දසුන්ගේ ශතකයෙන් පසු පන්දු යවන්නන් වැඩ අල්ලයි

3916
Sri lanka A v West indies A

සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම අතර  දෙවන නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ (19) ආරම්භ වුනේ ජැමෙයිකාවේ ෆ්ලොරන්ස්හීදී යි. දසුන් ශානකගේ සහ නායක ධනංජය ද සිල්වාගේ පිතිකරණයෙන් හැඩ වූ දිනයක අවසානයේ ප්‍රතිවාදී කඩුලු 2ක් සමඟින් තරගයේ ග්‍රහණය කර හිමි ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

වර්ෂාවේ කෙණෙහිලිකම් මැද කණ්ඩායම් 4ක් අර්ධ අවසන් පූර්ව වටයට

25 වැනි වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙන…

ශ්‍රී ලංකා – කොදෙව් පළමු නිල නොවන ටෙස්ට් තරගය පැවති ට්‍රෙලෝනි ක්‍රීඩාංගණයේම පැවැත්වෙන මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම එක්වුණේ වෙනස්කම් දෙකක් සමඟයි. ඒ අනුව චාමික කරුණාරත්න සහ ලහිරු කුමාර වෙනුවට රොෂේන් සිල්වා සහ කසුන් රාජිත කණ්ඩායමට කැඳවා තිබුණි.  

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ ද, ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දෙන්නට ආරම්භක පිතිකරුවන් යුගලය වූ සඳුන් වීරක්කොඩිට සහ රොන් චන්ද්‍රගුප්තට හැකි වූයේ නැත. ලකුණු 36ක් වන විට සඳුන් ලකුණු 8කටත්  රොන් ලකුණු 9කටත් නැවත ක්‍රීඩාගාරයට හරවා යවන්නට කොදෙව්  වේගපන්දු යවන ක්‍රීඩක කියොන් ජෝසප් කටයුතු කරන ලදි.

අනතුරුව නායක ධනංජය ද සිල්වා සමඟින් පිටියේ එක්වුණු චරිත් අසලංක ගලවා ගැනීමේ මෙහෙයුමක් දියත් කළේ තෙවන කඩුල්ලට ලකුණු 92ක් එක් කරමිනුයි. රකීම් කෝන්වෝල් මෙම සබඳතාව බිඳ දමමින් ලකුණු 41ක් ලබා සිටි අසලංක දවා ගැනීමෙන් මද වෙලාවකට පසු නැවතත් ක්‍රියාත්මක වූ ජෝසප් තම තෙවන කඩුල්ල ලෙස නායක ධනංජයගේ ඉනිම ද අවසන් කරන්නට සමත් විය. ඒ වන විට ධනංජය ලබා සිටි ලකුණු සංඛ්‍යාව 73ක්.

ෂෙහාන් ජයසූරිය ලකුණු ලබා ගැනීමට පෙර දවාගත් රකීම් කෝන්වෝල් කොදෙව් කණ්ඩායම නැවත තරගයට අවතීර්ණ කළේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 137කට කඩුලු 5ක් දක්වා පහතට ඇද දමමින්. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පළමු ඉනිමේ සාර්ථකම සබඳතාව ගොඩනැගුනේ ඉන් අනතුරුවයි. රොෂේන් සිල්වා සමඟින් එක්වූ දසුන් ශානක සිය කණ්ඩායම ස්ථාවර මට්ටමකට ගෙන යාමේ අරමුණින් අගනා පිතිකරණයක නිරත විය.

රොෂේන් තම කඩුල්ල ආරක්ෂා කර ගනිමින් එක් අන්තයක් රැක ගනිද්දී තම සුපුරුදු වේගවත් පිතිකරණ රටාවේ රිද්මය සොයාගත් දසුන් ලකුණු පුවරුව ඉහළ දැමීමේ වගකීම භාර ගෙන තිබුණි. රොෂේන් ලකුණු 30කට දැවී යන විට 6 වන කඩුල්ලේ සබඳතාව සටහන් වුනේ ලකුණු 105ක් ලෙසයි.

පසුපෙළ පිතිකරුවන්ගෙන් සැලකිය යුතු සහයක් නොලැබුණ ද, පිත්තේ වේගය මත තම 5 වන පළමු පෙළ ශතකය වාර්තා කරන්නට සමත් වූ දසුන් ශානක, ඉනිම අවසන් වන තෙක් නොදැවී කඩුල්ලේ රැඳී සිටියේ ලකුණු 102ක් ලබා ගනිමිනි. පන්දු 105ක් පුරා ක්‍රියාත්මක වූ ඔහුගේ ඉනිම හතරේ පහර 5කින් සහ දැවැන්ත හයේ පහර 8කින් වර්ණවත් විය. කියොන් ජෝසප්ගේ කඩුලු 3ට අමතරව රකීම් කෝන්වෝල් සහ ඩේමියන් ජෙකබ්ස් අතර කඩුලු 2 බැගින් බෙදී යද්දී ශ්‍රී ලංකා පළමු ඉනිම සටහන් වුනේ ලකුණු 294ක් ලෙසයි.

රාජකීය බලකොටුවට උතුරෙන් එල්ලවූ අනපේක්ෂිත වෙඩිමුරය

කේ. කපිල්රාජ්ගේ සහ එම්. අභිනාෂ්ගේ සුපිරි පන්දු යැවීමේ දක්ෂතා හමුවේ…

පිළිතුරු ලෙස පළමු ඉනිම ආරම්භ කළ කොදෙව් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාවම පළමු දිනය නිමා වන විට ක්‍රීඩාගාරයේ අසුන් ගන්වන්නට ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් සමත් විය. සිව්වැනි පන්දු වාරයේ සිටම දඟපන්දුවට අවස්ථාව ලබා දුන් නායක ධනංජය එයින්  ප්‍රතිඵල නෙලා ගත්තේ මාලින්ද පුෂ්පකුමාර සහ ෂෙහාන් ජයසුරිය පිළිවෙළින් 8 වන සහ 9 වන පන්දුවාරවල දී ක්‍රියාත්මක වීමත් සමඟයි.

මේ අනුව පළමු දිනය අවසන් වන විට කොදෙව් පළමු ඉනිම කඩුලු 2කට ලකුණු 14ක් ලෙස සටහන් වූ අතර ඔවුන් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 280ක් පසුපසින් සිටින්නේ කඩුලු 8ක් අතැතිවයි.

ශ්‍රී ලංකා කණ්ඩායම: රොන් චන්ද්‍රගුප්ත, සඳුන් වීරක්කොඩි, ධනංජය ද සිල්වා (නායක), චරිත් අසලංක, රොෂේන් සිල්වා, දසුන් ශානක, වනිඳු හසරංග, ෂෙහාන් ජයසූරිය, මාලින්ද පුෂ්පකුමාර, අසිත ප්‍රනාන්දු, කසුන් රාජිත.

ලකුණු පුවරුව

ශ්‍රී ලංකා පළමු ඉනිම – (සියල්ලන් දැවී) – 294 (73.3)  – දසුන් ශානක 102*,ධනංජය ද සිල්වා – 73, චරිත් අසලංක – 41, රොෂේන් සිල්වා – 30, කියොන් ජෝසප් – 3/32, ඩේමියන් ජෙකබ්ස් – 2/74, රකීම් කෝන්වෝල් – 2/85

කොදෙව් පළමු  ඉනිම – 14/2 – ෂෙහාන් ජයසුරිය – 1/0, මාලින්ද පුෂ්පකුමාර – 1/05

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<