හර්ෂිතා 1 වී චමරි 2 වූ නවසීලන්ත T20 සංචාරය

නවසීලන්ත කාන්තා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

3974
New Zealand Women's Tour Of Sri Lanka 2023 - T20 Review

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට චමරි අතපත්තුගේ සාර්ථක වීමෙන් තොර ජයග්‍රහණයක් නොමැති බැව් නැවත වරක් සනාථ කරමින් නවසීලන්ත කාන්තා කණ්ඩායමේ මෙරට සංචාරය නිමා වුනා.  

දෙරට අතර පළමුවෙන් පැවති එක්දින ජාත්‍යන්තර තරගාවලියේ දී 2-1ක් ලෙසින් ජයග්‍රහණය ලද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පසුගිය දා නිමා වූ විස්සයි විස්ස තරගාවලියේ දී  1-2ක පරාජයකට මුහුණ දෙනවා.  

එම තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලත් එක ම ජයග්‍රහණය, දෙරට තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව ලත් මංගල ජයග්‍රහණය ලෙසිනුයි වාර්තා වන්නේ.  

තරගාවලියේ සියලු තරග කොළඹ P. Sara Oval පිටියේ දී පැවතියා.  

  • පළමු තරගයනවසීලන්ත කාන්තාවන්ට කඩුලු 5ක ජයක්.  
  • දෙවැනි තරගයනවසීලන්ත කාන්තාවන්ට කඩුලු 8ක ජයක්.  
  • තෙවැනි තරගය ශ්‍රී ලංකා කාන්තාවන්ට කඩුලු 10ක ජයක්.  

පෙර තරගාවලිවල දී සේ ම මෙම තරගාවලියේ දී ද චමරි අතපත්තුගේ දක්ෂතා මත ම යැපෙන කණ්ඩායමක් ලෙසයි අපට මෙම කණ්ඩායම දකින්නට ලැබෙන්නේ. පළමු තරග ද්විත්වයේ දී ම චමරි අසාර්ථක වෙද්දී කණ්ඩායමේ සෙසු ක්‍රීඩිකාවෝ ද හූනියකමකට අසු වූවා සේ ඒ පසු පස ම යෑමකි අප දුටුවේ.  

එසේ වූවත් තරගාවලිය නිමා වීමේ දී චමරිගේ දක්ෂතා අභිබවා හර්ෂිතා මාධවී පිතිකාරිණියන්ගේ ලැයිස්තුවේ පළමු තැනට පිවිසීම කැපී පෙනුණා 

තරගාවලියේ දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ 

හර්ෂිතා මාධවී 

නිමා වූ තරගාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් පිතිකාරිණිය වූයේ 25 හැවිරිදි වියේ පසු වන වමත් පිතිකාරිණි හර්ෂිතා මාධවී. ඇය නිමා වූ තරගාවලියේ දී ලකුණු 84ක් ලබා ගත් අතර තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකාරිණියන් අතර දෙවැනි ස්ථානයට ද පත්වුනා.  

හර්ෂිතාගේ ඉනිම් අතර තෙවැනි විස්සයි විස්ස තරගයේ දී පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලබා ගත් ලකුණු 49ක් ද ඇතුළත්. එය මෙම තරගාවලියේ ඇයගේ හොඳම ඉනිම බවට ද පත්වුනා.  

තරගාවලිය නිමා වෙද්දී ඇයගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ලෙසින් සටහන් වූයේ 42.00ක අගයක්. එය තෙවැනි තරගයේ පෑ දක්ෂතාත් සමඟින් ලත් වටිනාකමක් ලෙසින් දැක්විය හැකි.  

මැදපෙළ පිතිකාරිණියක් ලෙසින් කණ්ඩායමට එක් වූ හර්ෂිතාගේ ආරම්භක ඉනිම් 2 ම අසාර්ථක වූවාට පසුව ආරම්භක පිතිකාරිනියක ලෙසින් පිටියට පිවිසි අවසන් තරගයේදීයි ඇය සාර්ථකත්වයට පත්වන්නේ.  

චමරි අතපත්තු 

ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා කරන ලද එක ම අර්ධ ශතකයේ හිමිකාරිණිය වු කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු මෙම තරගාවලියේ ඉනිම් 3 දී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 82ක්. ඉන් ලකුණු 80ක් ම වාර්තා කරන්නේ තෙවැනි තරගයේ දී.  

එය මෙම තරගාවලියේ ක්‍රීඩිකාවක් ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාව වූවා සේ ම නවසීලන්තයට එරෙහිව වාර්තා වූ ඇයගේ හොඳම ඉනිම බවට ද පත්වුනා. චමරිගේ එම නොදැවුණ ඉනිම පන්දු 47කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් ද එක් කර ගැනීමට ඇය සමත් වුනා 

ඇය මෙම තරගයේ දී වාර්තා කරන ලද්දේ ඇයගේ 7 වැනි විස්සයි විස්ස ජාත්‍යන්තර අර්ධ ශතකය වන අතර පන්දු 25ක දී වාර්තා කරන ලද එම ලකුණු 50 මෙරට ක්‍රීඩිකාවක් විස්සයි විස්ස තරගයක දී වාර්තා කරන ලද වේගවත් ම අර්ධ ශතකය ලෙසින් වාර්තා පොත් අතරට එක් වුනා.   

අනුෂ්කා සංජීවනී 

තරගාවලියේ වැඩිම ලකුණු ලැබූ ශ්‍රී ලංකා පිතිකාරිණියන් අතර තෙවැනි අසුන වෙන්කර ගන්නේ 33 හැවිරිදි වියේ පසු වන අනුෂ්කා සංජීවනී. ඇය මෙම තරගාවලියේ තරග 3ක ඉනිම් 2ක දී නොදැවුණ ඉනිමක් සමඟින් ලකුණු 36ක් ලබා ගන්නවා.  

ඔවුන්ට අමතර ව ලකුණු 30 සීමාව සමඟ බැදී සිටීමට නිලක්ෂි ද සිල්වා (34), හසිනි පෙරේරා (33) සහ විශ්මි ගුණරත්න (33) සමත් වෙනවා.  

ඉනෝකා රණවීර 

තරගාවලියේ වැඩිම කඩුලු ලාභී ශ්‍රී ලංකා පන්දු යවන්නිය වූයේ 37 හැවිරිදි වියේ පසු වන වමතින් දඟපන්දු යවන ඉනෝකා රණවීර. ඇය තරග 3ක දී පන්දුවාර 11.0ක් යවමින් කඩුලු 4ක් දවා ගන්නවා. එය තරගාවලියේ සමස්ත පන්දු යවන්නියන් අතුරින් දෙවැනි අසුනට ද හිමිකම් කීමට පෑ දක්ෂතාවක්. 

ඇය ලබා ගත් කඩුලු 4න් කඩුලු 3ක් ම දවා ගන්නේ ජයග්‍රාහී තෙවැනි තරගයේ දී වීම කැපී පෙනුණා 

ඉනෝෂි ප්‍රියදර්ශනී 

තරගාවලියේ වැඩිම කඩුලු ලාභී පන්දු යවන්නියන් අතර සම අසුන් ගැනීමට 36 හැවිරිදි වියේ පසු වන දකුණතින් පිට දඟපන්දු යවන ඉනෝෂී ප්‍රියදර්ශනී ද සමත් වෙනවා.  

දෙරට අතර පැවති පළමු තරගයේ දී ම ඇය ලකුණු 17කට කඩුලු 3ක් දවා ගන්නා ලද අතර එය ඇයගේ තරග දිවියේ හොඳම පන්දු යැවීම බවට ද පත් කර ගන්නවා.  

කවිෂා දිල්හාරි  

22 හැවිරිදි වියේ පසු වන දකුණතින් පිට දඟපන්දු යවන කවිෂා දිල්හාරි මෙම ලැයිස්තුවේ තෙවැනි ස්ථානය දිනා ගන්නවා. ඊට ඇය පෑ දක්ෂතාව තරග 3ක දී පන්දුවාර 9.0ක් යවමින් ලබා ගත් කඩුලු 3යි.  

ඊට අමතර ව 31 වැනි වියේ පසු වන වමතින් දඟපන්දු යවන සුගන්ධිකා කුමාරි කඩුලු 2ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූවන්ගේ ලැයිස්තුවට එක් වෙනවා.  

චමරි අසාර්ථක වෙද්දී කණ්ඩායම ද අසාර්ථක වීම 

දෙරට අතර පැවති පළමු තරගයේ දී චමරිගේ ඉනිම තරගයේ පළමු පන්දුවේ දී ම අවසන් වෙද්දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ රැස් කරන්නේ ලකුණු 106ක් පමණයි. අනතුරුව පැවති දෙවැනි තරගයේ දී ද චමරිගේ ඉනිම ලකුණු 2කට සීමා වෙද්දී එවර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තමන්ගේ ඉනිම කඩුලු 6ක ලකුණු 118කට සීමා කර ගන්නවා.  

මේ අවස්ථා 2 දී ම චමරිගෙන් වූ පුරප්පාඩුව නිසි ලෙසින් සපුරාලීමට අපේ ක්‍රීඩිකාවන්ට හැකි වෙන්නේ නැහැ.  

පළමු තරගයේ දී චමරිගේ අසාර්ථක වීමෙන් පසු විශ්මි ගුණරත්න (26) තරමක සුබවාදී ප්‍රහාරයකට එක් වූව ද, එය පන්දුවාර 8කට පමණක් සීමා වෙනවා. ශ්‍රී ලංකාව එම තරගයේ දී තරගයකට පිවිසිය හැකි තරමේ ලකුණු සංඛ්‍යාවකට එන්නේ 7 වැනි කඩුල්ලට අනුෂ්කා සංජීවනී (18) සහ ඕෂදී රණසිංහ (18) එක් කළ ලකුණු 29කට පිං සිදු වෙන්නටයි.  

දෙවැනි තරගයේ දී ද චමරි ඇතුළු ඉදිරි පෙළ පිතිකාරිණියෝ අසාර්ථක වීම කැපී පෙනුණා. අනතුරුව මැදපෙළින් පිටියට පිවිසි හසිනි පෙරේරා (33), නිලක්ෂි ද සිල්වා (22) සහ අනුෂ්කා සංජීවනී (නොදැවී 18) ලකුණු අතරට පිවිසීම තරමක සුබදායක වුනා. එහෙත් ඒ වෙද්දී තරගයේ පාලනය ඔවුන් වෙතින් මඟ හැරී ප්‍රතිවාදීන් සුරතට ගොස් තිබුණා.  

නමුත් මේ තත්ත්වය තෙවැනි තරගයේ දී සහමුලින් ම කණපිට පෙරළෙනවා. ප්‍රතිවාදීන් මෙම තරගයේ දී ශ්‍රී ලංකාවට ලබා දෙන අභියෝගය ලකුණු 140ක්. එය මෙම තරගාවලියේ එතෙක් කණ්ඩායමක් රැස් කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාව ද වුනා 

හඹා ගිය එම ඉනිමේ දී චමරි තම කඩුල්ල ආරක්ෂා කර ගනිමින් ක්‍රීඩා කරන අතර තරගාවලියේ පළමු වරට ආරම්භක පිතිකාරිණිය ලෙසින් පිටියට පිවිසෙන හර්ෂිතා මාධවී ද ඒ මඟ ම යමින් තරගය ජයග්‍රහණය කරා ගෙන යනවා. ඒ අනුව තරගාවලියේ කණ්ඩායමක් වාර්තා කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාව කිසිදු කඩුල්ලක් අහිමි කර නොගනමින් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙනවා. 

මේ තත්ත්වය පෙර තරගවල දී දැක්වූවේ නම් තරගාවලියේ තීරණය මීට වඩා වෙනස් වීමට ඉඩ තිබුණා. නමුත් අවාසනාවට මෙන් අප බොහෝ තරගවල දී දකින්නේ චමරිගේ දක්ෂතා වේලාසනින් ලොප් වෙන තරගවල දී එතැන් සිට තරගය ඇද ගෙන යෑමේ හැකියාවක් අපේ අනෙකුත් ක්‍රීඩිකාවන්ට නොමැති වීමයි. 

පන්දු යවන්නියන් අතරින් සෑම ක්‍රීඩිකාවක් ම සම දක්ෂතා දැක්වීම කැපී පෙනුණ ද කණ්ඩායමකට අවශ්‍ය ම පන්දු යවන්නියක් තවමත් බිහි නොවීම විශාල පාඩුවක්. ඒ හිඩැස දිගින් දිගට ම පවතින බැවින් අපිට සිදු ව තිබෙන්නේ තරගයෙන් තරගයට දක්ෂතා දක්වන පන්දු යවන්නියන් කෙරෙහි විශ්වාසය තැබීම පමණයි. 

පන්දු යවන්නියන් අතරින් ඉනෝකා රණවීර සහ ඉනෝෂි ප්‍රියදර්ශනී තරමක දක්ෂතා දැක්වීමට උත්සාහ කරන අයුරක් දක්නට තිබුණා.  

කෙසේ වෙතත් සමස්තයක් ලෙස ගත් කළ සියලු පන්දු යවන්නියන්ගේ පොදු ලක්ෂණයක් වූයේ ප්‍රතිවාදීන් එක දිගට පීඩනයට හෝ පාලනයට ලක් කිරීමේ හැකියාවකින් තොර වීමයි.  

මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස ජාත්‍යන්තර වරම් දිනා ගැනීමට 21 වැනි වියේ පසු වන ඉමේෂා දුලානි සමත් වුනා. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<