මැරුවා ද? එහෙම නැත්තම් මැරුණා ද?

1993
guilty or not guilty 'the tragedy story of Oscar Pistorius' feature

“මට නිදා ගන්න බයයි, එදා රාත්‍රියේ සිදු වුන දේවල් ගැන මට මහා භයානක හීන පේනවා. සමහර වෙලාවට මට ලේ සුවඳ දැනෙනවා, ඒ එක්කම මම බය වෙලා නින්දෙන් ඇහැරෙනවා.”

“මම උත්සාහ කළේ Reevaව ආරක්ෂා කරගන්නයි.”

තමන්ගේ පෙම්වතිය වෙඩි තබා ඝාතනය කිරීමේ වරද පිළිගනිමින් Oscar Pistorius පවසන්නේ එය හිතාමතාම සිදු වූවක් නොවන බව.

ඒ වගේම ඒ මිය යාම තමන්ගේ මානසික මට්ටමට විශාල බලපෑමක් එල්ල කළ බවත් Oscar උසාවියේ දී කියනවා.

Oscar Pistorius
Oscar Pistorius සහ ඔහු අතින් ඝාතනය වූ පෙම්වතිය Reeva Steenkamp

ඒ උසාවිය තුලම Oscarගේ පෙම්වතිය වුන Reeva Steenkampගේ දෙමාපියනුත් ඉන්නවා.

Oscar ඒ අතරින් Reevaගේ මව තෝරා ගන්නවා, ඇය දෙස බලමින් ඇයව ආමන්ත්‍රණය කරමින් ඔහු මෙහෙම කියනවා.

“ඒ ඛේදවාචකය සිදු වුනායින් පස්සේ මම ඔබේ පවුල ගැන නොහිතා හිටපු වෙලාවක් නැති තරම්.

මම උදේ නින්දෙන් ඇහැරුණු ගමන් මට මුලින් ම මතක් වෙන්නේ ඔබව. මම මුලින් ම යාච්ඤා කරන්නෙත් ඔබ වෙනුවෙන්.”

එහෙම පවසන Oscar උසාවිය තුල කිහිප වරක් ම කඳුළු සලනවා, තවත් බොහෝ දේ සිදු වෙනවා.

දකුණු අප්‍රිකාවෙන් බිහි වුනු ලෝක ප්‍රසිද්ධ කෙටිදුර ධාවකයෙක් වුන Oscar Pistorius විසින් 2013 වසරේ ආදරවන්තයින්ගේ දිනය දවසේ දී සිය පෙම්වතියට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් විභාග කිරීමට කැඳවූ නඩුව විදෙස් මාධ්‍ය මගින් වාර්තා කරද්දී නිතරම භාවිත කරපු වචනයක් තිබුණා.

“Oscar Pistorius සම්බන්ධ වුනු Reeva Steenkampගේ ඝාතන නඩුව නාට්‍යානුසාර එකක් විය.”

Oscar Pistorius
නඩු විභාගයේ අවශ්‍යතාව මත Oscar හට සිය කෘතිම පාද ගලවා නඩුවට ඉදිරිපත් වීමට සිදු වුනා.

මේ ඝාතනය සිදු වෙලා වසර දහයක් ගෙවුණේ පසුගිය පෙබරවාරි 14 වැනිදාට.

මේ වෙද්දීත් Oscar Pistorius විසින් එම ඝාතනය වෙනුවෙන් 17 වසරක සිර දඬුවමක් ගෙවනා ගමනුයි ඉන්නේ.

නමුත් අදටත් මේ මිනීමැරුම සහ ඒ හා බැඳුණු නඩු කටයුතු පිළිබඳ විදෙස් මාධ්‍යවල කතාබහ ඇති වෙන්නේ ඒක තරමක් විශේෂ එකක් වුන නිසා.

මොකද අදටත් Oscar විසින් උසාවියේ දී හැසිරුණු අන්දම මවා පෑමක් කියලා විශ්වාස කරන අය ඉන්න නිසා. ඒ නිසයි “නාට්‍යානුසාර” කියන වචනය වුනත් වැඩියෙන් භාවිතා වෙන්නේ.

“දරුවන් අහිමි වූ දෙමාපියන්ට ඔවුන් තවදුරටත් තමන් ළඟ නැති බව වටහා ගෙන නැවත ප්‍රකෘති තත්වයට එන්න ලොකු කාලයක් ගත වෙනවා.

අපි ඇයට ගොඩක් ආදරය කළා, ඇය නැති අඩුව තවමත් අපිට දැනෙනවා. අපේ ජීවිතයෙන් කොටසක් ඉවත් වෙලා ගියා. අපි ඇයව ආයෙත් දවසක දකී වී, ඒ දවස උදා වෙනකනුයි දැන් අපි බලා ගෙන ඉන්නේ.”

දස වසරකට පසුව තමන්ගේ දියණියගේ වියෝව ගැන ඇයගේ මව June Steenkamp කියන්නේ විදිහට.

දස වසරකට පසුවත් ඔවුන්ට ඒ වියෝව දරා ගන්න බැරි වෙලා තියෙනවා.

මෑත දවසක දී සිර දඬුවම් ලබන Oscar ව මුණ ගැහෙන්න Reeva ගේ පියා යනවා.

“මටයි, Juneටයි දැන ගන්න ඕන එකම එක දෙයයි. ඒ ඇත්ත කියලා අපිට දැනෙන දේ ගැන. ඔහු ඇයව ඇත්තටම මැරුවේ තරහක් හිතේ තියා ගෙන ද කියලයි අපිට දැන ගන්න අවශ්‍ය.”

නමුත් Oscar ඒ පිළිබඳව කිසිම දෙයක් කියන්නේ නැහැ.

අවසානයේ Reevaගේ දෙමාපියන් බලාපොරොත්තු විරහිතව නැවත එනවා.

“Oscar විතරයි ඇත්ත කතාව දන්නේ.”

මේ වෙනකම් කියවපු අගක් මුලක් නැති කතාවේ Oscar Pistorius ව ඔබට මතක ද?

දකුණු අප්‍රිකාව බිහි කරපු විශිෂ්ට ධාවන ශූරයෙක් කිව්වට, ඇත්තටම Oscar ගැන කියන්න ඊට වඩා සෑහෙන්න දේවල් තියෙනවා.

Oscar Pistorius
2012 ඔලිම්පික් උළෙලට ඉදිරිපත් වෙමින් ඉතිහාස ගත වූ Oscar

අපි Oscarගේ අතීතය කරුණු විදිහට පෙළ ගස්වා ගමු!

  • 1986 නොවැම්බර් 22 දින දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් හීදී Oscar Pistorius උපත ලබනවා.
  • Oscarට වයස මාස 11ක් වන විට උපතින් ම ඔහුට උරුම වූ දුර්වල පාද යුගලය සැත්කමක් මගින් ඉවත් කරනවා.
  • පසුව ඔහු කුඩා වියේ පටන් ම කෘතීම පාද මගින් ඇවිදීම මෙන්ම ක්‍රියාශීලී ව දිවීම් පවා පුරුදු පුහුණු වනවා.
  • එහි දිගුවක් ලෙස ඔහු රග්බි ක්‍රීඩාවට යොමු වෙන නමුත්, දණ හිසේ ඇති වූ ආබාධයක් නිසා රග්බි වලට සමුදුන් Oscar පසුව ධාවන ඉසව්වලට යොමු වෙනවා.
  • සිය පළමු පැරා ඔලිම්පික් අත්දැකීම 2004 වසරේ දී ලද Oscar විසින් එහි දී එක් රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගන්නවා.
  • 2003 බීජීං පැරා ඔලිම්පික් උළෙලේ දී ඔහු තවත් රන් පදක්කම් තුනක් ජයග්‍රහණය කිරීමට සමත් වනවා.
  • 2012 දී ඔහු විසින් ලන්ඩන් හී පැවැත්වුණු පැරා ඔලිම්පික් සහ ඔලිම්පික් උළෙල ද්විත්වයටම සුදුසුකම් ලැබීමට සමත් වනවා.
  • ඒ වගේම 2012 පැරා ඔලිම්පික් උළෙලේ දීත් රන් පදක්කම් දෙකක් සහ එක් රිදී පදක්කමක් හිමි කර ගැනීමට Oscar විසින් සමත් වන අතර, 2012 ඔලිම්පික් උළෙල නියෝජනය කරමින් මීටර් 400 ඉසව්වේ අවසන් පූර්ව වටය දක්වා යාමට Oscar සමත් වනවා.
  • ඒ අනුව දෙපා යුගලයම අහිමි ව ඔලිම්පික් උළෙලක් නියෝජනය කිරීමට සමත් වූ ලොව ප්‍රථමයා බවට පත් වීමට Oscar විසින් සමත් වනවා. (පැරා ඔලිම්පික් සහ ඔලිම්පික් උළෙල දෙකම නියෝජනය කළ ලොව දසවැන්නා බවට පත්වීමට එහි දී Oscar සමත් වූ අතර, එතෙක් දෙපා අහිමි කිසිවකු හෝ එවැනි දස්කමක් පෙන්වා තිබුණේ නැහැ.)
  • මීට අමතරව IAAF (ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනය) විසින් ඔහු දිවීමට භාවිත කරන කෘතීම පාද ඔහුට අමතර වාසියක් ලබා දෙන බවට චෝදනා එල්ල කළත් පසුව ඔහු එම චෝදනා වලින් නිදොස් වීමට සමත් වුනා.
  • එමෙන්ම තමන්ට එල්ල වූ චෝදනා තමන්ගේ ම වාසියට හේතු කර ගත් Oscar විසින් ආබාධිත නොවන ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා තරගාවලි සඳහා ඇතුළත් වීමට එය අවස්ථාවක් කර ගන්නවා. පසුව ඔහු නීත්‍යානුකූල අවසරය සමග එම තරගාවලි සඳහා සහභාගී වීමට සුදුසුකම් ලැබූ අතර, 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලට සහභාගී වීමට ඔහුට අවස්ථාව හිමි වන්නේ එහිම දිගුවක් ලෙසයි.
  • එමෙන්ම එම ඔලිම්පික් උළෙලට පෙර 2011 දී ලෝක මලල ක්‍රීඩා ලෝක ශූරතාවලියට සහභාගී වූ Oscar විසින් එහි දී මීටර 400×4 ඉසව්වේ දී දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වෙමින් එවැනි දස්කමක් පෑ ලොව ප්‍රථමයා වීමේ භාග්‍යය ද උදා කර ගත්තා.
  • 2013 වසරේ පෙබරවාරි 14 දින ඔහු අතින් සිය පෙම්වතිය වූ Reeva Steenkamp වෙත වෙඩි පහර හතරක් එල්ල වී තිබූ අතර, ඉන් ඇයට ජීවිතය අහිමි ව ගියා.
  • එම වසරේ දීම ඔහු සාපරාධී මිනීමැරුමක් සම්බන්ධයෙන් වරදකරු ලෙස උසාවිය නම් කළ අතර, ඔහුට වසර පහක සිර දඬුවමක් හිමි වුනා.
  • 2015 දී ඔහුට ලැබුණු දඬුවම ලිහිල් කරමින් ඔහුව නිවාස අඩස්සියට පත් කළ අතර, පසුව එම වසරේ දීම නැවතත් උසාවිය මගින් එම නඩුව විභාගයට ගත්තා.
  • 2016 දී ඔහුට නැවත වසර හයක සිර දඬුවමක් නියම වූ අතර, 2017 දී එය වසර 13ක් සහ මාස පහක් දක්වා දිගු කෙරුණා.

මේ තමයි Oscar Pistorius කියන මලල ක්‍රීඩකයාගේ ජීවිත කතාව. ඔහු 2017 සිට අද වෙනකම් තමන්ට නියමිත සිර දඬුවම භුක්ති විඳිමිනුයි ඉන්නේ.

‍නමුත් දැන් දකුණු අප්‍රිකාවෙන් වාර්තා වෙන විදිහට නම් Oscarට මේ වසරේ මාර්තු මාසයේ දී තමන්ගේ දඬුවම් කාලය කෙටි කර ගන්න අභියාචනයක් ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා.

ඒත් ඒ එක්කම ආයෙත් කතාබහට බඳුන් වෙන කාරණයක් තියෙනවා,

මීට වසර දහයකට පෙර Oscar සිතා මතාම තමන්ගේ පෙම්වතියට වෙඩි තැබුවා ද නැද්ද කියන දේ.

Oscar Pistoriusඑදා සිදුවීමෙන් පසුව ඔහු උසාවිය තුල හඬා වැලපුණ බව ලිපියේ පෙරත් සඳහන් කළා, ඊට අමතරව උසාවියේ දී Reeva ඝාතනය වූ පසු ගත්තු ඡායාරූප පෙන්වන්න උත්සාහ කරද්දී Oscar විසින් වමනය කරමින් කියන්නේ තමන් ඇයගේ මරණයෙන් පසුව ඇය ළඟ හිඳ ගෙන සිටි බව සහ තමන්ට නැවතත් ඒ දෙස බැලීමට නොහැකි බව.

නමුත් අදාළ කාලය තුලම කතාබහට ලක් වුන කාරණයක් තමයි Oscar විසින් මේ විදිහට උසාවිය තුල හැසිරෙන්න පෙර පුහුණුවීම් සිදු කරලා තියෙනවා කියන කාරණය.

ඇත්ත නැත්ත හරි හැටි නොදන්නවා වුනත්, Oscar Pistorius ගැන Reevaගේ දෙමාපියන්ට ඇති සැකය තරමක් දුරට සාධාරණයි කියලා තහවුරු වෙන තවත් කාරණා කිහිපයක් ම තියෙනවා.

ඒ අතරින් තමන්ගේ නිවසට හොරෙක් ඇතුළු වෙන්න උත්සාහ කරනවා යැයි සිතමින් වෙඩි පහර එල්ල කළ බවත්, එයින් Reeva මිය ගිය බවත් තමයි Oscar උසාවියේ දී කියන්නේ. ඒත් ඔහුගේ අසල්වාසීන් නම් කියන්නේ වෙඩි ශබ්ද ඇහෙන්න කලින් මේ දෙදෙනා අතර බහින්බස් වෙන ශබ්ද ඇහුණු බව.

ඒ වගේම Reeva සහ Oscar අතර සම්බන්ධය ඒ තරම්ම දිග කාලයක් පැවතුණු එකක් නොවුනත්, ඔවුන් අතර යම් ගැටුම් ඇති වුන බවටත් සාක්ෂි ඉතුරු වෙලා තිබුණා.

“සමහර වෙලාවට ඔබ මට පහර දෙන ආකාරය නිසා සහ ප්‍රතිචාර දක්වන ආකාරය නිසා මම බියට පත් වෙනවා.”

Reeva ඇයගේ මරණයට සති දෙකකට පමණ පෙර Oscarට ඒ විදිහේ කෙටි පණිවිඩයක් එවනවා.

ඒ විතරකුත් නෙවෙයි, මේ සිදුවීමෙන් පසුව Oscarගේ හිටපු පෙම්වතියක් විසින් හෙළිදරව් කරන්නේ Oscar විසින් තමන්ට ශාරීරිකව සහ මානසිකව වද හිංසා පමුණුවපු බව. සමහර වෙලාවට Oscar විසින් තමන්ට කිසිම ආහාරයක් ලබා නොදී කාමරයක් ඇතුළේ හිර කරලා තියපු බව ඇය හෙලි කරනවා.

Oscar Pistorius
සිය දියණියගේ මියයාමට හේතු වූ Oscar දෙස බලා හිඳින Reeva ගේ පියා

ඒ හැම දෙයක්ම ඒ විදිහට සිදු වෙද්දී, මේ කතාවේ වැදගත්ම කොටස ලියැවෙන්නේ Reevaගේ දෙමාපියන් අතින් කියලයි මම විශ්වාස කරන්නේ.

2015 දී Oscarව හිරෙන් නිදහස් කරමින් ඔහුව නිවාස අඩස්සියට පත් කරවනවා. ඒ කාලයේ දී Oscar ලද නිදහස ගැන අදහස් දක්වපු Reevaගේ මව කියන්නේ Oscar මේ සිදුවීම නිසා වේදනා විඳිනවා දකින්න තමන්ට අවශ්‍ය නොවන බව.

“මට ඔහුව හිරේ යනවා බලන්නවත්, දුක් විඳිනවා බලන්නවත් අවශ්‍ය නැහැ. මොකද මම කැමති නැහැ කිසිම කෙනෙක් දුක් විඳිනවා දකින්න. ඒ වගේම ඒකෙන් නැවත Reeva අපි ළඟට එන්නෙත් නැහැ.”

ඒ වගේම Oscar විසින් තම දඬුවම් කාලය අඩු කර ගන්න අභියාචනය (Parole) කරන්න සූදානම් වෙන බව දැන ගත්තු Reeva ගේ පියා ඊට ලබා දෙන්නෙත් මධ්‍යස්ථ පිළිතුරක්.

“ඔහු Parole එකකට යනවා නම්, මෙතෙක් කල් හැම දෙයක්ම නීතිය අනූව සිදු වුනා වගේම ඒකත් නීතිය විසින් බලා ගනීවී. ඔහු විසින් එහෙම ඉල්ලීමක් කරපු එකට මම විරුද්ධ වෙන්නේ නැහැ.”

තමන්ගේ දියණිය ඝාතනයේ වරදකරුවා, තමන් අහන ප්‍රශ්නයකට පවා පිළිතුරු දීම මග හරින මේ පුද්ගලයා ගැන Reevaගේ දෙමාපියන් විසින් දරන්නේ ඒ විදිහේ අදහසක්.

Oscar Pistorius
Reeva Steenkamp ගේ දෙමාපියන්

දෙමාපියන් විදිහට විඳින්න පුළුවන් දරුණුතම දුක විඳින්න සිදුවුණු මේ යුවල වෙනුවෙන් මොහොතකට ඔබට කම්පා හිතේවී.

එහෙම වෙන්න ප්‍රධානතම හේතුව ඔවුන් තවදුරටත් වරද කරුවා වෙත පෙන්වන උපේක්ෂා සහගත බව.

ඇත්තටම මේක Oscar Pistorius පිළිබඳ ලියපු ලිපියක් වුනත්, කතාවේ සැබෑ ම වීරයින් කවුද කියලා තෝරා ගැනීම මම ඔබට බාර කරනවා.

ඒ එක්කම තම දියණියගේ වියෝව ගැන මීට කාලයකට කලින් ඇයගේ මව June විසින් කරපු ප්‍රකාශයක් සඳහන් කරමින් ම ලිපිය අවසන් කරන්නම්.

ඇය මේ ප්‍රකාශය කරන්නේ Reevaගේ ඝාතනය සිදු වුන කාලයේදීමයි.

“උසාවියේ නඩුවෙන් පස්සේ මට අවශ්‍ය වුනේ පුටුවක වාඩි වෙලා අඬන්නයි. නමුත් මම පස්සේ හිතුවා, නැහැ මට අඬමින් ඉන්න බැහැ. මම කුමක් හෝ කළ යුතුයි කියලා.”

පසුව Reevaගේ මව විසින් ප්‍රචණ්ඩත්වයට සහ අපයෝජනයට ලක් වූවන් දැනුවත් කිරීමට සහ බල ගැන්වීමේ අරමුණින් Reeva Rebecca Steenkamp Foundation නමින් පදනමක් පිහිටුවන්න තීරණය කරනවා.

Oscar Pistoriusගේ අනාගතය පිළිබඳ ලැබෙන උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමටත් ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<