ශ්‍රී ලංකා කොදෙව් සංචාරය කොට වන ලකුණු?

ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය 2021

828
SLC consider playing

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලියේ තරග ගණන අඩු කර හෝ තරගාවලිය පැවැත්වීම වෙනුවෙන් දෙරටේ ක්‍රිකට් බලධාරීන් සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ.

පසුගිය දා (පෙබරවාරි 3) ශ‍්‍රී ලංකා ක්‍රිකට් ප‍්‍රධාන පුහුණුකරු මිකී ආතර් සහ ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්නට කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙන බව තහවුරු වූ අතර ඒ හේතුවෙන් මේ වන විට ක‍්‍රීඩකයින් රැසක් නිරෝධායනයට ලක් කර ඇත. ඔවුන් දෙදෙනාගේ පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස ක්‍රීඩකයින් 15 දෙනෙකු දැනට හඳුනාගෙන තිබෙන බව ද වාර්තා වේ.

තවත් ක්‍රිකට් පුවත්:

නිරෝධායනය වෙමින් සිටින ක්‍රීඩකයින් සහ පුහුණු කාර්ය මණ්ඩලය සඳහා කරනු ලබන ඉදිරි PCR පරීක්ෂණ මේ අඟහරුවාදා සහ සිකුරාදා යන දිනවල දී කිරීමට සැලසුම් කර තිබෙන අතර එහි ප්‍රතිඵල සාමාන්‍යයි නම් එළඹෙන බදාදා සිට තාවකාලිකව නවතා දැමුණු පුහුණු කටයුතු ආරම්භ කිරීමට හැකියාවක් තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.

“දැනට තිබෙන තත්වය අනුව අපි බටහිර ඉන්දීය කොදෙව් සංචාරය තාවකාලිකව නවත්වලා තියෙන්නේ, අනිවාර්යයෙන් කලින් සැලසුම් කර ගත් විදිහට ඒ දිනවලට මේ සංචාරය පැවැත්වෙන්නේ නැහැ. හැබැයි දෙරටේ ක්‍රිකට් ආයතන දෙක මේ සංචාරය පැවැත්වීම වෙනුවෙන් ගත හැකි හැම ආකාරයකම තීන්දු තීරණ ගැනීමට දැනට සාකච්ඡා කරමින් ඉන්නවා. ඒ යෝජනා අතර මේ තරගාවලියේ තරග ගණන අඩු කරන්නත් යෝජනා වෙලා තිබෙනවා. කොහොම හරි හොඳ විදිහකට මේ සංචාරය තියන්න තමයි අපි හැමෝගෙම බලාපොරොත්තුව” යැයි ද සිල්වා මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසීය.

කොදෙව් සංචාරය ඉලක්ක කරමින් 35 දෙනකුගෙන් යුත් ශ‍්‍රී ලංකා සංචිතයක් කාණ්ඩ තුනක් යටතේ ජනවාරි මස 28 වැනිදා සිට පුහුණුවීම් ආරම්භ කරනු ලැබූ අතර අවසන් සංචිතයක් තෝරාගැනීම වෙනුවෙන් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය මේ මස 4 සහ 5 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබුණ ද එය ද මේ වන විට අත්හිටුවා තිබෙනවා. මීට පෙර වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප‍්‍රනාන්දු සහ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නට ද කොරෝනා වයිරසය ආසාදනය වුනා.

මයිකල් තිසේරා සහ ගාෆීල්ඩ් සෝබර්ස් කුසලානය වෙනුවෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ‍්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ද තරගාවලියක් වෙනවා.

මේ අතර COVID-19 ආසාදනය වූ ලහිරු තිරිමාන්න සහ මිකී ආතර් මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක නිරෝධායනයට ලක්කර තිබෙන අතර ඔවුන් දෙදෙනාට කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකර තිබීම ද විශේෂත්වයක්. ඔවුන් දෙදෙනාම මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ද වාර්තා වෙනවා.

මේ තරගාවලියේ පෙර සැලසුම් කරගත් තරග කාලසටහනට අනුව ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග තුනක් සහ විස්සයි විස්ස තරග තුනක් ඇතුලත්ව තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<