ලෝක කුසලාන කාලසටහන වෙනස් වන බව BCCI තහවුරු කරයි

ICC Cricket World Cup 2023

4158

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරග කාලසටහනේ වෙනස්කම් කිහිපයක් සිදු විය හැකි බව BCCI ලේකම් Jay Shah විසින් තහවුරු කර තිබෙනවා.

මෙවර ලෝක කුසලානයේ ඔක්තෝබර් 15 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබූ ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් තරගය ඔක්තෝබර් 14 වැනිදා දක්වා ඉදිරියට ගෙන යාමට ඉඩ පවතින බව මීට දින කිහිපයකට පෙර වාර්තා වුනා. එම තොරතුරින් පසුව ලෝක කුසලාන කාලසටහනේ වෙනස් වීමක් සිදු වනවා ද, නැද්ද යන්න පිළිබඳ සඳහන් කරමින් Shah විසින් මෙම ප්‍රකාශය සිදු කර තිබෙනවා.

නමුත් මෙහි දී ඉන්දු – පාකිස්තාන තරගය පිළිබඳ ව නම් ඔහු පැහැදිලි සඳහනක් සිදු කර නැහැ. කෙසේ වෙතත් වෙනත් රටවල් කිහිපයක් ම මෙම කාලසටහන නිසා ඔවුන්ගේ කණ්ඩායම්වලට මුහුණ දීමට සිදු වන අසීරුතා ලිඛිත ව BCCI වෙත දන්වා ඇති බව Shah විසින් සඳහන් කරනවා.

“කාලසටහනේ වෙනස්කම් කිහිපයක් සිදුවීමට යම් ඉඩක් තිබෙනවා. කාලසටහනේ දින දෙක තුනක් වෙනස් කිරීම වෙනුවෙන් පූර්ණ සාමාජික රටවල් කිහිපයක් ම ලිඛිත ඉල්ලීම් සිදු කරලා තියෙනවා. අපි ඒ පිළිබඳව ICCය සමඟ වැඩ කටයුතු සිදු කරමින් ඉන්නවා. ඒ වගේම දින දෙකක් හෝ තුනක් තුළ මෙය අවසන් කරනවා.”

ඔක්තෝබර් 15 සිට 24 දක්වා ඉන්දියාවේ පැවැත්වෙන Navratri හින්දු ආගමික උත්සවය නිසා ඉන්දු – පාකිස්තාන තරගයට ප්‍රමාණවත් තරම් ආරක්ෂාවක් සැපයීමේ ගැට‍ලුවක් ඇති බව ප්‍රාදේශීය පොලිසියක් විසින් සඳහන් කිරීම මෙම තරගය ඔක්තෝබර් 14 දිනට රැගෙන යාමට හේතුවක් ලෙස සඳහන් වුනා.

නමුත් Jay Shah විසින් සඳහන් කරන්නේ ගැටලුව ඇත්තේ ඉන්දු – පාකිස්තාන තරගය පිළිබඳ නොවන බවයි.

“ආරක්ෂාව ප්‍රශ්නයක් නම් ඇයි තරගය එහේ (අහ්මදාබාද්) පවත්වන්නේ. 14-15 නෙවෙයි ගැටලුව, වෙනත් ක්‍රිකට් පාලක මණ්ඩල දෙක තුනක් එය වෙනස් කරන ලෙස සිදු කළ ඉල්ලීම්. සමහර කණ්ඩායම්වලට දින දෙකක පරතරයකින් තරග යෙදිලා තියෙනවා. ඒ නිසා ඔවුන්ට ක්‍රීඩා කරලා ඊළඟ දවසේ ගමන් කිරීම අපහසු වෙන්න පුළුවන්.

එමෙන්ම තරග දිනයන් වෙනස් වුව ද තරග පැවැත්වීමට නියමිත ක්‍රීඩාංගණවල වෙනසක් සිදු නොකිරීමට උපරිම උත්සාහ ගන්නා බවත් BCCI ලේකම් විසින් තහවුරු කර තිබෙනවා.

“හැකිතාක් දුරට අපි බලන්නේ ක්‍රීඩාංගණය සහ තරග වෙනස් නොකර ඉන්නයි. ක්‍රීඩාංගණය වෙනස් නොකිරීම ඉතා වැදගත්. දින හයක පරතරයක් ඇති කණ්ඩායම්වල පරතරය දින හතරකට අඩු කරන්න වගේම දින දෙකක පරතරයක් ඇති තරග දින තුනක් දක්වා වැඩි කරන්න උත්සාහ කරනවා.”

ඊයේ දිල්ලියේ පැවති BCCI සැසියකින් අනතුරුව Jay Shah විසින් මෙම අදහස් පළ කර තිබෙනවා.

එමෙන්ම මෙම වසරේ ඔක්තෝබර් 05 වැනිදා පටන් ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන තරගාවලියේ ප්‍රවේශ පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් ද ඉදිරිය සතිය තුළ නිල වශයෙන් දැනුම් දෙන බව ඔහු විසින් මෙහි දී සඳහන් කර තිබෙනවා.

2023 එක්දින ලෝක කුසලානය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN Cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<