2024 T20 ලෝක කුසලානය පැවැත්වෙන දින අනාවරණය වේ

2024 T20 World Cup

3033

මීළඟ විස්සයි විසින් ලෝක කුසලානය ඇමරිකා එක්සත් ජනපදය සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල සත්කාරකත්වයෙන් යුතුව ලබන වසරේ ජුනි 04 වැනිදා සිට 30 වැනිදා තෙක් පැවැත්වීමට නියමිත බව ESPN වෙබ් අඩවිය මගින් වාර්තා කරනවා.

ICC විසින් තෝරා ගන්නා ක්‍රීඩාංගණ 10ක් මූලික කර ගනිමින් පැවැත්වීමට නියමිත මෙම තරගාවලියට රටවල් 20ක් සහභාගී වීමට නියමිතයි. 

මේ වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ තෝරා ගත් ක්‍රීඩාංගණ කිහිපයක් (Lauderhill, Morrisville, Dallas සහ New York) ICCයේ නිරීක්ෂණයට භාජනය වී ඇති බවත් දැන ගැනීමට ලැබෙනවා. 

මෙම ක්‍රීඩාංගණ අතරින් Lauderhill ක්‍රීඩාංගණයේ පමණක් මීට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් තරග පවත්වා ඇති අතර, Morrisville සහ Dallas හිදි මේ දිනවල Major League Cricket තරගාවලිය පැවැත්වෙනවා. නමුත් එම ක්‍රීඩාංගණ දෙක සහ New York හි Van Cortlandt Park in the Bronx ක්‍රීඩාංගණයේ තවමත් එකඳු නිල ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් හෝ පවත්වා නැහැ.  

එම නිසා තරග පැවැත්වීමට නියමිත ක්‍රීඩාංගණ මොනවා ද යන්න ඉදිරි මාස කිහිපය තුළ දී ICC, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් (CWI) සහ ඇමරිකා එක්සත් ජනපද ක්‍රිකට් (USAC) විසින් නිල වශයෙන් තීරණය කරනු ඇති. 

මේ අතර මෙම ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් තවත් කණ්ඩායම් තුනක් සුදුසුකම් ලබා ගැනීමට සමත් වී තිබෙනවා. ඒ අනුව නැගෙනහිර ආසියා – පැසිෆික් කලාපයෙන් පැපුවා නිව් ගිනියාව ද, යුරෝපයෙන් අයර්ලන්තය සහ ස්කොට්ලන්තය ද ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනේ තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිත රටවල් 20න් 15ක්ම ස්ථිර කරවමිනුයි. 

ඊට අමතරව ඇමරිකානු කලාපයෙන් තවත් එක් රටක්, අප්‍රිකා සහ ආසියානු කලාප වලින් තවත් රටවල් දෙක බැගින් ද තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි. 

මෙම කණ්ඩායම් කලාපීය වශයෙන් පැවැත්වෙන සුදුසුකම් ලබා ගැනීමේ තරගවලින් ලෝක කුසලානයට සුදුසුකම් ලබන අතර, ඊට පෙර නිමා වුනු (2022) විස්සයි විස්ස ලෝක කුසලානයේ මුල් ස්ථාන 8 හිමි කර ගත් ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, එංගලන්තය, ඕස්ට්‍රේලියාව සහ නෙදර්ලන්තයත්, විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් අනුව ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශයත් එළඹෙන ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා. 

ඊට අමතරව බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමරිකා කණ්ඩායම් තරගාවලි සත්කාරක රටවල් ලෙස ලෝක කුසලාන වරම් ලබා ගත්තා. 

එමෙන්ම කණ්ඩායම් විස්සක සහභාගීත්වයෙන් යුතුව පැවැත්වෙන මීළඟ විස්සයි විස්ස ලෝක කුසලානය මීට පෙර තරගාවලිවලට වඩා වෙනස්කම්වලට භාජනය වෙමින් පැවැත්වීමට නියමිත බවයි දැන ගන්නට ලැබෙන්නේ. 

තරගාවලියේ මූලික වටයේ දී කණ්ඩායම් 5 බැගින් කාණ්ඩ 4කට බෙදා වෙන කර තරග පවත්වා එම කාණ්ඩවලින් මුල් ස්ථාන ලබා ගන්නා කණ්ඩායම් දෙක බැගින් තරගාවලියේ සුපිරි 8 වටයට සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි. එමෙන්ම සුපිරි 8 වටයේ ද කණ්ඩායම් 4 බැගින් කාණ්ඩ දෙකකට බෙදා වෙන් කර තරග පැවැත්වීමෙන් අනතුරුව එම කාණ්ඩවල මුල් ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් 4 අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි. 

ICC හි මීළඟ වාණිජ චක්‍රය ලෙස හඳුන්වා දෙන 2024-31 කාල සීමාවේ පැවැත්වෙන පළමු ප්‍රධාන ක්‍රිකට් තරගාවලිය මෙය වන අතර මෙහි දී ICC විසින් ඇමරිකා එක්සත් ජනපදය ඉලක්ක කර ගනිමින් සිය තරග කාලසටහන් නිර්මාණය කිරීම මගින් එළඹෙන LA28 (2028 Los Angeles ඔලිම්පික් උළෙල) සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ක්‍රීඩා ඉසව්වක් ලෙස ඇතුළත් කිරීමට යම් උත්සාහයක නිරත වන බවත් පැහැදිලිව ම පෙනී යන කරුණක්. 

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

ESPN Cricinfo ඇසුරිනි. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<