සාහිර්ගේ ගෝලයෙන් ඌවට පළමු ජයග්‍රහණය

නිදහස් කුසලාන පාපන්දු ශූරතාවය 2022

231

75 වැනි නිදහස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරන නිදහස් කුසලාන – සිලෝන් පළාත් ලීගය අද (25) කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගණයේ දී නිල වශයෙන් ආරම්භ වුනා.

තරගාවලියේ අද පැවති තරගවලින් නැගෙනහිර සහ මධ්‍යම පළාත් අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන් වෙද්දී, වයඹ සහ ඌව කණ්ඩායම් අතර තරගයේ ජය හිමි වුනේ ඌව කණ්ඩායමටයි.

තරගාවලිය ආරම්භ කරමින් අද සවස් වරුවේ තරගයක් පැවති අතර එම තරගයෙන් පසුව රාත්‍රියේ පැවති සමාරම්භක උළෙලෙන් පසුව තරගාවලිය නිල වශයෙන් ආරම්භ වුනා

නැගෙනහිර කණ්ඩායම සහ මධ්‍යම කණ්ඩායම

තරගාවලියේ පළමු තරගය වූ මෙම තරගය අද (25) සවස් වරුවේ පැවැත්වුණේ කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගණයේ දීයි.

තරගාවලිය ජයග්‍රාහීව ඇරඹීමේ බලාපොරොත්තුවෙන් දෙපිලේම ක්‍රීඩකයින් පිටියට පිවිසි නමුත් පළමු අර්ධයේ කිසිදු ගෝලයක් ලබා ගැනීමට අවස්ථාවක් නිර්මාණය කරගන්නට කිසිවෙකුට හැකි වුනේ නැහැ.

පළමු අර්ධයේ සිදු වූ අඩුපාඩු මගහරවා ගනිමින් ගෝල ලබා ගැනීමේ අරමුණින් කණ්ඩායම් ද්විත්වයේම ක්‍රීඩකයින් නැවතත් තරගයට අවතීර්ණ වුනත්, එම අර්ධය ද ගෝල රහිතව නිමා වුනා.

එම නිසාවෙන් තරගාවලියේ පළමු තරගය අවසන් වුනේ ජය පරාජයෙන් තොරවයි.

අවසන් ලකුණු තත්වය: නැගෙනහිර 00 – 00 මධ්‍යම

වයඹ කණ්ඩායම සහ ඌව කණ්ඩායම

කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගණයේ අද (22) රාත්‍රියේ පැවති මෙම තරගයේ ජය හිමි වුනේ ඌව කණ්ඩායමටයි.

ඉතා ඉහළ ප්‍රේක්ෂක සහභාගීත්වයකින් පැවති මෙම තරගයේ දසවැනි මිනිත්තුවේ දී ලද නිදහස් පහරක් සාර්ථක කර ගත් ඌව කණ්ඩායමේ ෆිරාස් සාහීර් තරගාවලියේ පළමු ගෝලය වාර්තා කළා.

එම අර්ධය තුළ දී වයඹ ක්‍රීඩකයින් තරමක සටන්කාමී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළත්, කිසිදු ගෝලයක් වාර්තා කිරීමට ඔවුන්ට නොහැකි වූ නිසා එම අර්ධය අවසන් වුනේ ඌව ක්‍රීඩකයින්ට වාසි ගෙන දෙමිනුයි.

පෙර අර්ධයේ සිදු වූ පසුබෑමෙන් පසුව දෙවැනි අර්ධයේ වැඩි ආධිපත්‍යක් පැතිරවීමට වයඹ ක්‍රීඩකයින්ට හැකි වූවත්, ප්‍රතිවාදී පසුපෙළ ක්‍රීඩකයින්ගේ දස්කම් සහ ගෝල ලබා ගැනීමට ලැබූ අවස්ථා සාර්ථකව අවසන් කිරීමට ඔවුන්ට හැකි වුනේ නැහැ.

එම නිසාවෙන් මෙම තරගය ගෝල 1-0ක් ලෙස ජය ගනිමින් තරගාවලියේ පළමු ජයග්‍රහණය ලැබීමට ඌව ක්‍රීඩකයින්ට හැකි වුනා.

අවසන් ලකුණු තත්වය: වයඹ කණ්ඩායම 00 – 01 ඌව කණ්ඩායම

ගෝල ලබා ගත් ක්‍රීඩකයින්,

  • ඌව කණ්ඩායම: ෆිරාස් සාහීර් 10’

තරගාවලියේ සියලු තතුවිත්ති ඔබ වෙත ගෙන ඒමට ThePapare.com. සූදානම්. රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය ThePapare.com සමඟ.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<