හස්මීර් සහ සචිත් ගෝල ලාභීන් අතරට

නිදහස් කුසලාන පාපන්දු ශූරතාවය 2022

219

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරන නිදහස් කුසලාන – සිලෝන් පළාත් ලීගයේ තවත් තරග දෙකක් අද (26) කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා.

එම තරගවලින් උතුරු සහ සබරගමු කණ්ඩායම් අතර තරගය ගෝල රහිතව අවසන් වෙද්දී, බස්නාහිර සහ දකුණු පළාත් කණ්ඩායම් අතර තරගය අවසන් වුනේ ගෝල 1-1ක් ලෙසයි.

උතුරු සහ සබරගමු පළාත්

තරගාවලියේ තෙවැනි තරගය ලෙස සවස් වරුවේ පැවති මෙම තරගය අවසන් වුනේ ජය පැරදුමෙන් තොරවයි.

තරගය ආරම්භයේ සිටම හොඳ තරගකාරීත්වයක් දෙපිලෙන්ම දක්නට ලැබුණු නමුත් තරගයේ පළමු අර්ධය තුළ ගෝල ලබා ගැනීමට හිමි වූ කිසිදු අවස්ථාවක් ගෝලයක් බවට පරිවර්තනය කර ගැනීමට කිසිවෙකුටත් හැකි වුනේ නැහැ.

පළමු අර්ධයේ මෙන්ම දෙවැනි අර්ධය තුළ ද කණ්ඩායම් ද්විත්වයේම ක්‍රීඩකයින් එකිනෙකාට නොදෙවෙනි ක්‍රීඩා රටාවක් පෙන්නුම් කරමින් ගෝල ලබා ගැනීමට ඉතා ආසන්න අවස්ථා කිහිපයක් නිර්මාණය කළත්, ඒවා සාර්ථකව වළක්වන්නට පසුපෙළ ක්‍රීඩකයින්ට හැකි වුනා.

එම නිසාවෙන් තරගයේ තරගය අවසන් වුනේ කිසිදු ගෝලයක් රහිතවයි.

අවසන් ලකුණු තත්වය: උතුරු පළාත 00 – 00 සබරගමු පළාත

බස්නාහිර සහ දකුණු පළාත්

අද (26) රාත්‍රියේ පැවති මෙම තරගය දෙපිලම එක් ගෝලය බැගින් රැස් කිරීම නිසාවෙන් සමව නිමාවට පත් වුනා.

ඊයෙ (25) රාත්‍රි තරගයට මෙන්ම විශාල ප්‍රේක්ෂක සහභාගීත්වයක් තිබූ මෙම තරගයේ 16 වැනි මිනිත්තුවේ දී දඬුවම් රාමුව තුළට ලැබූ පන්දුවක් ගෝලය මධ්‍යයට එල්ල කරමින් පළමු ගෝලය රැස් කිරීමට බස්නාහිර ක්‍රීඩක මොහොමඩ් හස්මීර්ට හැකි වුනා.

එම අර්ධය තුළ වෙනත් කිසිදු ගෝලයක් වාර්තා කිරීමට දකුණු පළාත් ක්‍රීඩකයින්ට නොහැකි වීම නිසාවෙන් පළමු අර්ධය අවසන් වූයේ බස්නාහිර පෙරමුණේ තබමිනුයි.

දෙවැනි අර්ධය ආරම්භයේ සිටම තරගයේ වැඩි පාලනයක් ලබා ගැනීමට දකුණු පළාත් ක්‍රීඩකයින්ට හැකි වූවත්, ගෝල ලබා ගැනීමට ඉතා ආසන්න අවස්ථා කිහිපයක්ම ඔවුන්ට මග හැරී ගියා.

නමුත් තරගයේ අවසන් මිනිත්තු කිහිපයේ දී ක්‍රීඩක ආදේශනයකින් පිටියට පිවිසි යොවුන් ක්‍රීඩක එස්. සචිත් 89 වැනි මිනිත්තුවේ දී ලද පන්දුවක් ප්‍රතිවාදී ගෝල රකින්නා පසු කරමින් දැල වෙත එල්ල කිරීමට සමත් වුනා.

එම ගෝලයෙන් පසුව පිළිතුරු ලෙස කිසිදු ගෝලයක් වාර්තා කිරීමට බස්නාහිර ක්‍රීඩකයින්ට නොහැකි වීම නිසා තරගය ගෝල 1-1ක් ලෙස සමව අවසන් වුනා.

අවසන් ලකුණු තත්වය: දකුණු පළාත 01 – 01 බස්නාහිර පළාත

ගෝල රැස්කළ ක්‍රීඩකයින්,

  • බස්නාහිර පළාත: මොහොමඩ් හස්මීර් 16’
  • දකුණු පළාත: එස්. සචිත් 89’

තරගාවලියේ සියලු තතුවිත්ති ඔබ වෙත ගෙන ඒමට ThePapare.com. සූදානම්. රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය ThePapare.com සමඟ.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<