නිරෝධායන කාලය අඩු කරමින් ශ්‍රී ලංකා-බංග්ලාදේශ තරගාවලිය ඉදිරියට?

468
Sri Lanka Tour

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා එරටට පැමිණෙන බංග්ලාදේශ සංචිතය දින 7ක කාලයක් නිරෝධායනයට ලක්විය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඔවුන්ට දන්වා සිටි බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් ඊයේ (12) දිනයේ දී තහවුරු කරනු ලැබීය. 

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සහ ආරක්‍ෂක බලධාරීන් විසින් බංග්ලාදේශ සංචිතය සඳහා දින 14ක නිරෝධායන කාලසීමාවක් නිර්දේශ කර තිබීමත් සමඟ මෙම සංචාරය පැවැත්වීම අවිනිශ්චිත තත්වයකට පත්ව ඇති බව මීට පෙර වාර්තා වුවත් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි Nizamuddin Chowdhury පවසා සිටින්නේ එම නිරෝධායන කාලසීමාව දින 7ක එකක් පමණක් වනු ඇති බවට සත්කාරක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඔවුන්ට මේ වන විට දන්වා ඇති බවයි.  

“අපි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ මේ ගැන නිරන්තරයෙන් කතාබහ කරනවා. අපි ඔවුන්ගෙන් මේකට අදාළව විස්තර සහිත සැලසුම් ඉල්ලා සිටියා. ඒත් ඔවුන් අපිට දැන්වූවා නිරෝධායන කාලය ගැන සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ ඔවුන් තාම සාකච්ඡා කරමින් ඉන්නේ කියලා. ඒ අනුව ඔවුන් උත්සාහ කරන්නේ නිරෝධායන කාලසීමාවේ දවස් ගණන හැකි තරම් අඩු කරලා ඒක අපේ ක්‍රීඩකයින්ට දරාගන්න පුළුවන් තත්වයකට ගේන්න. 

අපි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ අන්තිමට කතාබහ කරපු වෙලේ ඔවුන් අපිට කිව්වේ ශ්‍රී ලංකාවට ආවට පස්සේ පළවෙනි දවස් 7ක කාලය අපිට නිරෝධායනයට ලක්වෙන්න වෙනවා කියලා. ඊට පස්සේ ක්‍රීඩකයින්ට ඔවුන්ගේ පුහුණු කාලසටහනට අනුව කටයුතු කරන්න පුළුවන්. ඒ විදිහට දවස් 7ක නිරෝධායන කාලයක් විතරයි නම් තියෙන්නේ අපිට අපේ සැලසුම්වලට අනුව ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒත් මේ ගැන වැඩිදුර යමක් කියන්න කලින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් හරි ප්‍රතිචාරයක් ලැබෙනකන් අපි ඉන්න ඕනේ කියලයි මම හිතන්නේ”  Nizamuddin විසින් Sher-e-Bangla ක්‍රීඩාංගණයේ දී මාධ්‍ය අමතමින් ඊයේ පවසා සිටියේ ය. 

බංග්ලාදේශ කණ්ඩායමේ මෙම ශ්‍රී ලංකා සංචාරය ජූලි සහ අගෝස්තු මාසවල දී පැවැත්වීමට ආරම්භයේ දී සැලසුම් කර තිබුනත් COVID-19 වසංගත තත්වය හේතුවෙන් එය කල් දැමීමට පසුව තීරණය කෙරිණි. ඒ අනුව මේ වන විට ඇති සැලසුම්වලට අනුව තරගාවලියට සහභාගී වන බංග්ලාදේශ සංචිතය මෙම සැප්තැම්බර් මස 27 වැනි දින ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිතව ඇති අතර අනතුරුව තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය එළඹෙන ඔක්තෝබර් මස 24 වැනි දින ආරම්භ කිරීමට නියමිත ය. 

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් Nizamuddin ප්‍රකාශ කර සිටියේ සත්කාරක ශ්‍රී ලංකාව තරගාවලියේ නිල කාලසටහන සහ ‘bio-bubble’ සැලැස්ම නිර්මාණය කිරීමට ප්‍රමාද වීම හේතුවෙන් බංග්ලාදේශය විසින් මෙම සංචාරයේ ඔවුන්ගේ සැලැස්ම නිර්මාණය කිරීමේ දී ගැටලු කිහිපයකට මුහුණ දී ඇති බවත්, ඒ හේතුවෙන් ඔවුන්ට ඊට අදාළව ප්‍රමාද වී වෙනස්කම් කිහිපයක් කිරීමට සිදුවීමට ඉඩකඩක් ඇති බවත් ය. 

කෙසේ නමුත් වත්මන් COVID-19 තත්වයත් සමඟ කටයුතු ශීඝ්‍රයෙන් වෙනස් වීම හේතුවෙන් එවන් ප්‍රමාද සිදුවීම සාමාන්‍ය දෙයක් බව ද ඔහු මෙහි දී ප්‍රකාශ කරනු ලැබීය. 

“මම හිතන්නේ නැහැ ඔවුන් හිතාමතා ම කිසිම ප්‍රමාදයක් සිදු කරනවා කියලා. ඔවුන්ගේ සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්ක සාකච්ඡා කරලා මේ ගැන රජයෙන් ලැබෙන තොරතුරු සහ නිර්දේශ ඊට පස්සේ ඔවුන් අපිට සන්නිවේදනය කරයි. ඔවුන් දැන් ඒ සඳහා උත්සාහ කරමින් ඉන්නේ. ඉතින් ඒ ගැන හරියට ම ඉදිරි දින 2-3 තුළ අපිට ඔවුන්ගෙන් දැනගන්න ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. 

තරගාවලියේ සත්කාරකත්වය දරන්නේ ශ්‍රී ලංකාව නිසා ඊට අදාළ ගොඩක් දේවල් යැපෙන්නේ ඔවුන් මත. මේක ඔවුන්ට වගේම අපිටත් අලුත් තත්වයක්. තරගාවලිය පැවැත්වෙන්නේ මාසයක කාලයකින් පස්සේ. ඔවුන්ගේ රජයට ඒ ගැන තක්සේරු කරන්න වෙන්නේ තරගාවලියට මාසයක කාලයකට හෝ ඊට වැඩි දවස් ගාණකට කලින්. ඒ අනුව ඔවුන්ට මීට අදාළව කටයුතු කරන්න වෙන්නේ ශ්‍රී ලංකාව තුළ පවතින තත්වයත් එක්ක. ඉතින් ඒක ඔවුන්ට ලේසි කටයුත්තක් නෙමෙයි. 

අපේ සමහරක් විදේශීය පුහුණුකරුවන් කෙළින් ම කොළඹ දී ම අපේ කණ්ඩායම සමඟ එක්වෙන්න සැලසුම් කරලා තියෙන්නේ. ඉතින් අපි දැනගන්න ඕනේ ඔවුන්ට අදාළ නියාමවලිය මොකක්ද වගේම කණ්ඩායම සමඟ යන අයට තියෙන නියාමවලිය මොකක්ද කියලත්. ඒ ගැන අදාළ අමාත්‍යංශයේ නිල තීරණය මොකක්ද කියලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපිට ඉක්මනින් දැනුම් දෙයි. ඉදිරි දින 2-3 තුළ ඒ ගැනත් ඔවුන් අපිට දැනුම් දෙයි කියලා අපි විශ්වාස කරනවා.

සමහර විට අපිට අපේ සැලසුම්වලට පොඩි පොඩි වෙනස්කම් කරන්න සිදු වෙයි. ඒක තේරුම් ගත යුතු දෙයක් වගේම අපි ඊට අනුව සූදානම් වෙමින් සිටින නිසා මම හිතන්නේ නැහැ ඒකෙන් ලොකු බලපෑමක් වෙයි කියලා.”

මේ අතරතුර බංග්ලාදේශය පසුගිය සඳුදා (07) ශ්‍රී ලංකා සංචාරය සඳහා සහභාගී කරවීමට බලාපොරොත්තු වන සාමාජිකයින් 24 දෙනාගේ COVID-19 පරීක්‍ෂණ සම්පූර්ණ කරමින් ඔවුන්ගේ සූදානම් වීමේ කටයුතු ආරම්භ කරනු ලැබූ අතර මෙම සම්පූර්ණ කණ්ඩායම ක්‍රීඩකයින්ට අමතරව සහය කාර්යමණ්ඩලය සහ අධි කාර්ය සාධන ඒකකයේ සාමාජිකයින් කිහිප දෙනෙකුගෙන් සමන්විත වේ. 

තවත් කියවන්න;

COVID-19 වසංගත තත්වය පැතිර යාමෙන් අනතුරුව ශ්‍රී ලංකාව මෙන්ම බංග්ලාදේශයත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කටයුතු නැවත ආරම්භ කරන්නේ මෙම තරගාවලියෙන් වන අතර ඒ අනුව එය ආරම්භ වීමට පෙර බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් ඔවුන්ගේ ක්‍රීඩකයින්ට සතියක කාලයක් පුරාවට දිවෙන නේවාසික පුහුණු කඳවුරක් පැවැත්වීමට ද සැලසුම් කර ඇත. එය මෙම සැප්තැම්බර් මස 21 වන දින ආරම්භ වීමට නියමිත ය. 

තවදුරටත් ඔවුන් අදියර 4ක් යටතේ COVID-19 පරීක්‍ෂණ පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ඉන් පරීක්‍ෂණ 3ක් මෙම මස 18, 21 සහ 24 යන තෙදින තුළ ද, අවසන් පරීක්‍ෂණය ඔවුන් ශ්‍රී ලංකාව බලා පිටත්ව යාමට පැය 72ක කාලයකට පෙර ද සිදු කරනු ඇත. 

Cricbuzz ඇසුරිනි.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<