බස්නාහිර සහ සබරගමුව යාපනයේ දී ජය ගනී

නිදහස් කුසලාන පාපන්දු ශූරතාවය 2022

325

මේ දිනවල දිවයිනේ සෑම පළාතකම පාපන්දු ක්‍රීඩකයින් ඇතුළත් කර ගනිමින් ක්‍රියාත්මක වන නිදහස් කුසලාන – සිලෝන් පළාත් ලීග් පාපන්දු තරගාවලියේ තවත් තරග දෙකක් අද (29) යාපනයේ දී නිමාවට පත්වුනා.

එහි දී දකුණු පළාත් පරාජය කරමින් ජයග්‍රහණය වාර්තා කරන්නට සබරගමුව ක්‍රීඩකයින් සමත් වෙද්දී, මධ්‍යම පළාත් ක්‍රීඩකයින් පරාජය කරන්නට බස්නාහිර පළාත් ක්‍රීඩකයින් සමත් වුනා.

දකුණ සහ සබරගමුව පළාත් අතර තරගය

යාපනය අරියාල් පාපන්දු පුහුණු මධ්‍යස්ථානයේ දී පැවති මෙම තරගයෙන් ගෝල 1-0ක ජයක් වාර්තා කරන්නට සබරගමුව ක්‍රීඩකයින් සමත් වුනා.

තරගයේ පළමු අර්ධය ඉතාමත් තියුණු මුහුණු වරක් ගත් අතර එම වටය අවසානය වන තෙක් කිසිදු ගෝලයක් වාර්තා කරන්නට දෙපිලේම ක්‍රීඩකයින් සමත් වුනේ නැහැ.

තරගයේ ජයග්‍රහණය තීරණය කළ ගෝල වාර්තා වුනේ දෙවැනි අර්ධයේ 58 වැනි මිනිත්තුවේ දීයි. සබරගමුව ක්‍රීඩක මොහොමඩ් මුෂ්ෆික් විසින් වාර්තා කළ එම ගෝලයට ප්‍රතිඋත්තර දෙන්නට දකුණේ ක්‍රීඩකයින් අසමත් වූ අතර ඒ අනුව තරගය ජය ගත්තේ සබරගමුව ක්‍රීඩකයින් විසිනුයි.

අවසන් ලකුණු තත්වය: දකුණු පළාත 0 – 1 සබරගමුව පළාත

ගෝල ලාභීන්:

  • සබරගමුව: H. M. මුෂ්ෆික් (58’)

මධ්‍යම සහ බස්නාහිර පළාත් අතර තරගය

යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය අවසන් වුනේ ගෝල 3-0ක් ලෙස බස්නාහිර පළාත් ක්‍රීඩකයින් ජයග්‍රහණය වාර්තා කරමින්.

තරගයේ පළමු අර්ධය ගෝල රහිතව අවසන් වන බවක් පෙනෙන්නට තිබුනත්, Sojod Jazook විසින් දක්ෂ ලෙස පන්දුව ගෝල රාමුව තුලට එල්ල කරමින් ගෝල 1-0ක් ලෙස පළමු අර්ධය අවසන් කරන්නට සමත් වුනා.

දෙවැනි අර්ධය ආරම්භ වී මිනිත්තු 4ක් යන්නට මත්තෙන් බස්නාහිර ලකුණු පුවරුව දෙගුණ කරමින් ගෝලයක් වාර්තා කරන්නට බස්නාහිර ක්‍රීඩක මොහොමඩ් හස්මීර් සමත් වුනා.

ඉන් අනතුරුව තරගයේ දෙවැනි අර්ධයේ අවසානය වන තෙක් කිසිදු ගෝලයක් වාර්තා නොවූ නමුත් අතිරේක කාලයේ දී ක්‍රීඩක ආදේශයක් මඟින් පිටියට පිවිසි නවීන් ජූඩ් විසින් ලකුණු පුවරුව තෙගුණ කරමින් බස්නාහිර ලකුණු පුවරුවට තවත් ගෝලයක් එකතු කළා.

එම ගෝලයත් සමඟින් තරගය අවසන් වුනේ මධ්‍යම පළාත් ක්‍රීඩකයින් කිසිදු ගෝලයක් වාර්තා නොකර හිස් අතින් නිවෙස් බලා ගමන් කරමිනුයි.

අවසන් ලකුණු තත්වය: මධ්‍යම පළාත 0 – 3 බස්නාහිර පළාත්

ගෝල ලාභීන්:

  • බස්නාහිර: Sojod Jazook (43’), මොහොමඩ් හස්මීර් (49’), නවීන් ජූඩ් (90+3)

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානයක කරන මෙම තරගාවලියේ තවත් තරග දෙකක් හෙටත් (30) අරියාල් සහ දොරේඅප්පා ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<