිලන්ත රාගම ක්‍රිකට් සමාජ කණ්ඩායමේ සිට ටැමිල් යූනියන් ක්‍රිකට් සහ මලල ක්‍රීඩා සමාජ කණ්ඩායම වෙත එඩිතර කණ්ඩායම් මාරුවක් සිදුකර ඇත. වසර ගණනාවක් පුරාවට රාගම ක්‍රිකට් සමාජ කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම ද නියෝජනය කිරීමට වරම් ලැබූ ඔහු සිදු කළ මෙම කණ්ඩායම් මාරුකිරීමත් සමඟ ටැමිල් යූනියන් කණ්ඩායමේ සිටින තරංග පරණවිතාන, කිත්රුවන් විතානගේ සහ ජීවන් මෙන්ඩිස් වැනි ප්‍රබල ක්‍රීඩකයින්ට ඉහළින් කණ්ඩායමේ ඉදිරිපෙළ පිතිකරණයේ නිරත වීමට ඔහුට අවස්ථාව හිමිවනු ඇත.  

මලින්ද පුෂ්පකුමාර

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම තුළ රංගන හේරත්ගේ ස්ථානය ගනු ඇතැයි බොහෝ දෙනෙක් අනුමාන කළ මලින්ද පුෂ්පකුමාර පසුගිය දා අවසන් වූ එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ දී සිය උපරිම දක්‍ෂතා අතරට ළඟාවීමට සමත් වූයේ නැත.

පසුගිය තරග වාරයේ දී තරගාවලියේ ශූරතාවය දිනා ගත් ‘Chilaw Marians’ කණ්ඩායම එහි දී ජයග්‍රහණය කළ තරග රැසක් පිටුපස මලින්ද පුෂ්පකුමාර පන්දුවෙන් දැක්වූ දක්‍ෂතා කැපී පෙනෙන්නට විය. කෙසේ නමුත් එම ක්‍රීඩා සමාජය තුළ සිදු වී ඇති යම් ගැටලුවක් හේතුකරගෙන ඔවුන්ගේ ප්‍රධාන ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම වෙනත් ක්‍රීඩා සමාජ වෙත මාරුවීම් සිදුකරගෙන ඇති අතර ඒ අනුව පුෂ්පකුමාර ද එළඹෙන තරග වාරයේ දී මෙවර තරගාවලිය දිනා ගැනීමට සිටින ප්‍රබල තරගකරුවෙක් වන කොළඹ ක්‍රිකට් සමාජ කණ්ඩායම නියෝජනය කරනු ඇත.

ශෙහාන් ජයසූරිය

‘Chilaw Marians’ කණ්ඩායමේ සිට කණ්ඩායම් මාරුවක් ලබාගෙන සිටින තවත් ක්‍රීඩකයෙකු වන ශෙහාන් ජයසූරිය මෙම තරග වාරයේ දී නියෝජනය කරනු ලබන්නේ මෙවර තරග වාරය සඳහා උසස් වීමක් ලබාගත් මීගමුව ක්‍රිකට් සමාජ කණ්ඩායමයි. ශෙහාන් අවස්ථාවන් කිහිපයක දී ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම ද නියෝජනය කර ඇති අතර පසුගිය කාලය පුරාවට දේශීය තරගවල අඛණ්ඩව දක්‍ෂතා අතර සිටීම නිසා ජාතික කණ්ඩායමේ සිය ස්ථානය ස්ථාවර කරගැනීමට ඔහු බලාපොරොත්තුවෙන් පසුවනු ඇත.

පොඩි කුසල් ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට

තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය පසුගිය දා අවසන් වූ..

සචිත් පතිරණ

කොළඹ ක්‍රිකට් සමාජ කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකු වූ සචිත් පතිරණ මෙම තරග වාරයේ දී යොවුන් කණ්ඩායමක් වන බදුරලිය ක්‍රිකට් සමාජ කණ්ඩායම සමඟ එක්වෙමින් ඔවුන්ගේ පුහුණුකරු ලෙස මෙන්ම ක්‍රීඩකයෙකු ලෙස ද කණ්ඩායමට සිය දායකත්වය ලබා දෙනු ඇත. මේ වන විට 29 වන වියේ පසුවන ඔහු තරග 23ක දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර ඇති අතර ඒ අනුව ඔහුගේ අත්දැකීම් බදුරලිය කණ්ඩායමට අතිශය වැදගත් වනු ඇත. කෙසේ නමුත් ඔහු නැවතත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරනු ඇත්දැයි යන ගැටලුව තවමත් ඉතිරි වී ඇත.

මිලින්ද සිරිවර්ධන  

මේ වන විට 32 වැනි වියේ පසුවන මිලින්ද සඳරුවන් හට ජාතික කණ්ඩායමේ සිය ස්ථානය අහිමි වී ඇති බවක් දිස්වුවත් ජාතික කණ්ඩායම නියෝජනය කළ කාලය තුළ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස ඔහු කණ්ඩායමට ලබා දුන් දායකත්වය ඉතා විශාල ය. සිය ක්‍රිකට් ක්‍රීඩා දිවිය තුළ කණ්ඩායම් 20කට අධික ප්‍රමාණයක් නියෝජනය කර ඇති ඔහු මෙම තරග වාරයේ දී ‘SSC’ ක්‍රීඩා සමාජයේ සිට ‘Saracens SC’ කණ්ඩායම දක්වා කණ්ඩායම් මාරුවක් සිදුකර ඇත.

නිපුන් කරුණානායක

‘පැංචා’ යන අන්වර්ථ නාමයෙන් ශ්‍රී ලංකා දේශීය ක්‍රිකට් පිටිය තුළ ප්‍රචලිත වී සිටින නිපුන් පසුගිය තරග වාර 2 පුරාවට දේශීය තරගාවලියේ ඉහළම දක්‍ෂතා අතර සිටි ක්‍රීඩකයින් අතරින් කෙනෙකි. ඒ අනුව 2016/17 දේශීය තරග වාරය තුළ ලකුණු 1000කට ආසන්න ප්‍රමාණයක් රැස්කරගත් ඔහු පසුගිය 2017/18 තරග වාරයේ දී ලකුණු 600කට අධික සංඛ්‍යාවක් රැස්කර ගනිමින් විශිෂ්ට දස්කම් දක්වන්නට සමත් විය.

කෙසේ නමුත් පසුගිය තරග වාරයේ දී ඔහු නියෝජනය කළ බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම තරග වාරය අවසානයේ සමස්ත ලකුණු සටහනේ අවසන් ස්ථානයට පත්වීම නිසා ඔවුන්ව තරගාවලියේ ‘B’ කාණ්ඩය දක්වා පහත වැටුණු අතර ඒ අනුව ඔහු මෙවර තරග වාරය සඳහා ‘Saracens SC’ කණ්ඩායම සමඟ එක්වී ඇත. ඒ අනුව ඉදිරිපෙළ පිතිකරුවෙක් ලෙස මෙන්ම පා දඟපන්දු යවන්නෙක් ලෙස ද දක්වන දක්‍ෂතා කණ්ඩායමට තරගාවලියේ දී අතිශය වැදගත් වනු ඇත.

අසිත ප්‍රනාන්දු

මේ වන විට ජාතික කණ්ඩායමේ දොරගුළු අසල සිටින ක්‍රීඩකයෙක් වන අසිත සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති එක්දින තරගයක දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර ඇත. එම තරගයේ දී ඔහු යොමු කළ පන්දුවාර 2 තුළ ලකුණු 22ක් රැස්කර ගන්නට සිම්බාබ්වේ ක්‍රීඩකයින් සමත් වූ අතර එම තරගාවලියේ අවසානය සනිටුහන් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායම තරග 2-3ක් ලෙස තරගාවලිය පරාජයට පත්වෙමිනි.

21 හැවිරිදි අසිත ‘Chilaw Marians’ කණ්ඩායමේ සිට කණ්ඩායම් මාරුවක් සිදු කළ තවත් ක්‍රීඩකයෙකු වන අතර ඒ අනුව මෙම තරග වාරයේ දී ඔහු ‘NCC’ කණ්ඩායම නියෝජනය කරනු ඇත.

සඳුන් වීරක්කොඩි

ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයේ දී අර්ධ ශතකයක් වාර්තා කරගනිමින් ඉහළ දක්‍ෂතා දැක්වූ සඳුන් මේ වන විට ශ්‍රී ලංකා දේශීය ක්‍රිකට් පිටිය තුළ මැකී ගිය නාමයක් බවට පත්ව ඇත.

කෙසේ නමුත් ‘NCC’ කණ්ඩායමේ සිට මෙවර තරග වාරය සඳහා ‘SSC’ කණ්ඩායම වෙත කණ්ඩායම් මාරුවක් ලබාගෙන සිටින ඔහු ඒ අනුව නැවතත් සිය සුපුරුදු දක්‍ෂතා අතරට පැමිණීමට බලාපොරොත්තු වනු ඇත. ඒ සඳහා හොඳ ආරම්භයක් ලබාගත් ඔහු පසුගිය දා අවසන් වූ නැඟී එන තරගාවලියේ දී වේගවත් ශතක දෙකක් වාර්තා කරගනිමින් ’SSC’ කණ්ඩායම තරගාවලියේ ශූරතාවය කරා රැගෙන යන්නට සමත් විය.

සචිත්‍ර සේරසිංහ  

ශ්‍රී ලංකා දේශීය ක්‍රිකට් පිටිය තුළ පසුගිය තරග වාර කිහිපය පුරාවට පිතිහරඹයෙන් මෙන්ම පන්දු යැවීමෙන් ද එක සේ ඉහළ දක්‍ෂතා දැක්වූ ක්‍රීඩකයින් අතර ඉහළින්ම පසුවන්නේ සචිත්‍ර සේරසිංහ යි. ශාරීරික යෝග්‍යතාවය සම්බන්ධ ගැටලු හේතුවෙන් ඔහුට ජාතික ඈත්ව සිටීමට සිදුව ඇතත්, පළමු පෙළ ලකුණු 7000කට සහ කඩුලු 200කට අධික සංඛ්‍යාවක් ලබා ගනිමින් ඔහු ලබාගෙන තිබෙන අත්දැකීම් මෙවර ටැමිල් යූනියන් කණ්ඩායමට අතිශය වැදගත් වනු ඇති බව නොඅනුමාන ය.

කෙසේ නමුත් ඔහු මේ ආකාරයට අඛණ්ඩව දක්‍ෂතා දැක්වීමට සමත් වූවත් වයස අවුරුදු 32 දී ඔහු හට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාවක් ලැබෙයි ද යන්න තවමත් ගැටලුවකි. ඒ අනුව සචිත්‍ර ද ‘Chilaw Marians’ කණ්ඩායමෙන් ඉවත් වී කණ්ඩායම් මාරුවක් ලබා ගත් ක්‍රීඩකයින් අතරින් කෙනෙකි.

අවුරුදු 50 දී ටෙස්ට් වරම් ලබන රුචිර පල්ලියගුරුගේ

ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ හීනය වෙලා තියෙන්නේ තමන්ගේ රටේ ජාතික කණ්ඩායමට…

ඉසුරු උදාන

පසුගිය වසරේ ශූරතාවය දිනා ගත් ‘Chilaw Marians’ කණ්ඩායමේ සිට කණ්ඩායම් මාරුවක් ලබා ගත් තවත් ප්‍රබල ක්‍රීඩකයෙක් වන්නේ ඉසුරු උදාන යි. ඒ අනුව ඔහු මෙවර ප්‍රබල කණ්ඩායමක් සමඟින් තරගාවලියට එක්වන ටැමිල් යූනියන් කණ්ඩායමේ ශක්තිය තවත් ඉහළ නංවනු ඇත.

ඉසුරු උදාන පසුගිය කාලය පුරාවට පන්දුවාර 20 ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන්නට සමත් වූ අතර තවදුරටත් ඔහු ලෝකය පුරා පැවැත්වෙන ‘Franchise Cricket’ තරගාවලි රැසක් සඳහා ද සහභාගී වී ඇත. කෙසේ නමුත් ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් ලබා ගනු ඇතැයි අනුමාන කිරීමට නොහැකි වුවත් ඕනෑම සීමිත පන්දුවාර තරගයක් සඳහා ඔහුගේ වේගපන්දුව අතිශය වැදගත් වනු ඇත. ඒ අනුව ඔහුගේ පන්දු යැවීම ටැමිල් යූනියන් කණ්ඩායමට වැදගත් වන අතරතුර ඔහු මේ වන විට වර්ධනය කරගෙන සිටින ඔහුගේ පිතිහරඹය ද මෙම තරග වාරයේ දී කැපී පෙනෙනු ඇත.

සුරංග ලක්මාල්  

ටැමිල් යූනියන් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකු වූ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ද නායකත්වය දැරූ සුරංග ලක්මාල් මෙම තරග වාරයේ දී නියෝජනය කරනු ලබන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම යි. කෙසේ නමුත් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නවසීලන්ත සහ ඕස්ට්‍රේලියානු සංචාර හේතුවෙන් ඔහුට දේශීය තරගාවලියේ වැඩි ප්‍රමාණයක් මඟහැරෙනු ඇත.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<